Wednesday, January 31, 2018

ෆේස්බුක් (Facebook) නිසා ළමයින්ට පිස්සු හැදෙන බව පර්යේෂණයකින් හෙළිවෙයි...

පසුගිය සති කිහිපය තුළ මම ඉතාමත් කාර්යබහුල වූ නිසා "මුරගල පාමුල" බ්ලොග් අඩවියට කිසි ම ලිපියක් ලියන්න තරම් මට වෙලාවක් ලැබුණේ නැහැ. ඒ වගේ ම අද ලිපියෙන් පසුවත් සති කිහිපයක් යන තුරු "මුරගල පාමුල" බ්ලොග් අඩවියට ලිපි ලිවීමට කාලයක් නැති වෙන බවත් ඔබට කණගාටුවෙන් සදහන් කරනවා. ඒ වගේ "මුරගල පාමුල" බ්ලොග් අඩවියේ පාඨකයන් සංඛ්‍යාව මේ වන විට දසදහස (10,000) ඉක්මවා තිබෙන බවත් ඔබට ඉතා සතුටින් දැනුම් දෙන්න කැමතියි. එහිදී ශ්‍රී ලාංකික පාඨකයන් 3000ක් සහ විදේශගත ශ්‍රී ලාංකික පාඨකයන් 7000කට ආසන්න පිරිසක්  බ්ලොග් අඩවිය සමග රැදී සිටිනවා. කොහොම වුණත් තවදුරටත් "මුරගල පාමුල" බ්ලොග් අඩවිය සමග රැදෙන ලෙසත් පාඨක ඔබෙන් ඉල්ලමින් මම අද ලිපිය ලියනවා.


වයස අවුරුදු 13ට අඩු අයට පොඩි ෆේස්බුක් එකක් ඕනිලු...


වයස අවුරුදු 13ට අඩු පාසල් යන වයසේ දරුවන් සදහා ඔවුන්ට ම සුවිශේෂී සමාජ ජාලයක් මුදාහරින ලෙස ළමා සෞඛ්‍ය විශේෂඥයන් 100 දෙනෙකු විවෘත ලිපියක් මගින් ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා තිබෙන බව BBC මාධ්‍ය ජාලය වාර්තා කරනවා.

ෆේස්බුක් නිසා ළමයින්ට විෂාදය වැඩි වෙලා...


ළමා සෞඛ්‍ය විශේෂඥයන් 100 දෙනා ෆේස්බුක් ආයතනයට යැවූ ලිපියේ සදහන් කරන ආකාරයට සමාජ ජාල මගින් සපයන මැසෙන්ජර් වැනි පණිවුඩ සේවා (චැටින් සර්විස්/Chatting Service) භාවිත කරන පාසල් යන වයසේ ළමුන් තම මිතුරන් ද මේ සේවාවන්ට යොමු කිරීම සදහා වගකීම් විරහිත ආකාරයට කටයුතු කරනවා.

මේ ලිපිය ෆේස්බුක් සමාගමේ ප්‍රධානි මාර්ක් සකර්බර්ග්ට යොමු කළ මේ ළමා සෞඛ්‍ය විශේෂඥයන් පිරිස තවදුරටත් සදහන් කර ඇත්තේ පාසල් යන වයසේ දරුවන්ට සමාජ ජාල ගිණුම් තිබීම ඉතා අහිතකර තත්ත්වයක් බවයි.

සමාජ ජාල භාවිත කිරීමෙන් පාසල් යන වයසේ තරුණ තරුණියන්ගේ විෂාදය සහ කාංසාව ඉහළ ගොස් ඇතැයි ද මේ ලිපියේ ඔවුන් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

ෆේස්බුක් ගියාට හිතේ දුක වැඩියිලු...


පාසල් යන වයසේ තරුණ තරුණියන් සමාජ ජාල මගින් දිනකට පණිවුඩ සේවා (චැටින් සර්විස්/Chatting Service) මගින් චැට් (Chat) කරන කාලය අාසන්න වශයෙන්  පැයක් යැයි මෙකී වාර්තාවේ සදහන් කර තිබෙන අතර ඔවුන්ගේ ජීවිතයේ කරන කටයුතුවලින් ඉතා අඩු තෘප්තිමත්භාවයක් ඇති කර තිබෙන ක්‍රියාවන්ගෙන් එකක් වන්නේ ද චැට් (Chat) කිරීම බව ද එහි සදහන් වෙනවා.

අවුරුදු 13 හා 14 වයස් කාණ්ඩයේ සිටින තරුණ පිරිස සතියකට පැය 6ත් 9ත් අතර කාලයක් සමාජ ජාලවල කාලය ගත කරන අතර මේ පිරිසෙන් සියයට 47ක් ම සමාජ ජාල භාවිත කරන තමාගේ අනෙක් මිතුරන්ට වඩා අඩු සතුටකින් යුතුව කාලය ගතකරන බව ද මේ වාර්තාව හෙළි කරනවා.

පාසල් යන කෙල්ලන්ගේ ඇග කෙට්ටු කරගැනීමේ පිස්සුව...


ෆේස්බුක් උන්මාදය හේතුවෙන් වයස අවුරුදු 10ත් 12ත් අතර වයසේ පසුවන පාසල් යන තරුණියන් තමන්ගේ ශරීරය කෙට්ටු කරගැනීම සදහා ආහාර පාලනය කරගැනීමේ උන්මාදයකින් පසුවන බවත් මේ වාර්තාවේ සදහන් වෙනවා.

ෆේස්බුක් නවත්වන්න මව්පියෝ දරුවන් සමග රණ්ඩු වෙති...


සමාජ ජාල භාවිත කරන තරුණ පිරිසෙන් සියයට 78ක් අවම වශයෙන් පැයෙන් පැයට තමන්ගේ ජංගම දුරකථනයෙන් සමාජ ජාලවලට පිවිසෙන බව ද මෙහි සදහන් වෙනවා. ඒ වගේ ම පාසල් යන වයසේ දරුවන්ගෙන් සියයට 50ක් ම ජංගම දුරකථනයට ඇබ්බැහි වී සිටින බවත් මෙහි සදහන් වෙනවා.
පාසල් යන වයසේ දරුවන්ගේ මව්පියන්ගෙන් සියයට 50ක් ම තම දරුවන් නිතර ජංගම දුරකථනය පාවිච්චි කිරීම ගැන කියමින් දරුවන් සමග රණ්ඩු ඇති කරගන්නා බවත් මෙම පර්යේෂණයෙන් සොයා ගෙන තිබෙනවා.

ඒ වගේ ම පාසල් යන වයසේ දරුවන් නිතර පාවිච්චි කරන සමාජ ජාල ලෙස ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ස්නැප්චැට් යනාදිය ද මේ වාර්තාවෙන් හදුනාගෙන තිබෙනවා.

(මූලාශ්‍රය-BBC)

Thursday, January 11, 2018

අැමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා යැයි කියන කවුද මේ ඔප්රා වින්ෆ්‍රි...? 1 කොටස

ඔප්රා වින්ෆ්‍රිගේ ජනාධිපතිවරණ අපේක්ෂාව


ඔප්රා වින්ෆ්‍රි පිළිබදව මේ දිනවල දැඩි කතාබහට ලක්වෙන්නේ ඇය ඇමෙරිකාවේ පසුගියදා පැවැති 75වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී හොලිවුඩ් රංගන ශිල්පීන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් සම්බන්ධයෙන් ප්‍රබල හෙළිදරව් කිරීමක් කළ නිසායි. ඇය කළ මේ කතාවෙන් පසු ඇයගේ මිතුරන් දෙදෙනෙකු ජනමාධ්‍යයට පවසා සිටියේ ඇය 2020දී පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අදහසකින් සිටින බවයි. ඔප්රා වින්ෆ්‍රි මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන්ට ඇය පරාජය කිරීමට හැකි බව ඇමෙරිකාවේ වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඔප්රා වින්ෆ්‍රි ඉදිරි ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එය ඉතා සුබදායක ආරංචියක් වනු ඇති බව ඇමෙරිකාවේ බොහෝ දෙනෙකුගේ අදහස ද වුණා. කොහොම නමුත් මේ සම්බන්ධයෙන්ඔප්රා වින්ෆ්‍රිගේ ප්‍රතිචාරය මෙතෙක් පැහැදිලිව දැක ගැනීමට නොහැකියි. 

මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන චරිතයක් නිසා අද මම ඔප්රා වින්ෆ්‍රි ගැන කෙටියෙන් සටහනක් ලියන්න හිතුවා. ඇත්තට ම ඔප්රා වින්ෆ්‍රිගේ කතාව තුළ අපිට ඉගෙන ගත යුතු විවිධ පාඩම් පවා තියෙනවා. 


ඔප්රා වින්ෆ්‍රිගේ රැකියාව සහ ධනවත්කම


ඔප්රා වින්ෆ්‍රි කියන්නේ ඇමෙරිකාවේ ප්‍රකට රූපවාහිනී නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් සහ ව්‍යවසායිකාවක්. ඇය දිනපතා රූපවාහිනියෙන් ඉදිරිපත් කරන "ද ඔප්රා වින්ෆ්‍රි ෂෝ" කියන වැඩසටහන සමීක්ෂණ වාර්තා අනුව තවමත් ඉතා ඉහළ ජනප්‍රියත්වයක් තිබෙන වැඩසටහනක් ලෙස ද සැලකෙනවා. 

ඔප්රා වින්ෆ්‍රි සැලකෙන්නේ ඇමෙරිකාවේ ධනවත් ම සහ ඇමෙරිකාවට විශාල බලපෑමක් කළ කාන්තාවක් හැටියටයි. ඇය සැලකෙන්නේ ධනවත් ම ඇමෙරිකා-අප්‍රිකානු පුද්ගලයා සහ උතුරු ඇමෙරිකාව තුළ බිලියනපතියෙක් වූ පළමු කලු ජාතිකයා ලෙසයි. ඒ වගේ ම ඇය ඇමෙරිකානු ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨ පරාර්ථකාමියෙකු ලෙස ද සැලකෙනවා. 


ළමා කාලය


ඇය ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රදේශයේ ඉතා දිළිදු ග්‍රාමීය පවුලකට දාව 1954දී උපත ලැබූ තැතැන්තියක්. වයස අවුරුදු 18ට අඩු අවිවාහක කාන්තාවකට දාව ඔප්රා වින්ෆ්‍රි ඉපදුනා. 


කුඩා කල සිට ම ලිංගික අතවර 


ඔප්රා වින්ෆ්‍රි කුඩා කාලයේ සිට ම විවිධ ලිංගික අඩන්තේට්ටම්වලට ද බොහෝ සෙයින් ලක් වුණා. මෙහි ප්‍රතිඵලය වුණේ ඇය වයස අවුරුදු 14දී ගැබිණියක් බවට පත්වීමයි. කොහොම වුණත් ඔප්රා වින්ෆ්‍රිට දාව ඉපදුනු දරුවා ද කුඩා කාලයේ ම මරණයට පත්වුණා. 


රැකියාව සහ මත්ද්‍රව්‍ය


ඔප්රා වින්ෆ්‍රි පාසලේ ඉගෙනුම ලබන අතරේ ඇයට ගුවන්විදුලි නාලිකාවක රැකියාවක් ලැබුණා. ඇයට වයස අවුරුදු 19දී ඇයට එරට රූපවාහිනී නාලිකාවක තවත් පුද්ගලයෙකු සමග එක්ව දේශීය සවස පුවත් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණා. ඔප්රා වින්ෆ්‍රි පිළිබදව ප්‍රකට කරුණක් වන්නේ ඇය අවුරුදු විසි ගණනන්වලදී කොකේන් මත්ද්‍රව්‍යයට දැඩි ව ඇබ්බැහි වී සිටීමයි. ඇය පසුකාලීනව මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් මිදී තිබෙනවා.


රූපවාහිනියට නුසුදුසු නිවේදිකාවක්ලු

ඔප්රා වින්ෆ්‍රි ටෙනසි රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ ප්‍රාසංගික කලාව පිළිබදව උසස් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ඇයට රූපවාහිනී නාලිකාවක නිවේදන රැකියාවක් ලැබුණත් ඇයට එහි වැඩ කිරීමට අවස්ථාව ලැබුණේ මාස හතහමාරක් පමණයි. ඇය රූපවාහිනී ඉදිරිපත් කිරීම්වලට නුසුදුසු කෙනෙක් යැයි කියා ඇය රැකියාවෙන් ඉවත් කිරීමට අදාළ රූපවාහිනී නාලිකාවේ ප්‍රධානීන් කටයුතු කළා. කොහොම වුණත් ඇය තමන්ගේ මහන්සියෙන් රැකියා සොයාගෙන නිවේදක රැකියාවෙන් තව තවත් ඉහළට ගියා. එහි ප්‍රතිඵලයක් වුණේ ඇය පසුකාලීනව ඇයගේ ම නිෂ්පාදන කණ්ඩායමක් බිහිකරගෙන එය ජාත්‍යන්තර මට්ටමෙන්  දියත් කිරීමයි. ඔප්රා වින්ෆ්‍රි එදා පටන් ගත් තැනින් දීර්ඝකාලීන ගමනක් ඇවිල්ලායි අද ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ. 

(මූලාශ්‍ර - Britannica, Wikipedia, Vogue, Washington Post)



Wednesday, January 10, 2018

ඊළග ජනාධිපතිවරණයට ගෑනියෙක් ආවොත් කරන්න ඕනි දේ මම දන්නවා - ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි...

ඔප්රා වින්ෆ්‍රිගේ ජනප්‍රියත්වය


ඇමෙරිකාවේදී පසුගියදා පැවති 75වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල ලෝකයේ ම අවධානය යොමු වුණේ හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැනට පවතින දැඩි ලිංගික අපයෝජනයන් පිළිබදව සහ ඒවාට එරෙහි වීම පිළිබදව සාකච්ඡා වීම නිසායි. හොලිවුඩ් සිනමාව තුළ පවතින ලිංගික අපයෝජනයන් සම්බන්ධයෙන් ඉතා හොදින් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී අදහස් දැක්වූයේ ඇමෙරිකාවේ ප්‍රකට නිවේදිකාවක සහ නිළියක වන ඔප්රා වින්ෆ්‍රි විසිනුයි. 

හොලිවුඩයේ රංගන ශිල්පීන්ට පවතින ලිංගික අඩන්තේට්ටම් සහ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් ඔප්රා වින්ෆ්‍රි අදහස් දැක්වීමෙන් පසු ඇයගේ මිතුරන් දෙනෙකු ජනමාධ්‍යවලට සදහන් කර සිටියේ 2020 ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබදව ඇය සිතමින් සිටින බවයි. එයත් සමග ලෝකය පුරා පැතිර ගිය කතාවක් වූයේ මිළග ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා ඇය ඉතා සුදුසු බවයි. 


2020න් පසුවත් ඇමෙරිකාවේ ජනපති මමයි - ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි...


ඔප්රා වින්ෆ්‍රි ඇමෙරිකාවේ මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඇයට සිදුවනු ඇති දේ ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් මාධ්‍ය ආයතනවලට පවසා තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන ආකාරයට 2020 පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඔප්රා වින්ෆ්‍රි ඉදිරිපත් වීමට ඇති අවස්ථා ඉතා අඩුයි. ට්‍රම්ප් පවසන ආකාරයට  ඔප්රා වින්ෆ්‍රි ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැහැ. කොහොම වුණත් ඔප්රා වින්ෆ්‍රි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් අනිවාර්යයෙන් ම තමා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. ‍ තමන් ඔප්රා වින්ෆ්‍රිට කැමති බව සහ තමන් ඔප්රා වින්ෆ්‍රි හොදින් දන්නා බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ගැන ජනමාධ්‍යවලට අදහස් දක්වමින් දැනට කියා තිබෙනවා. 


ඔප්රා වින්ෆ්‍රි නිහඩයි...


කොහොම වුණත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඔප්රා වින්ෆ්‍රිගෙන් ජනමාධ්‍ය විමසන ප්‍රශ්නවලට ඇය තවමත් පිළිතුරු දී නැහැ. ඇය මේ ප්‍රශ්න මගහරිමින් සිටිනවා.  

(මූලාශ්‍ර - CNN, BBC)


සහරා කාන්තාරයටත් හිම වැටෙයි...

