Tuesday, January 2, 2018

ඇමෙරිකාව ගංජා නීතිගත කර ජනවාරි 01වැනිදා වැඩ අල්ලයි...

ගංජා භාවිතය නීතිගත කළ ඇමෙරිකාවේ විශාල ම ප්‍රාන්තය

ඇමෙරිකාවේ කැලිපෝනියා ප්‍රාන්තය 2018 ජනවාරි 01වැනිදා සිට ගංජා (කංසා) භාවිතය නීතිගත කර තිබෙනවා. ගංජා භාවිතය නීතිගත කළ ඇමෙරිකාවේ විශාල ම ප්‍රාන්තය වන්නේ ද කැලිපෝනියාවයි. කැලිපෝනියාව වෛද්‍ය නිර්දේශ මත බෙහෙතක් ලෙස ගංජා භාවිතා කිරීම 1996 සිට නීතිගත කර තිබුණත් වැඩිහිටියන්ට එය මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීම නීතිවිරෝධී තත්ත්වයකයි පැවතුනේ. 

මරිජුවානා පැළ 6ක් වවන්නත් අවසර දෙයි

ඒත් 2018 ජනවාරි 01වැනිදා සිට කැලිපෝනියා ප්‍රාන්තයේ වයස අවුරුදු 21ට වැඩි පුද්ගලයන්ට ග්රෑම් 28ක් හෙවත් ගංජා අවුන්සයක් තමා ළග තබාගත හැකියි. ඒ වගේ ම තමන්ගේ ගෙදර මරිජුවානා පැළ 6ක් වවන්නත් මේ සමග ම අයිතිය දී තිබෙනවා. මරිජුවානා කියන්නේ ගංජා ගසේ මල් සහ කොළවලින් සාදා ගන්නා මත්ද්‍රව්‍යයයක්. කොහොම වුණත් ඇමෙරිකාවේ ගංජා ගහයි, ලංකාවේ ගංජා ගහයි සමානයි ද කියලා කියන්න නම් දන්නේ නැහැ. 


ගංජා නීතිගත කළ අනිත් ප්‍රාන්ත 

කැලිපෝනියා ප්‍රාන්තයේ වැඩිහිටියන්ට ගංජා භාවිත කිරීමේ අයිතිය ලබා දීමට පෙර ඇමෙරිකාවේ ප්‍රාන්ත හය හතක ම ගංජා භාවිතය පිළිබද නීති ලිහිල් කර තිබුණා. ඒ ප්‍රාන්ත අතර වොෂින්ටන්, ඔරිගන්, නෙවාඩා, ඇලස්කා, මෙයින්, මැසචුසෙට්ස් යන ප්‍රාන්තත් තිබුණා. මීට අමතරව වෛද්‍ය නිර්දේශ මත ගංජා භාවිත කිරීමට ඇමෙරිකාවේ ප්‍රාන්ත 50න් 30ක් පමණ විවිධ වර්ෂවලදී අවසර දී තිබෙනවා.

ජාත්‍යන්තර අබිං සම්මුතියකුත් තියෙනවා...

ගංජා භාවිත කිරීම සහ ඒවා ළග තබා ගැනීම සම්බන්ධ නීති රටින් රටට වෙනස් වෙනවා. ගංජා (කංසා) ළග තබා ගැනීම බොහෝ රටවල නීතිවිරෝධී කටයුත්තක් වුණේ 1925 ජාත්‍යන්තර අබිං සම්මුතිය මගින් ගංජාවලින් සාදන හෂිස් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර යෝජනා කිරීම හේතුවෙනුයි. මෙයත් සමග බොහෝ රටවල් ගංජා (කංසා), අබිං, හෂිස් සහ මරිජුවානා යන මත්ද්‍රව්‍යවලින් ටිකක් හරි ළග තබා ගත් පුද්ගලයෙකුට අපරාධ වරදක් කළා යැයි සලකා නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා.

(මූලාශ්‍ර-BBC, Britannica, Wikipedia)


No comments:

Post a Comment