Friday, January 5, 2018

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රෙදි ගලවන පොතක් නිකුත් වෙයි...

ට්‍රම්ප් ගැන ලියවුණු පොතේ ආන්දෝලනය


ඇමෙරිකානු ජනාධිපතිවරයා ගැන ලියැවුණු පොතක් මේ සතියේ වෙළෙදපොළට පැමිණීම ගැන මීට දවස් දෙක තුනකට පෙර වාර්තා නිකුත් වුණේ මේ පොතේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ආන්දෝලනාත්මක කරුණු තිබුණු නිසායි. එය එතරම් කතාබහට ලක්වෙයි යැයි බොහෝ දෙනෙකු සිතුවේ නැහැ. ඒත් දැන් මේ පොතෙන් හෙළි කරලා තියෙන කරුණු ගැන ලෝකය ම අවධානයෙන් ඉන්නවා. කොටින් ම කිව්වොත් මේ පොත ගැන දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි කෝපයට පත්වෙලා සිටින බවක් පේන්න තියෙනවා. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ගැන ලියැවුණු මේ පොතේ සදහන් කරුණු සම්පූර්ණ අසත්‍යයක් යැයි ප්‍රකාශ කරන තරමට මේක දැන් දුර දිග ගිහින් තියෙනවා. ඒ විතරක් නෙවේ ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ නීතිඥයන්ට දැන් උපදෙස් දීලා තියෙන්නේ මේ පොත වෙළෙදපොළට එන එක කොහොම හරි නවත්වන්න කියලායි. ඒකට හේතුවෙන්නේ ට්‍රම්ප් සම්බන්ධ පෞද්ගලික යැයි කිව හැකි මට්ටමේ තොරතුරුත් මේ පොතේ සදහන් වෙලා තියෙන නිසායි. ලෝකය පුරා මේ ආන්දෝලනය ගැන කතාවෙන නිසා අද ටිකක් වෙලාව අරගෙන මේ පොත ගැන කෙටියෙන් ලියන්න හිතුවා.

ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් දිනීම ගැන ට්‍රම්ප් ම පුදුම වෙලා


ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ලියවිලා තියෙන මේ පොත Fire and Fury: Inside the Trump White House. එහි කතුවරයා වෙන්නේ මයිකල් වොල්ෆ් කියන පුද්ගලයායි. මයිකල් වොල්ෆ් ඇමෙරිකාවේ මාධ්‍ය ආයතන හිමිකරුවෙකු වන රෑපට් මර්ඩොක්ගේ ජීවිත කතාවත් මීට පෙර රචනා කර තිබෙනවා.
මේ පොතේ සදහන් වෙන ප්‍රධාන කරුණක් වෙන්නේ පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප්ට ම පුදුමයක් වූ බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිඥයන් දැනටමත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ලියවී තිබෙන Fire and Fury: Inside the Trump White House  කියන පොත පාඨකයන්ට නිකුත් වීම වැළැක්වීමට උත්සාහ කරමින් සිටිනවා. 

පොත ගන්න පොත් කඩවල්වල ලොකු පෝලිමක්...


කොහොම වුණත් දැනටමත් මේ පොත අලෙවිය සදහා ඉදිරිපත් කර අවසානයි. මෙය මිලදී ගන්නත් දැන් ඇමෙරිකාවේ පොත් කඩවල්වල ලොකු පෝලිම් තියෙන බව මාධ්‍ය ආයතන වාර්තා කරනවා. 

පොතේ සදහන් ආන්දෝලනාත්මක කරුණු


කොහොම වුණත් Fire and Fury: Inside the Trump White House කියන පොතේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන සදහන් වන ප්‍රධාන කරුණු මේ විදියට දැක්විය හැකියි. 

01. ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම ඔහුගේ මැතිවරණ සහයක කණ්ඩායම පවා විශ්වාස නොකළ බව හා ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් ඔවුන් පුදුමයට පත් වූ බව.

02. ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් පරදින බව සිතා අැමෙරිකානු ජනාධිපතිවරණය පැවැත් වූ දින රාත්‍රියේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිද ඉතා දුක්මුසුව කාලය ගත කළ බව.

03. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාරම්භක උත්සවයේදී එරට ඉහළ පෙළේ ප්‍රකට කලා ශිල්පීන් ඔහුට ඇනුම්පද කීම ගැන උත්සව අවස්ථාවේදී ම ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි කෝපයකින් සිටි බව.

04. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ධවල මන්දිරය(වයිට් හවුස්) භය උපදවන සහ පීඩාකාරී වාසස්ථානයක් වන බව.