ශ්‍රී ලංකාවේ පවතින දැඩි ශීත කාලගුණය


ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල පවතින්නේ දැඩි සීතල කාලගුණයක්. නිතර නියගයෙන් පීඩා විදින වියළි කලාපය තුළ මේ දිනවල උදෑසන සහ රාත්‍රි කාලයට දැඩි සීතල කාලගුණයක් පවතිනවා. අනුරාධපුර සහ පොලොන්නරුව වැනි ප්‍රදේශවල මේ දිනවල රාත්‍රි උෂ්ණත්වය වාර්තා වන්නේ සෙල්සියස් අංශක 16ක් වැනි මට්ටමකයි. වෙනත් කාලයන්හිදී මේ ප්‍රදේශවල  රාත්‍රි උෂ්ණත්වය සෙල්සියස් අංශය 36ත් ඉක්මවා යන තරම් තිබෙනවා. නමුත් දැනට පවතින සීත කාලගුණය හේතුවෙන් වෙනදා පවතින උෂ්ණත්වයෙන් අඩක පමණ උෂ්ණත්වයකුයි දැන් මේ ප්‍රදේශවල දකින්න තියෙන්නේ. නුවරඑළිය වැනි ප්‍රදේශවල මේ දිනවල උෂ්ණත්වය වාර්තා වන්නේ සෙල්සියස් අංශක 4ක් ලෙසයි. මෙයත් සමග නුවරඑළිය ප්‍රදේශයට මල්තුහින වැටීම ද මේ දිනවල සිදුවෙනවා.


ලෝකයේ පවතින ශීත කාලගුණය


දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන දැඩි ශීත කාලගුණය ලෝකයේ බොහෝ රටවලිනුත් වාර්තා වෙනවා. උදාහරණයක් හැටියට ඇමෙරිකාවේ සමහර ප්‍රදේශවල මේ දිනවල රාත්‍රියේ පවතින උෂ්ණත්වය සෙල්සියස් අංශක -39 (ඍණ 39ක්) ලෙස වාර්තා වෙනවා. ලෝකයේ දැනට පවතින ශීත කාලගුණයට උදාහරණ සපයන තවත් ප්‍රවෘත්තියක් මේ වන විට වාර්තා වෙනවා. ඒ ලෝකයේ විශාල ම උණුසුම් කාන්තාරය වන සහරා කාන්තාරයට ද මේ දිනවල හිම වැටීමයි. ලෝකයේ උෂ්ණත්වය වැඩි ම ප්‍රදේශ කිහිපයකින් එකක් වන සහරා කාන්තාරයට ද හිම වැටීමෙන් පැහැදිලි වන්නේ ලෝකයේ මේ දිනවල ඇති වී තිබෙන ශීත කාලගුණයේ ස්වභාවයයි. 


සහරා කාන්තාරයට හිම වැටීම



ඇල්ජීරියාවේ අයින් සෙෆ්රා කියන සහරා කාන්තාරයේ පවතින කාන්තාර නගරයට මේ දිනවල හිම පතිත වී තිබෙනවා. අයින් සෙෆ්රා කියන නගරය සැලකෙන්නේ සහරා කාන්තාරයට ගමන් කරන දොරටුවක් ලෙසයි. වසර 40ක කාලයක් තුළ සහරා කාන්තාරයට හිම පතිත වූ 3වැනි අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ. 


පතිත වූ හිමවල ඝනකම


සමහර වාර්තාවන්ගෙන් කියවෙන විදියට අයින් සෙෆ්රා නගරයට අඩි එකහමාරකට ආසන්න (අගල් 15ක්) ඝනකමින් යුත් හිම ප්‍රමාණයක් පතිත වී තිබෙනවා. ඒත් අයින් සෙෆ්රා නගරයේ වාර්තාවන්ට අනුව එතරම් හිම ප්‍රමාණයක් සහරා කාන්තාරයට පතිත වී නැහැ. ඔවුන්ගේ වාර්තාවන්ට අනුව සහරා කාන්තාරයට පතිත වී තිබෙන හිම ප්‍රමාණය අගලකටත් වඩා අඩු ඝනකමකින් යුක්තයි.මේ හිම පතිත වීම පසුගිය ඉරිදා (2018.01.07) දිනයේදී සිදු වී තිබෙන අතර හිම දියවීම එදින සවස 5ට පමණ ආරම්භ වී තිබෙනවා. අයින් සෙෆ්රා නගරයට මේ ආකාරයට හිම පතිත වී තිබෙන්නේ වසර 37කට පසුවයි. 

(මූලාශ්‍රය - CNN)


Tuesday, January 9, 2018

හොලිවුඩ් නිළියන්ගේ රෙදි ගලවන හොලිවුඩ් අධ්‍යක්ෂවරුන්ට වැඩ වරදී...

නිළියන්ගේ හිතට වදයක් වූ ලිංගික අතවර


ඇමෙරිකානු චිත්‍රපට කර්මාන්තය (හොලිවුඩ් සිනමාව) තුළ නිළියන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් සහ අතවර නිමා කිරීමට දැවැන්ත සටනක් ආරම්භ කළ යුතු යැයි හොලිවුඩය තීරණය කර තිබේ. ඇමෙරිකාවේ ප්‍රධාන සිනමා උළෙලක් වන ගෝල්ඩ් ග්ලෝබ්හිදී මෙවැනි එකගතාවකට පැමිණ ඇත්තේ මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ යාවජීව සම්මානයෙන් පිදුම් ලද ප්‍රකට නිළියක සහ නිවේදිකාවක වන ඔප්රා වින්ෆ්‍රි කළ සම්මාන උළෙලේදී කළ කතාව හේතුවෙනි. මෙම කතාවේදී හොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළ නිළියන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් පිළිබදව අදහස් දැක්විණි. එමෙන් ම හොලිවුඩයේ සිදුවන ලිංගික අතවරවලට එරෙහිව හොලිවුඩ් නිළියන්ගේ පොදු එකගතාවක් ද මෙහිදී ඇතිවිණි. 

ඔප්රා වින්ෆ්‍රි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ ප්‍රේක්ෂකාගාරය හමුවේ කළ කතාවත් සමග හොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ නිළියන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් පිළිබද කතිකාවක් ඇති වූ අතර එහි දී ඔප්රා වින්ෆ්‍රි තවදුරටත් පැවසුවේ "අපි මේ වෙලාවේ ඇත්ත කතා කිරීම අපි හැමෝට ම ලැබෙන ආයුධයකුයි" යනුවෙනි. 


සුපිරි තරු කලු පැහැ ඇදුම්වලින් සැරසී උළෙලට පැමිණෙයි


75වැනි වරට පැවැත්වූ ඇමෙරිකාවේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල තුළ මෙවර කැපී පෙනුනේ ලිංගික අඩන්තේට්ටම් සහ ලිංගික අතවරවලට එරෙහිව කරනු ලැබූ හඩ නැගීම ය. හොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළදී ලිංගික අඩන්තේට්ටම් සහ ලිංගික අතවරවලට ලක්වූ වින්දිතයන්ට ගෞරව දැක්වීම සදහා මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලට පැමිණි සුපිරි කලා ශිල්පීහු කලු පැහැ ඇදුම්වලින් සැරසී පැමිණ සිටියහ. 


ගෝල්ඩන් ග්ලෝබ් මෙවර හොද ම චිත්‍රපටය


75වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී මෙවර පෙරමුණ ගනු ලැබූ චිත්‍රපටය වූයේ "Three Billboards Outside Ebbing, Missouri" චිත්‍රපටයයි. එය හොද ම චිත්‍රපටය සම්මානය සමග තවත් සම්මාන තුනක් දිනාගෙන මෙවර සම්මාන උළෙලේ ප්‍රමුඛස්ථානයට පත්විය. 

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ "හොලිවුඩ් විදේශ මාධ්‍ය සංගමය"යි. 

(මූලාශ්‍ර - BBC, AFP)


Monday, January 8, 2018

හැට පැන්නත් බිමින් යන්නැති මැලේසියන් අගමැති නැවතත් සටනට...

අගමැති තනතුරට වයස බාධාවක් නොවෙයි...


