Tuesday, January 2, 2018

අරාබියත් වැට් (VAT) බදු කෙළිය පටන් ගනී...

බදු ගැහුවත් ජීවන තත්ත්වය ඉහළට

සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මුල් වරට රට තුළ වැට් (VAT - වටිනාකම එකතු කිරීමේ බද්ද) බද්දක් අය කිරීමට තීරණය කර තිබෙනවා. මේ අනුව එරට භාණ්ඩ හා සේවා බහුතරයක් සදහා සියයට 5ක වැට් බද්දක් අය කිරීමට නියමිත ය. අරාබි කලාපයේ බොහෝ රටවල බදු නොමැති ජීවන තත්ත්වයක් තිබීම හේතුවෙන් බොහෝ ශ්‍රමිකයන්ට ඉතා ඉහළ ජීවන තත්ත්වයක් හිමිව තිබුණා. අරාබි රටවල් එවැනි තත්ත්වයක් තුළයි මේ ආකාරයට වැට් බද්දක් අය කිරීමට සූදානමින් සිටින්නේ. දැන් සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලාපොරොත්තු වන්නේ ඛනිජ තෙල් මිල පහළ දමා ජනතාවගේ ජීවන වියදම් අඩු කර ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටයි. මේ රටවල් දෙක ජනවාරි 01වැනිදා සිට ම මේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය මේ වසරේදී වැට් බද්දෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3ක් ඉපයීමටත් බලාපොරොත්තු වෙනවා.

ආදායම් බදු නැති රටවල්

අරාබියේ බොහෝ රටවල් ලෝකයේ ප්‍රසිද්ධ වී තිබෙන්නේ ආදායම් බදු අය නොකරන රටවල් ලෙසයි. මේ රටවල ජීවත් වන පුද්ගලයන්ගේ ආදායම් බදු ප්‍රතිශතය සියයට 0යි. ඒ කියන්නේ ආදායම් බදු අය කරන්නේ නැහැ. සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැට් බදු අය කිරීමට තීරණය කළත් ආදායම් බදු අය කිරීමට අදහසක් නොමැති බව සදහන් කරනවා. 

වැට් බද්ද අය කරන්නේ හා අය නොකරන්නේ මොනවාට ද?

කොහොම වුණත් වැට් බද්ද යටතේ පෙට්‍රල්, ඩීසල්, ආහාර, ඇදුම් හා හෝටල් ගාස්තු යනාදි සියල්ලට ම බදු අය කිරීමට නියමිතයි. ඒත් වෛද්‍ය ගාස්තු, මූල්‍ය සේවා සහ රජයේ ප්‍රවාහන සේවා සදහා වැට් බදු අය කරන්නේ නැහැ. සවුදි අරාබිය මේ බදු ප්‍රතිපත්තිය යටතේ දුම්කොළ සහ මෘදු පාන වර්ගවලටත් බදු අය කරනවා වගේ ම දේශීය ව්‍යාපාරිකයන්ට ලබාදුන් විවිධ සහනත් කප්පාදු කර තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය මාර්ග ගාස්තු ඉහළ නංවා තිබෙනවා වගේ ම සංචාරක බද්දකුත් හදුන්වා දී තිබෙනවා.    

බදු අය කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම

සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ විදියට වැට් බද්දක් අය කිරීමට ප්‍රධාන හේතුව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙසුයි. රටේ ආදායම් මූලාශ්‍ර විවිධාංගීකරණය කරන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටවලට නිතර උපදෙස් දී තිබෙනවා. එයට ප්‍රධාන හේතුව වන්නේ මේ රටවල් සම්පූර්ණයෙන් ම රදා පවතින්නේ ඛනිජ තෙල් ආදායම මත පමණක් වීමයි. එය දිගුකාලීන ආර්ථික පැවැත්මට අහිතකර නිසා බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටවලින් ඉල්ලා තිබෙනවා. ඒ අනුවයි මේ රටවල් වැට් බද්ද අය කිරීමට තිරණය කර තිබෙන්නේ. 
සවුදි අරාබිය තමන්ගේ අයවැය වියදම්වලින් සියයට 90ක් ම පියවා ගන්නේ ඛනිජ තෙල් ආදායම්වලිනුයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ ප්‍රතිශතය සියයට 80ක් වෙනවා. 

අනෙක් අරාබි රටවල වැට් බද්දට ආසයි..බයයි...ප්‍රතිපත්තිය

සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැට් බදු හදුන්වා දීමත් සමග අරාබියේ රටවල් වන බහරේන්, කුවේට්, ඕමාන් සහ කටාර් රටවල් ද මේ ආකාරයට බදු ප්‍රතිපත්ති හදුන්වා දීමට සූදානම් වන අතර සමහර රටවල් මේ ප්‍රතිපත්ති හදුන්වා දීම 2019 දක්වා කල් දමා තිබෙනවා.

(මූලාශ්‍රය-BBC)


No comments:

Post a Comment