Thursday, January 4, 2018

සවුදි අරාබියේ නිදහස වැඩිවෙයි...තහංචි අඩුවෙයි...

තහංචි ඉවත් වීමට හේතු

තෙල් ආදායම්වලින් නැගී සිටි සවුදි අරාබිය නව ආර්ථික ප්‍රතිසංස්කරණවලින් මෙතෙක් නොවූ ඉහළ ආර්ථික ප්‍රගතියක් 2018 වසර අවසාන වීමේදී පෙන්නුම් කිරීමට බලාපොරොත්තු වන බව එරට රජය ප්‍රකාශ කරනවා. සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු එක් වරක් ප්‍රකාශ කර සිටියේ සවුදි අරාබිය "තෙල් ආදායම්වලට ඇබ්බැහි වී සිටින රටක්" බවයි. ඒත් සවුදි අරාබිය නව ආර්ථික ප්‍රතිසංස්කරණවලින් ඉදිරි කාලයේදී වේගවත් ආර්ථික ප්‍රගතියක් අත්කරගැනීමට නියමිතයි. සවුදි අරාබිය 2018 ජනවාරි පළමුවැනිදා සිට වැට් (VAT) බද්දක් හදුන්වා දීමට කටයුතු කළේත් මේ අනුවයි. එරට ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මන් 2016දී හදුන්වා දුන් "විෂන් 2013" (Vision 2030) ආර්ථික සැලසුම මේ වසරේ (2018) සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ සැලසුම සමග සවුදි අරාබිය 2018 වසර අවසාන වන විට ඉතා වෙනස් මුහුණුවරක් ගනු ඇති බව පැවසෙනවා. මේ යටතේ 2018 අවුරුද්දේදී සවුදි අරාබිය වෙනස් කරන දේවල් මොනවා ද කියලා අපි බලමු.

01. චිත්‍රපටි ශාලා තහනම ඉවත් කිරීම

අවුරුදු 35ක් තිස්සේ සවුදි අරාබිය තුළ චිත්‍රපටි ශාලා තහනම් කර තිබුණා. ඒත් 2017දී සවුදි රජය ගනු ලැබූ තීරණයකට අනුව මේ තහනම දැන් ඉවත් කර තිබෙනවා. මේ අනුව දැන් සවුදි අරාබි රජය සිනමා ශාලා ඉදි කිරීමට අවශ්‍ය බලපත්‍ර දැන් ලබා දෙනවා. එයත් සමග ම මේ අවුරුද්දේ මාර්තු මාසය වන විට එරට පළමු චිත්‍රපටි ශාලාව විවෘත කිරීමට නියමිතයි.

02. වාහන ධාවනය කිරීමට කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කිරීම

2017 වසරේ අවසාන කාලය වන තුරු සවුදි අරාබියේ කාන්තාවන්ට වාහන ධාවනය කිරීම සහ රියදුරු බලපත්‍ර ලබා ගැනීම තහනම් කර තිබුණා. මේ තහනම 2017 අවුරුද්දේ ජූනි මාසයේදී ඉවත් කළත්, එයට අදාළ රාජ ආඥාව නිකුත් කළේ සැප්තැම්බර් මාසයේදීයි. විශේෂයෙන් ම කාන්තාවන්ට රිය ධාවනය කිරීමේ අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා එරට කාන්තාවන් විශාල පිරිසක් එක්ව දැවැන්ත අරගලයක් ගෙන ගියා. තහනම ගණන් නොගෙන වාහන ධාවනය කළ කාන්තාවන් සැලකිය යුතු පිරිසක් ද මේ කාලයේදී අත්අඩංගුවට පත්වුණා. කොහොම වුණත් අන්තිමේදී කාන්තාවන් ගෙන ගිය මේ අරගලය නිසා සවුදි කාන්තාවන්ට රිය ධාවනයට වගේ ම රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමටත් අයිතියත් හිමි වුණා.
මෙයත් සමග කාන්තාවන් රිය ධාවනය කිරීමට ඉහළින් පෙලඹෙනවා. දැනටත් සවුදි අරාබි ආර්ථිකයේ ශ්‍රමය සපයන්නන්ගෙන් සියයට 22ක් කාන්තාවන්. සවුදියේ ඔටුන්න හිමි කුමරු ඉදිරිපත් කළ "විෂන් 2030" සැලසුම යටතේ 2030වන විට සවුදි අරාබිය තුළ ශ්‍රමය සපයන කාන්තාවන්ගේ ප්‍රතිශතය සියයට 30ක් දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වෙනවා. 
සවුදි රජය ඉදිරි කාලයේදී එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 65ක් ම පෞද්ගලික අංශයෙන් උපයා ගැනීමට බලාපොරොත්තු වන නිසා එය ක්‍රියාවට නැංවීමටත් මේ යෝජනාව උපකාරී වෙනවා.