දීර්ඝ කාලයක් මැලේසියාවේ අගමැති ධුරය දැරූ දැනට වයස අවුරුදු 92ක් වන මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් නැවතත් එරට  මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටී. ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත මැලේසියානු පාර්ලිමේන්තු මැතිවරණය සදහා මහතීර් මොහොමඩ් මෙලෙස අගමැති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නියමිත ය. මහතීර් මොහොමඩ් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සදහා විපක්ෂ සන්ධානයක් පසුගිය ඉරිදා (2018.01.07) ආරම්භ කළ අතර එහි අගමැති අපේක්ෂකයා බවට පත්වන්නේ ඔහු ය. 

මහතීර් මොහොමඩ් එරට අගමැති ධුරයට සමුදුන්නේ 2003දී වන අතර ඒ වන විට ඔහු අවුරුදු 20කට වැඩි කාලයක් අගමැති ධුරය දරා තිබිණි. 


ලෝකයේ වයස්ගත ම රාජ්‍ය නායකයා වීමටත් අවස්ථාවක්...


කෙසේ නමුත් ලබන අගෝස්තුවේ පැවැත්වෙන මැලේසියානු මහ මැතිවරණයෙන් මහතීර් මොහොමඩ් ජය ගනු ලැබුවහොත් ඔහුට එරට අගමැති ධුරය හිමිවන අතර, එසේ වුවහොත් ඔහු ලොව වයස්ගත ම රාජ්‍ය නායකයා බවට ද පත්වනු ඇත. 

ඉකුත් වසර කිහිපයේදී මහතීර් මොහොමඩ් විපක්ෂයක කාර්යභාරය ඉටුකරමින් කටයුතු කළ අතර වර්තමාන මැලේසියානු අගමැති නජිබ් රසාක් මැලේසියානු රජයේ සංවර්ධන අරමුදලකින් බිලියන ගණනක මූල්‍ය වංචාවක් කර ඇති බව ද මහතීර් මොහොමඩ් එහිදී නජිබ් රසාක්ට චෝදනා එල්ල කරනු ලැබී ය. වර්තමාන අගමැතිවරයාට එරෙහි ක්‍රියාකලාපයන්ගෙන් අනතුරුව මහතීර් මොහොමඩ් එරට ඉදිරි මහ මැතිවරණය සදහා ද මේ වන විට ඉදිරිපත් වී තිබේ. 


තනතුර දැරූ කාලයේදී පෙන්වූ හපන්කම්


මහතීර් මොහොමඩ් සැලකෙනුයේ මැලේසියාව ඉහළ ආර්ථික වර්ධනයක් සහිත රටක් බවට පත්කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ මැලේසියානු අගමැතිවරයෙකු ලෙස ය. ඔහු අගමැති ධුරය දැරූ කාලසීමාව තුළ මැලේසියාව ආසියාවේ වේගයෙන් ම වර්ධනය වන ආර්ථිකයක් හිමි රටක් (Asian Economic Tiger) බවට පත් විණි. 

(මූලාශ්‍රය - BBC)

ඉරානයේ පාසල් තුළ ඉංග්‍රීසි ඉගැන්වීම තහනම් කරයි...

ඉංග්‍රීසි තහනමේ පසුබිම


ඉරාන රජය එරට ප්‍රාථමික පාසල්වල ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම තහනම් කර තිබේ. ඉරානයේ ඇති වූ නොසන්සුන්කාරී හා ගැටුම්කාරී තත්ත්වයෙන් සතියකට පසු ඉරාන රජය මේ තීරණය ගෙන තිබේ. පසුගිය සතියේදී ඉරානය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූයේ එරට ආර්ථික පීඩනය පදනම් කරගනිමිනි. එකී විරෝධතාවේදී විරෝධතාකරුවෝ ඉරානයේ පවතින මූලධර්මවාදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ක්‍රියාකලාපයන්ට විරෝධය දැක්වූහ. එය සම්බන්ධයෙන් ඉරානයේ අාධ්‍යාත්මික නායක අයතොල්ලාහ් අලි කමෙනෙයි සදහන් කළේ ඉරානය තුළ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය විදේශ මැදිහත්වීමක ප්‍රතිඵලයක් බව ය. 


ඉංග්‍රීසිවලින් සංස්කෘතික ආක්‍රමණයක්...?


ඉරානයේ ප්‍රාථමික පාසල්වල ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම තහනම් කිරීම පිළිබදව ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතොල්ලාහ් කමෙනෙයි සදහන් කරන්නේ බටහිර රටවල් ඉංග්‍රීසි භාෂාව යොදාගෙන සංස්කෘතික ආක්‍රමණයක් කරමින් සිටින බව ය. ඉරානයේ අධ්‍යාපනය සම්බන්ධ ඉහළ පරිපාලනය මේ තහනම පිළිබදව අද දිනයේදී (2018.01.08) නිවේදනයක් නිකුත් කරමින්  නිල වශයෙන් සදහන් කර තිබේ.

ඉරානයේ උසස් අධ්‍යාපන කවුන්සිලයේ ප්‍රධානි මෙහ්ඩි නවිඩ් අදම් එරට ජාතික ගුවන්විදුලිය වන අයි.ආර්.අයි.බී. (IRIB) සමග එක්වෙමින් මේ පිළිබදව සදහන් කළේ බටහිර රටවල් ඉරානයට එල්ල කළ හැකි සංස්කෘතික ආක්‍රමණයක් සදහා ඉංග්‍රීසි භාෂාව යොදාගත හැකි බව ය. ඔහු රොයිටර් පුවත් සේවාවට මේ පිළිබදව පවසා ඇත්තේ "රජයේ ප්‍රාථමික පාසල්වල සහ රජයේ නොවන ප්‍රාථමික පාසල්වල ඉංග්‍රීසි ඉගැන්වීම ඉරාන නීතියට හා රෙගුලාසිවලට පටහැනි" බව ය. 

ඉරාන සංස්කෘතියේ පදනම ප්‍රාථමික පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනයෙන් නිර්මාණය වන හෙයින් මෙම තහනම ප්‍රාථමික පාසල් සදහා පනවා තිබේ. 


තහනම අලුත් දෙයක් නෙවෙයි - ඉරාන අධ්‍යාපන අමාත්‍යාංශය


ඉරාන රජය එරට ප්‍රාථමික පාසල්වල ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම තහනම් කර ඇති බව එරට අධ්‍යාපන අමාත්‍යාංශය ද මේ වනවිට තහවුරු කර තිබේ. එරට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල ප්‍රකාශකයා එය පිළිබදව ප්‍රකාශ කරන්නේ "ඉරාන රජයේ මේ තහනම අලුත් දෙයක් නෙවෙයි. අනුමත ජාතික ප්‍රතිපත්තියට අනුව ඉරානයේ පාසල්වල 7වැනි ශ්‍රේණියට පැමිණෙන තුරු  හෝ උසස් පාසලේ පළමු ශ්‍රේණියට පැමිණෙන තුරු දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්නේ නැහැ" යනුවෙනි.

මෙයත් සමග ඉරානයේ පෞද්ගලික පාසල් තම පාසල්වල ඉගෙනුම ලබන තරුණ සිසුන්ට පමණක් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට කටයුතු යෙදිය හැකි බව ද තවදුරටත් කියවෙනවා. 

(මූලාශ්‍රය - Deutsche Welle)

Saturday, January 6, 2018

පොඩි ළමයි රෑට නිදාගන්න වෙලාවත් රටින් රටට වෙනස් වෙලා...

ළදරුවන් රාත්‍රියට නිදාගන්නා වේලාවේ වෙනස්කම්


ලෝකයේ වයස අවුරුදු 3ක් දක්වා වන සියලු ළදරුවන් රාත්‍රියට නිදාගන්නා වේලාවන් රටෙන් රටට සහ මහද්වීපයෙන් මහද්වීපයට වෙනස් වන බව පර්යේෂණයකින් හෙළි වී තිබේ.  උපතේ සිට වයස අවුරුදු 3ක් දක්වා වන දරුවන් රාත්‍රියට නිදාගන්නා වේලාව ළදරුවන් ජීවත්වන රට, ප්‍රදේශය හෝ කලාපය අනුව වෙනස් වන බව මෙය පිළිබද පර්යේෂණයේ යෙදුනු සායනික කායික විද්‍යාඥවරියක වන ජෝඩි මින්ඩෙල් සදහන් කරනවා. ඇය කළ පර්යේෂණයෙන් ලැබුණු අවසාන නිගමන පරීක්ෂා කිරීමේදී දරුවන් රාත්‍රියට නිදාගන්නා වේලාව රටින් රටට වෙනස් වීම සම්බන්ධයෙන් ඇය ඉතා පුදුමයට පත් වී සිටිනවා. 