05. ඇමෙරිකාවේ පළමු කාන්තා ජනාධිපතිනිය වීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් උත්සාහ කරමින් සිටින බව සහ ඇය සහ ඇයගේ සැමියා වන ජෙරාඩ් කුෂ්නර් එය සදහා සැලසුම් සකස්  කරමින් සිටින බව.


06. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් තම පියාගේ පොල් කෝම්ඹ හැඩැති කොණ්ඩා විලාසිතාව සම්බන්ධයෙන් සමච්චල් කරන බව සහ ඉවන්කා තම මිතුරන් සමග ද එය පිළිබදව කතා කරන බව.

07. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්‍රයා වන කනිෂ්ඨ ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීමට රුසියානුවන්ගේ උදව් ලබා ගැනීම සදහා සාකච්ඡා  පැවැත්වීම රාජ්‍යද්‍රෝහී කටයුත්තක් යැයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුද්ගලික සහයක ස්ටීව් බැනන් සදහන් කළ බව.

08. ඩොනල්ඩ් ට්‍රම්ප් තම මිතුරන්ගේ භාර්යාවන් සමග ලිංගික සබදතා පැවැත්වූ ආකාරය ගැන තවත් පුද්ගලයන් සමග කයිවාරු ගැසූ බව සහ මිතුරන්ගේ භාර්යාවන් ලිංගික සබදතාවලදී කෙසේ හැසිරෙන්නේදැයි ඒ මිතුරන්ගෙන් මූණට ම ඇසූ බව,
කියන ප්‍රධාන කරුණු මේ පොතේ සදහන් වෙලා තියෙනවා. මයිකල් වොල්ෆ් ලියපු Fire and Fury: Inside the Trump White House පොත මේ තරම් ආන්දෝලනය ලක්වෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේත් ඉහත සදහන් කරපු කරුණු පිළිබද දීර්ඝ විස්තර මේ පොතේ ඇතුළත් වීමයි. 



පොතේ සදහන් කරුණුවල සත්‍ය අසත්‍යතාව ගැන තර්ක ඉදිරිපත් වීම


මයිකල් වොල්ෆ් මේ පොත රචනා කිරීම සදහා සම්මුඛ සාකච්ඡා 200ක් පමණ යොදාගෙන තිබෙන අතර පොත රචනා කිරීම සදහා යොදාගත් සමහර කරුණු දැනටමත් විවේචනයට ලක්වී සහ ප්‍රශ්නගතව පවතිනවා. සමහර විචාරකයන් කියන ආකාරයට මේ පොතෙන් භාගයක් ඇත්තයි කියලා සැලකුවත් අපිට ඩොනල්ඩ් ට්‍රම්ප් මැවී පෙනෙන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මානසික විකෘතිතාවක් තියෙන පුද්ගලයෙක් හැටියටයි. ඒ වගේ ම ධවල මන්දරයේ (වයිට් හවුස්) අවුල් සහගත බවයි.


පොතේ සෑම අකුරකට ම කතුවරයා වග කියන බව කියයි...


මේ පොතේ කතුවරයා සදහන් කරන ආකාරයට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෑම පුද්ගලයෙක් ගැන ම ඉන්නේ ඉතා අවිශ්වාසයෙනුයි. Fire and Fury: Inside the Trump White House පොතේ කතුවරයා මේ පොත ලියන කාලය අතරතුරදී මාස කිහිපයක් ධවල මන්දිරයේ කාලය ගත කළ පුද්ගලයෙකු ද වෙනවා. කතුවරයා සදහන් කරන ආකාරයට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලයට අනුව  ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ පොඩි එකෙකුයි. ට්‍රම්ප් පොඩි එකෙක් වගේ වැඩ කරන නිසා කාර්ය මණ්ඩලය ට්‍රම්ප් ගැන මේ විදියට හිතන බවයි පොතේ කතුවරයා සදහන් කරන්නේ. ඒ වගේ ම මේ පොතේ ලියා තිබෙන සෑම අකුරකට ම තමා පෙනී සිටින බවත් පොතේ කතුවරයා වන මයිකල් වොල්ෆ් ජනමාධ්‍යවලට සදහන් කර තිබෙනවා. පොතේ කතුවරයා කියන ආකාරයට ඔහු මේ පොත රචනා කිරීම සදහා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලය සමග මාස 18ක් තිස්සේ සාකච්ඡා පවත්වනවා. ඒ නිසා මේ පොතේ සත්‍යතාව ගැන තමන්ට සහතික විය හැකි බව ඔහු තවදුරටත් පවසනවා. 

(මූලාශ්‍රය - BBC)



No comments:

Post a Comment