Thursday, January 4, 2018

අයිස්ලන්තයත් ගැහැනුන්ට සම තැන දෙයි...

අයිස්ලන්තයේ වැටුප් සමානාත්මතා නීතිය ජනවාරි 01වැනිදා සිට ම...

අයිස්ලන්තයේ සේවා ස්ථාන (සමාගම් සහ රජයේ නියෝජිත ආයතන) මේ සතියේ සිට ඒවායේ සේවය කරන පිරිමි සහ ගැහැනු යන දෙපාර්ශවයට ම සමාන වැටුප් ගෙවීම ආරම්භ කරනවා. අයිස්ලන්තය සම්මත කරගත් නීතියකට අනුව මෙය ක්‍රියාත්මක කිරීම සිදු වෙනවා. අයිස්ලන්තයේ මෙකී නීතියත් සමග ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාව සම්බන්ධයෙන් අයිස්ලන්තයේ ප්‍රමුඛභාවය ඉස්මතු වී පෙනෙන බව ජාත්‍යන්තර ප්‍රජාව සදහන් කරනවා. විශේෂයෙන් ම  ජාතිය, ආගම, ආබාධිතභාවය හෝ වයස පදනම් කරගෙන වෙනස් කර සැලකීම් මේ යටතේ ප්‍රකාශිත නීතියෙන් ම තහනම් වෙනවා.

වැටුප් සමානාත්මතා නීතිය සම්මත වීම

සේවා ස්ථානවල සේවය කරන ගැහැනු සහ පිරිමි දෙපාර්ශවයට ම සමාන වැටුප් ගෙවිය යුතු ය යනුවෙන් සම්මත කර ඇති මේ නීතිය කෙටුම්පතක් ලෙස අයිස්ලන්ත ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කර තිබුණේ 2017 මාර්තු මාසයේදී වන අතර එය සම්මත වුණේ 2017 ජූනි මාසයේදීයි. එසේ සම්මත වූ නීතිය 2018 ජනවාරි 01වැනිදා සිට ක්‍රියාත්මක වෙනවා. 
විවිධ සීමාසහිතකම් සහිතව වුණත් අයිස්ලන්තය තුළ සමාන වැටුප් ගෙවීම 1961-1963කාලයේ සිට විවිධ ස්වරූපවලින් ක්‍රියාත්මක වුණත් මේ ආකාරයේ වැටුප් ගෙවීමේ ක්‍රමවේදයක් ඇති කරන්නේ පළමුවරටයි. මෙහි විශේෂත්වය වන්නේ අයිස්ලන්තය තුළ මෙයට පෙරත් විවිධ ආකාරවලින් ගැහැනු සහ පිරිමි ද‍ෙපාර්ශවයට සමාන වැටුප් ගෙවීමේ ක්‍රමවේදයක් තිබුණත් එය ප්‍රකාශිත නීතියක් ලෙස ක්‍රියාත්මක වන්නේ මෙවරයි.

සමාන වැටුප් නොගෙව්වොත් සිදුවන දේ...

මේ නීතියට අනුව සේවකයන් 25දෙනෙකු හෝ එයට වැඩි පිරිසක් සේවයේ යෙදෙන සේවා ස්ථානවල වසර තුනකට වරක් වැටුප් විශ්ලේෂණ වාර්තා සකස් කළ යුතු අතර සමාන මට්ටමේ රැකියාවල යෙදෙන ගැහැනු සහ පිරිමින්ට සමානව වැටුප් ගෙවීම ද සහතික කළ යුතුයි. එසේ නොවුණහොත් අදාළ ආයතන පිළිබදව එරට රජයට දැනුම් දියහැකි අතර සමාන වැටුප් ගෙවා නොමැති බව හෙළි වුවහොත් වැටුප් නොගෙවූ දින සදහා අදාළ ආයතනයට දිනකට නියමිත දඩ මුදල බැගින් එකතු වෙනවා. 

සමානාත්මතාවේදී අයිස්ලන්තයට හිමි තැන...

World Economic Forum’s Global Gender Gap Report ට අනුව අයිස්ලන්තය සමාන වැටුප් ගෙවීමේ ක්‍රමවේදයක් සහිත රටවල් අතර  5වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා. මෙම වර්ගීකරණය සදහා රටවල් 144ක් යොදාගෙන තිබෙනවා. 

කාන්තාවන්ගේ අපේක්ෂා කඩවීමේ පීඩනය

අයිස්ලන්තය 2015 වර්ෂයේ සකස් කළ වාර්තාවන්ට අනුව එරට කාන්තාවන්ගෙන් සියයට 14ත් 20ත් අතර ප්‍රතිශතයක් පිරිමි දරන තනතුරුවලට සමාන තනතුරු දරමින් ම පිරිමින්ට වඩා අඩු වැටුපක් ලබනවා. මෙයින් බොහෝ කාන්තාවන් දැඩි අපේක්ෂාභංගත්වයට පත්ව සිටින බවත් වාර්තා වෙනවා. එයට ප්‍රධාන හේතුව වෙන්නේ පිරිමින් ඉටු කරන වැඩ කොටස ම ඉටු කරමින් ඒ හා සමාන ශ්‍රමයක් ම දරා පිරිමින්ට වඩා අඩු වැටුපක් ගැනීමට සිදුවීම නිසායි. 

(මූලාශ්‍ර - The New York Times, National Public Radio[US])

No comments:

Post a Comment