දරුවන් නිදාගන්නා වේලාව රටින් රටට වෙනස්වේ 


ජෝඩි මින්ඩෙල් කියන ආකාරයට ඇය මේ පර්යේෂණය ආරම්භ කරන විට සිතා ඇත්තේ ලෝකයේ රටවල ලෝකයේ ළදරුවන් රාත්‍රියට නිදාගන්නා වේලාවන් අතර  පරතරය විනාඩි 10ක් හෝ 15ක් වෙයි කියලායි. ඇය එහෙම හිතුවත් එ්ක එහෙම වෙලා නැහැ. ඒත් ඇයගේ පර්යේෂණය අවසානයේදී ඇයට ලැබුණු නිගමනවලට අනුව ලෝකයේ රටවල ළදරුවන් නිදාගන්නා වේලාව අතර පරතරය පැය දෙකහමාරකට (2  1/2) වඩා වැඩි අගයක් ගෙන තියෙනවා. ඇය පුදුම වී තියෙන්නේ මේ ප්‍රතිඵල නිසායි. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් දෙකත්, හොංකොං සහ කොරියාව යන රටවල් දෙකත් සංසන්දනය කළා ම මේ වෙනස හොදට තේරුම්ගත හැකියි කියලා ඇය කියනවා. 


තොරතුරු රැස් කළ ආකාරය සහ රැස් කළ රටවල්


මේ පර්යේෂණය සදහා අවශ්‍ය දත්ත ලබා ගැනීමට ජෝඩි මින්ඩෙල් රටවල් ගණනාවක ජීවත්වන ළදරුවන්ගේ මව්පියන් සමග සාකච්ඡා කර තිබෙනවා. ඇය සහ ඇයගේ පර්යේෂණ කණ්ඩායම චීනය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, කොරියාව, ජපානය, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය, වියට්නාමය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව යන රටවලින් මේ සදහා දත්ත රැස්කර තිබෙනවා. මෙයට අදාළ ප්‍රශ්නාවලිවලට (සමීක්ෂණ පත්‍රිකා, සාකච්ඡා) අවශ්‍ය දත්ත 2006, 2007 සහ 2008 යන වර්ෂවලදී ඔවුන් රැස්කර තිබෙනවා. එසේ රැස්කර ගත් දත්ත විශ්ලේෂණය කර ඔවුන් මේ නිගමනවලට එළඹී තියෙනවා. 


ළදරුවන් කලින් ම නිදාගන්නා රට සහ ළදරුවන් වැඩිපුර ම පරක්කු වී නිදාගන්නා රට


ඔවුන්ගේ පර්යේෂණයට අනුව රාත්‍රියට කලින් ම නිදාගන්නේ නවසීලන්තයේ ළදරුවනුයි. ඔවුන් නිදාගන්නා සාමාන්‍ය වේලාව දැක්වෙන්නේ රාත්‍රි 7.28 ලෙසයි. වඩාත් ම රෑ වෙලා නිදාගන්නේ හොංකො රාජ්‍යයේ ළදරුවනුයි. හොංකොං රාජ්‍යයේ ළදරුවන් රාත්‍රියට නිදාගන්නා සාමාන්‍ය වේලාව වෙන්නේ රාත්‍රි 10.17යි. 

මේ වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ ළදරුවන් නිදාගන්නේ රාත්‍රි 7.43ටයි, බ්‍රිතාන්‍යයේ ළදරුවන් නිදාගන්නේ රාත්‍රි 7.55ටයි, ඇමෙරිකාවේ ළදරුවන් නිදාගන්නේ රාත්‍රි 8.52ටයි, චීනයේ ළදරුවන් නිදාගන්නේ රාත්‍රි 8.57ටයි, දකුණු කොරියාවේ ළදරුවන් නිදාගන්නේ රාත්‍රි 10.06ටයි, ඉන්දියාවේ ළදරුවන් නිදාගන්නේ රාත්‍රි 10.11ටයි. මේ තොරතුරුවලින් කියවෙන්නේ මේ රටවල දරුවන් හරියට ම මේ වේලාවට නිදාගන්නවා කියලා නෙවෙයි. මේ තොරතුරුවලින් දක්වලා තියෙන්නේ මේ රටවල දරුවන් රාත්‍රියට නිදාගන්නේ ආසන්න වශයෙන් රාත්‍රි කීයට විතර ද කියලායි. 

සමස්තයක් හැටියට සලකලා බැලුවා ම වැඩිපුර ම රෑ වෙලා නිදාගන්න ළදරුවන් පිරිසක් ඉන්නේ ආසියානු කලාපයේයි. ඉතා කලින් ම නින්දට යන ළදරුවන් පිරිස ඉන්නේ ඕස්ට්‍රේලියා (ඕෂනියා) මහද්වීපයේ සහ යුරෝපා මහද්වීපයේයි. 

ජෝඩි මින්ඩෙල්ගේ පර්යේෂණ කණ්ඩායමේ තොරතුරුවලට අනුව ලෝකයේ අනෙක් රටවල දරුවන් නිදාගන්නේ කීයට ද කියලාත් පහත සටහනේ (Info-graph) තියෙනවා. 
(http://edition.cnn.com)

(මූලාශ්‍රය - CNN)


ශ්‍රී ලංකාවේ රැකියා ඇබෑර්තු ප්‍රමාණය ලක්ෂ 05ක් දක්වා ඉහළ යයි...

ශ්‍රී ලංකාවේ රැකියා ඇබෑර්තු ප්‍රමාණය


ශ්‍රී ලංකාවේ විවිධ අංශයන්හි පවතින රැකියා ඇබෑර්තු ප්‍රමාණය ලක්ෂ පහකට ආසන්න බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2017 වර්ෂයේදී පැවැත්වූ ශ්‍රම ඉල්ලුම පිළිබද සමීක්ෂණ වාර්තාවෙන් මෙය හෙළි වී තිබෙනවා. මේ අනුව මෙරට සෑම අංශයක ම පවතින රැකියා පුරප්පාඩු (රැකියා ඉල්ලුම) ගණන 497,302ක් වෙනවා. 

2018 වසරේදී වැඩි ම ඉල්ලුමක් ඇති රැකියාවන් මොනවා ද?


ශ්‍රම ඉල්ලුම පිළිබද සමීක්ෂණ වාර්තාවට අනුව මේ වසරේදී (2018) ඉහළ ම ඉල්ලුමක් පවතින්නේ මැහුම් සේවකයන්ට සහ ඇදුම් සකසන්නන්ටයි. මැහුම් සේවකයන්ට සහ ඇදුම් සකසන්නන්ට මේ අවුරුද්දේ තිබෙන පුරප්පාඩු සංඛ්‍යාව 74,000ක් වෙනවා. ඉන් අනතුරුව වාණිජ හා අලෙවි අංශය තුළ මේ අවුරුද්දේ තිබෙන පුරප්පාඩු සංඛ්‍යාව 70,000ක් බව මේ වාර්තාවේ සදහන් වෙනවා.  

පෞද්ගලික අංශයේ රැකියාවක් ඉක්මණින් හොයා ගන්නේ කොහොම ද?


කිසියම් රැකියා අපේක්ෂකයෙකුට කණ්ඩායම් හැගීමකින් යුතුව සාමූහිකව කටයුතු කිරීමට හැකියාවක් තිබෙනවා නම් සහ හොද වාචික සන්නිවේදන හැකියාවක් තිබෙනවා නම් පෞද්ගලික අංශය තමන් සතු රැකියාවලට ඔවුන් ඉක්මණින් යෙදවීමට උත්සාහ කරන බව මේ වාර්තාවේ සදහන් වෙනවා.
ඒ වගේ ම පෞද්ගලික අංශය අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් යන දෙක ම ඇති පිරිස සේවයේ යෙදවීමට ඔවුන් වැඩි කැමැත්තක් දක්වනවා. ඔවුන් වෘත්තීය පුහුණුව පමණක් ලැබූ අය සේවයේ යෙදවීමට තරමක් මැළිකමක් දක්වනවා. 