03. ගැහැනු සහ පිරිමින්ට එකට ඉදගෙන සැණකෙළි නැරඹීමට ඉඩ දීම

සවුදි අරාබිය තුළ මෙතෙක් කාලයක් ස්වාමි පුරුෂයා සහ බිරිද වුණත් ප්‍රසිද්ධ හෝ පොදු ස්ථානයකට ගියොත් ඉදගෙන සිටිය යුතු වූයේ වෙන වෙනමයි. ඒත් මේ වසරේ සිට ඒ තහනම යම් තාක් දුරකට ලිහිල් වෙනවා. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී එරට ක්‍රීඩා අධිකාරිය සදහන් කළ ආකාරයට මේ වසරේ මුල සිට එරට ප්‍රධාන ක්‍රීඩාංගණ තුනක පැවැත්වෙන සැණකෙළි සදහා කාන්තාවන් සහ පිරිමින්ට එක්ව සහභාගි විය හැකියි. එහිදී ස්වාමි පුරුෂයාට සහ භාර්යාවට එකට ඉදගෙන තරග හෝ සැණකෙළි නරඹන්න අවස්ථාව ලබාදෙනවා. මෙයට 2017 වසරේදී ටිකක් අවම වශයෙන් ඉඩ දුන්නත් 2018 වසරේ මුල සිට එයට බාධාවකින් තොරව ඉඩ ලැබෙනවා. 

04.සංචාරකයන් ලෙස සවුදි අරාබියේ ඇවිදිය හැකි වීම

මෙතෙක් කාලයක් සවුදි අරාබියට සංචාරක වීසා අරගෙන කිසිවෙකුටත් පැමිණීමට ඉඩ දුන්නේ නැහැ. ඒ කියන්නේ එරට සංචාරය කරන්න සහ පූජනීය ස්ථානවලට යන්න මීට කලින් කිසිවෙකුටත් අවසර ලැබුණේ නැහැ. ඒත් එරට සංචාරක හා උරුම කොමිසමේ ප්‍රධානියා ප්‍රකාශ කරන ආකාරයට 2018 සිට සවුදි අරාබියට සංචාරක වීසා ලබාගෙන එරට සංචාරය කළ හැකියි. මෙයින් සවුදි අරාබි රජය බලාපොරොත්තු වෙන්නේ එරට සංචාරක ව්‍යාපාරය ඉහළ මට්ටමකට ගෙන ඒමටයි. සංචාරක ව්‍යාපාරයට ඉඩ ලැබීමත් සමග එරට සංචාරක ආයෝජනවලටත් දැන් මග පෑදී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රතු මුහුදේ ගොඩ කරන ලද වැලි දූපත්වල සැතපුම් 100ක් දිගට සංචාරක නිවාඩු නිකේතන පේළියක් ඉදි කිරීමටත් නියමිතයි. මේ අනුව සවුදි රජය 2016දී එරටට පැමිණි මිලියන 18ක් වූ පිරිස (එරටට 2016දී ශ්‍රමිකයන් ලෙස හෝ වෙනත් ක්‍රමයකට පැමිණි පිරිස) 2030වන විට මිලියන 30ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා. 

 05. ගෑස් මිල ඉහළ දැමීම

සවුදි අරාබි ජනතාවගෙන් බොහෝ දෙනෙක් ගෑස් සදහා ඉහළ මුදලක් වැය කරනවා. ඒත්  ලෝකයේ විශාල ම ඛනිජ තෙල් නිෂ්පාදන සමාගම වන සවුදි අරාබි රජයට අයිති ඇරැම්කෝ ආයතනය සවුදි අරාබියේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ ගෑස් මිල සියයට 127කින් ඉහළ දමා තිබෙනවා. මේ ඉහළ දැමීම සමග එරට පෙට්‍රල් මිල ද ලීටරයකට රියාල් 2.04ක් (පෙට්‍රල් ගැලුමක් ඇමෙරිකන් ඩොලර් 2.05ක්) දක්වා ඉහළ ගොස් තිබෙනවා. සවුදි අරාබි රජය මෙයින් බලාපොරොත්තු වෙන්නේ ඛනිජ තෙල් පරිභෝජනය අඩු කර, විශේෂයෙන් ඛනිජ තෙල් නොවන ඉන්ධනවලින් දුවන වාහන පාවිච්චිය ඉහළ නැංවීමයි.
ඒ වගේ ම ජනවාරි 01වැනිදා පනවපු වැට් බද්දෙන් සවුදි රජය බලාපොරොත්තු වෙන්නේ ඛනිජ තෙල් හැර වෙනත් මාර්ගවලින් ද ආදායම් උපයා ගැනීමයි. 

06. රජයේ තෙල් සමාගම පෞද්ගලිකකරණය කිරීම

ලෝකයේ විශාල ම ඛනිජ තෙල් නිෂ්පාදන සමාගම වෙන්නේ ඇරැම්කෝ සමාගමයි. එය අයිති සවුදි අරාබි රජයටයි. ඒත් දැන් සවුදි අරාබි රජය මේ තෙල් සමාගම පෞද්ගලිකකරණය කරන්න තීරණය කර තිබෙනවා. ඒත් මෙහිදී සමාගමේ කොටස්වලින් විකුණා දමන්න බලාපොරොත්තු වෙන්නේ කුඩා ප්‍රමාණයක්. එයත් සමග ම ඇරැම්කෝ තෙල් සමාගම ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළෙදපොළේ ඉතා ඉහළ ස්ථානයක ස්ථානගත වනු ඇතැයි ද අනාවැකි පළ වෙනවා. 

(මූලාශ්‍රය-CNN)




No comments:

Post a Comment