ඉහළ ඉල්ලුමක් ඇති අනෙක් රැකියා


මේ කොහොම වුණත් පසුගිය වසරේ සිට සලකා බැලුවොත් ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙදපොළ තුළ දැනට ඉහළ ම ඉල්ලුමක් පවතින්නේ මහන මැෂින් ක්‍රියාකරුවන්ට බව ද මේ වාර්තාව හෙළි කරනවා. මේ අනුව දැනට මහන මැෂින් ක්‍රියාකරුවන් 77,189ක් සදහා මෙරට ඇබෑර්තු තිබෙනවා. කොහොම වුණත් මහන මැෂින් ක්‍රියාකරුවන් සොයා ගැනීමේ දැඩි දුෂ්කරතාවකින් ව්‍යාපාර අංශය පසුවන බව ද  වාර්තාවේ සදහන් වෙනවා. මහන මැෂින් ක්‍රියාකරුවන්ගෙන් පසුව ශ්‍රී ලංකාවේ ඉහළ ම ඉල්ලුමක් ඇත්තේ ආරක්ෂක නියාමකයන්ට බව ද මෙහි සදහන් වෙනවා. දැනට ආරක්ෂක නියාමක පුරප්පාඩු 57,008ක් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. මේ හැරුණු විට මීළගට ඉහළ ම ඉල්ලුමක් ඇත්තේ යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණවේදීන්, ගිණුම්කරණ සහයක වෘත්තීකයන් සහ හෙද වෘත්තිකයන්ට බව ද  මේ වාර්තාවේ සදහන් කරනවා. 
පසුගිය වසරේදී (2017) ශ්‍රී ලංකාවේ වැඩි ම පිරිසක් සේවා අංශයේ රැකියාවල යෙදී සිට තිබෙන අතර එයින් වැඩි පිරිස සේවා සහ විකුණුම් සේවක යන අංශවල සේවය කර තිබෙනවා. 

මේ වාර්තාව වැදගත් වෙන්නේ කාට ද?


ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ සමීක්ෂණ වාර්තාව සකස් කිරීම සදහා රටපුරා තිබෙන සේවකයන් තුන්දෙනෙකුට වැඩියෙන් සිටින ව්‍යාපාර ආයතන 3500ක දත්ත යොදාගෙන තිබෙනවා. මේ වාර්තාව වැඩියෙන් ම ප්‍රයෝජනවත් වෙන්නේ විශ්වවිද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතනවලට බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තවදුරටත් මේ වාර්තාවෙන් සදහන් කරනවා. ඒ වගේ ම රැකියා සොයන රැකියා අපේක්ෂකයන්ටත් මේ වාර්තාව ඉතා වැදගත් වෙනවා. රැකියාවක් සොයා ගැනීමේදී තමන්ට තිබෙන අවස්ථා ගැන මේ වාර්තාවෙන් අවබෝධයක් ලැබීමට හැකිවීම මෙයට ප්‍රධාන හේතුවයි.

(මූලාශ්‍රය - ශ්‍රම ඉල්ලුම පිළිබද සමීක්ෂණ වාර්තාව-2017, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව)

Friday, January 5, 2018

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රෙදි ගලවන පොතක් නිකුත් වෙයි...

ට්‍රම්ප් ගැන ලියවුණු පොතේ ආන්දෝලනය


ඇමෙරිකානු ජනාධිපතිවරයා ගැන ලියැවුණු පොතක් මේ සතියේ වෙළෙදපොළට පැමිණීම ගැන මීට දවස් දෙක තුනකට පෙර වාර්තා නිකුත් වුණේ මේ පොතේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ආන්දෝලනාත්මක කරුණු තිබුණු නිසායි. එය එතරම් කතාබහට ලක්වෙයි යැයි බොහෝ දෙනෙකු සිතුවේ නැහැ. ඒත් දැන් මේ පොතෙන් හෙළි කරලා තියෙන කරුණු ගැන ලෝකය ම අවධානයෙන් ඉන්නවා. කොටින් ම කිව්වොත් මේ පොත ගැන දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි කෝපයට පත්වෙලා සිටින බවක් පේන්න තියෙනවා. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ගැන ලියැවුණු මේ පොතේ සදහන් කරුණු සම්පූර්ණ අසත්‍යයක් යැයි ප්‍රකාශ කරන තරමට මේක දැන් දුර දිග ගිහින් තියෙනවා. ඒ විතරක් නෙවේ ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ නීතිඥයන්ට දැන් උපදෙස් දීලා තියෙන්නේ මේ පොත වෙළෙදපොළට එන එක කොහොම හරි නවත්වන්න කියලායි. ඒකට හේතුවෙන්නේ ට්‍රම්ප් සම්බන්ධ පෞද්ගලික යැයි කිව හැකි මට්ටමේ තොරතුරුත් මේ පොතේ සදහන් වෙලා තියෙන නිසායි. ලෝකය පුරා මේ ආන්දෝලනය ගැන කතාවෙන නිසා අද ටිකක් වෙලාව අරගෙන මේ පොත ගැන කෙටියෙන් ලියන්න හිතුවා.

ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් දිනීම ගැන ට්‍රම්ප් ම පුදුම වෙලා


ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ලියවිලා තියෙන මේ පොත Fire and Fury: Inside the Trump White House. එහි කතුවරයා වෙන්නේ මයිකල් වොල්ෆ් කියන පුද්ගලයායි. මයිකල් වොල්ෆ් ඇමෙරිකාවේ මාධ්‍ය ආයතන හිමිකරුවෙකු වන රෑපට් මර්ඩොක්ගේ ජීවිත කතාවත් මීට පෙර රචනා කර තිබෙනවා.
මේ පොතේ සදහන් වෙන ප්‍රධාන කරුණක් වෙන්නේ පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප්ට ම පුදුමයක් වූ බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිඥයන් දැනටමත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ලියවී තිබෙන Fire and Fury: Inside the Trump White House  කියන පොත පාඨකයන්ට නිකුත් වීම වැළැක්වීමට උත්සාහ කරමින් සිටිනවා. 

පොත ගන්න පොත් කඩවල්වල ලොකු පෝලිමක්...


කොහොම වුණත් දැනටමත් මේ පොත අලෙවිය සදහා ඉදිරිපත් කර අවසානයි. මෙය මිලදී ගන්නත් දැන් ඇමෙරිකාවේ පොත් කඩවල්වල ලොකු පෝලිම් තියෙන බව මාධ්‍ය ආයතන වාර්තා කරනවා. 

පොතේ සදහන් ආන්දෝලනාත්මක කරුණු


කොහොම වුණත් Fire and Fury: Inside the Trump White House කියන පොතේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන සදහන් වන ප්‍රධාන කරුණු මේ විදියට දැක්විය හැකියි. 

01. ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම ඔහුගේ මැතිවරණ සහයක කණ්ඩායම පවා විශ්වාස නොකළ බව හා ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් ඔවුන් පුදුමයට පත් වූ බව.

02. ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් පරදින බව සිතා අැමෙරිකානු ජනාධිපතිවරණය පැවැත් වූ දින රාත්‍රියේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිද ඉතා දුක්මුසුව කාලය ගත කළ බව.

03. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාරම්භක උත්සවයේදී එරට ඉහළ පෙළේ ප්‍රකට කලා ශිල්පීන් ඔහුට ඇනුම්පද කීම ගැන උත්සව අවස්ථාවේදී ම ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි කෝපයකින් සිටි බව.

04. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ධවල මන්දිරය(වයිට් හවුස්) භය උපදවන සහ පීඩාකාරී වාසස්ථානයක් වන බව.


05. ඇමෙරිකාවේ පළමු කාන්තා ජනාධිපතිනිය වීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් උත්සාහ කරමින් සිටින බව සහ ඇය සහ ඇයගේ සැමියා වන ජෙරාඩ් කුෂ්නර් එය සදහා සැලසුම් සකස්  කරමින් සිටින බව.


06. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් තම පියාගේ පොල් කෝම්ඹ හැඩැති කොණ්ඩා විලාසිතාව සම්බන්ධයෙන් සමච්චල් කරන බව සහ ඉවන්කා තම මිතුරන් සමග ද එය පිළිබදව කතා කරන බව.

07. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්‍රයා වන කනිෂ්ඨ ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීමට රුසියානුවන්ගේ උදව් ලබා ගැනීම සදහා සාකච්ඡා  පැවැත්වීම රාජ්‍යද්‍රෝහී කටයුත්තක් යැයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුද්ගලික සහයක ස්ටීව් බැනන් සදහන් කළ බව.

08. ඩොනල්ඩ් ට්‍රම්ප් තම මිතුරන්ගේ භාර්යාවන් සමග ලිංගික සබදතා පැවැත්වූ ආකාරය ගැන තවත් පුද්ගලයන් සමග කයිවාරු ගැසූ බව සහ මිතුරන්ගේ භාර්යාවන් ලිංගික සබදතාවලදී කෙසේ හැසිරෙන්නේදැයි ඒ මිතුරන්ගෙන් මූණට ම ඇසූ බව,
කියන ප්‍රධාන කරුණු මේ පොතේ සදහන් වෙලා තියෙනවා. මයිකල් වොල්ෆ් ලියපු Fire and Fury: Inside the Trump White House පොත මේ තරම් ආන්දෝලනය ලක්වෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේත් ඉහත සදහන් කරපු කරුණු පිළිබද දීර්ඝ විස්තර මේ පොතේ ඇතුළත් වීමයි. 



පොතේ සදහන් කරුණුවල සත්‍ය අසත්‍යතාව ගැන තර්ක ඉදිරිපත් වීම


මයිකල් වොල්ෆ් මේ පොත රචනා කිරීම සදහා සම්මුඛ සාකච්ඡා 200ක් පමණ යොදාගෙන තිබෙන අතර පොත රචනා කිරීම සදහා යොදාගත් සමහර කරුණු දැනටමත් විවේචනයට ලක්වී සහ ප්‍රශ්නගතව පවතිනවා. සමහර විචාරකයන් කියන ආකාරයට මේ පොතෙන් භාගයක් ඇත්තයි කියලා සැලකුවත් අපිට ඩොනල්ඩ් ට්‍රම්ප් මැවී පෙනෙන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මානසික විකෘතිතාවක් තියෙන පුද්ගලයෙක් හැටියටයි. ඒ වගේ ම ධවල මන්දරයේ (වයිට් හවුස්) අවුල් සහගත බවයි.


පොතේ සෑම අකුරකට ම කතුවරයා වග කියන බව කියයි...


මේ පොතේ කතුවරයා සදහන් කරන ආකාරයට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෑම පුද්ගලයෙක් ගැන ම ඉන්නේ ඉතා අවිශ්වාසයෙනුයි. Fire and Fury: Inside the Trump White House පොතේ කතුවරයා මේ පොත ලියන කාලය අතරතුරදී මාස කිහිපයක් ධවල මන්දිරයේ කාලය ගත කළ පුද්ගලයෙකු ද වෙනවා. කතුවරයා සදහන් කරන ආකාරයට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලයට අනුව  ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ පොඩි එකෙකුයි. ට්‍රම්ප් පොඩි එකෙක් වගේ වැඩ කරන නිසා කාර්ය මණ්ඩලය ට්‍රම්ප් ගැන මේ විදියට හිතන බවයි පොතේ කතුවරයා සදහන් කරන්නේ. ඒ වගේ ම මේ පොතේ ලියා තිබෙන සෑම අකුරකට ම තමා පෙනී සිටින බවත් පොතේ කතුවරයා වන මයිකල් වොල්ෆ් ජනමාධ්‍යවලට සදහන් කර තිබෙනවා. පොතේ කතුවරයා කියන ආකාරයට ඔහු මේ පොත රචනා කිරීම සදහා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලය සමග මාස 18ක් තිස්සේ සාකච්ඡා පවත්වනවා. ඒ නිසා මේ පොතේ සත්‍යතාව ගැන තමන්ට සහතික විය හැකි බව ඔහු තවදුරටත් පවසනවා. 

(මූලාශ්‍රය - BBC)



Thursday, January 4, 2018

අයිස්ලන්තයත් ගැහැනුන්ට සම තැන දෙයි...

අයිස්ලන්තයේ වැටුප් සමානාත්මතා නීතිය ජනවාරි 01වැනිදා සිට ම...

අයිස්ලන්තයේ සේවා ස්ථාන (සමාගම් සහ රජයේ නියෝජිත ආයතන) මේ සතියේ සිට ඒවායේ සේවය කරන පිරිමි සහ ගැහැනු යන දෙපාර්ශවයට ම සමාන වැටුප් ගෙවීම ආරම්භ කරනවා. අයිස්ලන්තය සම්මත කරගත් නීතියකට අනුව මෙය ක්‍රියාත්මක කිරීම සිදු වෙනවා. අයිස්ලන්තයේ මෙකී නීතියත් සමග ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාව සම්බන්ධයෙන් අයිස්ලන්තයේ ප්‍රමුඛභාවය ඉස්මතු වී පෙනෙන බව ජාත්‍යන්තර ප්‍රජාව සදහන් කරනවා. විශේෂයෙන් ම  ජාතිය, ආගම, ආබාධිතභාවය හෝ වයස පදනම් කරගෙන වෙනස් කර සැලකීම් මේ යටතේ ප්‍රකාශිත නීතියෙන් ම තහනම් වෙනවා.

වැටුප් සමානාත්මතා නීතිය සම්මත වීම

සේවා ස්ථානවල සේවය කරන ගැහැනු සහ පිරිමි දෙපාර්ශවයට ම සමාන වැටුප් ගෙවිය යුතු ය යනුවෙන් සම්මත කර ඇති මේ නීතිය කෙටුම්පතක් ලෙස අයිස්ලන්ත ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කර තිබුණේ 2017 මාර්තු මාසයේදී වන අතර එය සම්මත වුණේ 2017 ජූනි මාසයේදීයි. එසේ සම්මත වූ නීතිය 2018 ජනවාරි 01වැනිදා සිට ක්‍රියාත්මක වෙනවා. 
විවිධ සීමාසහිතකම් සහිතව වුණත් අයිස්ලන්තය තුළ සමාන වැටුප් ගෙවීම 1961-1963කාලයේ සිට විවිධ ස්වරූපවලින් ක්‍රියාත්මක වුණත් මේ ආකාරයේ වැටුප් ගෙවීමේ ක්‍රමවේදයක් ඇති කරන්නේ පළමුවරටයි. මෙහි විශේෂත්වය වන්නේ අයිස්ලන්තය තුළ මෙයට පෙරත් විවිධ ආකාරවලින් ගැහැනු සහ පිරිමි ද‍ෙපාර්ශවයට සමාන වැටුප් ගෙවීමේ ක්‍රමවේදයක් තිබුණත් එය ප්‍රකාශිත නීතියක් ලෙස ක්‍රියාත්මක වන්නේ මෙවරයි.

සමාන වැටුප් නොගෙව්වොත් සිදුවන දේ...

මේ නීතියට අනුව සේවකයන් 25දෙනෙකු හෝ එයට වැඩි පිරිසක් සේවයේ යෙදෙන සේවා ස්ථානවල වසර තුනකට වරක් වැටුප් විශ්ලේෂණ වාර්තා සකස් කළ යුතු අතර සමාන මට්ටමේ රැකියාවල යෙදෙන ගැහැනු සහ පිරිමින්ට සමානව වැටුප් ගෙවීම ද සහතික කළ යුතුයි. එසේ නොවුණහොත් අදාළ ආයතන පිළිබදව එරට රජයට දැනුම් දියහැකි අතර සමාන වැටුප් ගෙවා නොමැති බව හෙළි වුවහොත් වැටුප් නොගෙවූ දින සදහා අදාළ ආයතනයට දිනකට නියමිත දඩ මුදල බැගින් එකතු වෙනවා. 

සමානාත්මතාවේදී අයිස්ලන්තයට හිමි තැන...

World Economic Forum’s Global Gender Gap Report ට අනුව අයිස්ලන්තය සමාන වැටුප් ගෙවීමේ ක්‍රමවේදයක් සහිත රටවල් අතර  5වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා. මෙම වර්ගීකරණය සදහා රටවල් 144ක් යොදාගෙන තිබෙනවා. 

කාන්තාවන්ගේ අපේක්ෂා කඩවීමේ පීඩනය

අයිස්ලන්තය 2015 වර්ෂයේ සකස් කළ වාර්තාවන්ට අනුව එරට කාන්තාවන්ගෙන් සියයට 14ත් 20ත් අතර ප්‍රතිශතයක් පිරිමි දරන තනතුරුවලට සමාන තනතුරු දරමින් ම පිරිමින්ට වඩා අඩු වැටුපක් ලබනවා. මෙයින් බොහෝ කාන්තාවන් දැඩි අපේක්ෂාභංගත්වයට පත්ව සිටින බවත් වාර්තා වෙනවා. එයට ප්‍රධාන හේතුව වෙන්නේ පිරිමින් ඉටු කරන වැඩ කොටස ම ඉටු කරමින් ඒ හා සමාන ශ්‍රමයක් ම දරා පිරිමින්ට වඩා අඩු වැටුපක් ගැනීමට සිදුවීම නිසායි. 

(මූලාශ්‍ර - The New York Times, National Public Radio[US])

ලෝකයේ හොද ම වෛරස් ගාර්ඩ් (Anti-Virus Guard) වර්ග 05...

ලෝකයේ හොද ම වෛරස් ගාර්ඩ් (Anti-Virus Guard) වර්ග 05 ගැන තොරතුරු සී.එන්.එන්. (CNN) මාධ්‍ය ජාලය උපුටා දක්වා තිබෙනවා. සී.එන්.එන්. (CNN) මාධ්‍ය ජාලය සදහා මේ තොරතුරු සපයා ඇත්තේ බොබ් ජෝන්ස් නමැත්තෙක්. ඉකුත් වසරේදී (2017) කළ සමීක්ෂණයක තොරතුරු මේ ආකාරයට  සී.එන්.එන්. (CNN) මාධ්‍ය ජාලය උපුටා දක්වා තිබෙනවා. වෛරස්  ගාර්ඩ් ගැන උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙනුයි මේ ලිපිය ලියන්නේ. මෙහි ඇත්ත නැත්ත ගැන මට හරියට ම කියන්න බැහැ. ඒත්  සී.එන්.එන්. (CNN) මාධ්‍ය ජාලය කියන්නේ ලෝකයේ ප්‍රබල මාධ්‍ය ආයතනයක් නිසා ඔවුන් උපුටා දැක් වූ තොරතුරු බොරු කියලා හිතන්නත් බැහැ. 
සී.එන්.එන්. (CNN) මාධ්‍ය ජාලය උපුටා දැක් වූ තොරතුරුවලට අනුව ලෝකයේ දැනට හොද ම ක්‍රියාකාරිත්වයක් සහිත වෛරස් ගාර්ඩ් වර්ග 05ක සන්නාම (Logo) පහත ඡායාරූපයෙන් උපුටා දක්වා තිබෙනවා. මේ ගැන වැඩි විස්තර සහ ඒවා බාගත කරගැනීම මෙතැනින්...
(මූලාශ්‍ර-CNN, http://www.myantivirusreview.com)
(http://www.myantivirusreview.com)

සවුදි අරාබියේ නිදහස වැඩිවෙයි...තහංචි අඩුවෙයි...

තහංචි ඉවත් වීමට හේතු

තෙල් ආදායම්වලින් නැගී සිටි සවුදි අරාබිය නව ආර්ථික ප්‍රතිසංස්කරණවලින් මෙතෙක් නොවූ ඉහළ ආර්ථික ප්‍රගතියක් 2018 වසර අවසාන වීමේදී පෙන්නුම් කිරීමට බලාපොරොත්තු වන බව එරට රජය ප්‍රකාශ කරනවා. සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු එක් වරක් ප්‍රකාශ කර සිටියේ සවුදි අරාබිය "තෙල් ආදායම්වලට ඇබ්බැහි වී සිටින රටක්" බවයි. ඒත් සවුදි අරාබිය නව ආර්ථික ප්‍රතිසංස්කරණවලින් ඉදිරි කාලයේදී වේගවත් ආර්ථික ප්‍රගතියක් අත්කරගැනීමට නියමිතයි. සවුදි අරාබිය 2018 ජනවාරි පළමුවැනිදා සිට වැට් (VAT) බද්දක් හදුන්වා දීමට කටයුතු කළේත් මේ අනුවයි. එරට ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මන් 2016දී හදුන්වා දුන් "විෂන් 2013" (Vision 2030) ආර්ථික සැලසුම මේ වසරේ (2018) සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ සැලසුම සමග සවුදි අරාබිය 2018 වසර අවසාන වන විට ඉතා වෙනස් මුහුණුවරක් ගනු ඇති බව පැවසෙනවා. මේ යටතේ 2018 අවුරුද්දේදී සවුදි අරාබිය වෙනස් කරන දේවල් මොනවා ද කියලා අපි බලමු.

01. චිත්‍රපටි ශාලා තහනම ඉවත් කිරීම

අවුරුදු 35ක් තිස්සේ සවුදි අරාබිය තුළ චිත්‍රපටි ශාලා තහනම් කර තිබුණා. ඒත් 2017දී සවුදි රජය ගනු ලැබූ තීරණයකට අනුව මේ තහනම දැන් ඉවත් කර තිබෙනවා. මේ අනුව දැන් සවුදි අරාබි රජය සිනමා ශාලා ඉදි කිරීමට අවශ්‍ය බලපත්‍ර දැන් ලබා දෙනවා. එයත් සමග ම මේ අවුරුද්දේ මාර්තු මාසය වන විට එරට පළමු චිත්‍රපටි ශාලාව විවෘත කිරීමට නියමිතයි.

02. වාහන ධාවනය කිරීමට කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කිරීම

2017 වසරේ අවසාන කාලය වන තුරු සවුදි අරාබියේ කාන්තාවන්ට වාහන ධාවනය කිරීම සහ රියදුරු බලපත්‍ර ලබා ගැනීම තහනම් කර තිබුණා. මේ තහනම 2017 අවුරුද්දේ ජූනි මාසයේදී ඉවත් කළත්, එයට අදාළ රාජ ආඥාව නිකුත් කළේ සැප්තැම්බර් මාසයේදීයි. විශේෂයෙන් ම කාන්තාවන්ට රිය ධාවනය කිරීමේ අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා එරට කාන්තාවන් විශාල පිරිසක් එක්ව දැවැන්ත අරගලයක් ගෙන ගියා. තහනම ගණන් නොගෙන වාහන ධාවනය කළ කාන්තාවන් සැලකිය යුතු පිරිසක් ද මේ කාලයේදී අත්අඩංගුවට පත්වුණා. කොහොම වුණත් අන්තිමේදී කාන්තාවන් ගෙන ගිය මේ අරගලය නිසා සවුදි කාන්තාවන්ට රිය ධාවනයට වගේ ම රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමටත් අයිතියත් හිමි වුණා.
මෙයත් සමග කාන්තාවන් රිය ධාවනය කිරීමට ඉහළින් පෙලඹෙනවා. දැනටත් සවුදි අරාබි ආර්ථිකයේ ශ්‍රමය සපයන්නන්ගෙන් සියයට 22ක් කාන්තාවන්. සවුදියේ ඔටුන්න හිමි කුමරු ඉදිරිපත් කළ "විෂන් 2030" සැලසුම යටතේ 2030වන විට සවුදි අරාබිය තුළ ශ්‍රමය සපයන කාන්තාවන්ගේ ප්‍රතිශතය සියයට 30ක් දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වෙනවා. 
සවුදි රජය ඉදිරි කාලයේදී එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 65ක් ම පෞද්ගලික අංශයෙන් උපයා ගැනීමට බලාපොරොත්තු වන නිසා එය ක්‍රියාවට නැංවීමටත් මේ යෝජනාව උපකාරී වෙනවා.

03. ගැහැනු සහ පිරිමින්ට එකට ඉදගෙන සැණකෙළි නැරඹීමට ඉඩ දීම

සවුදි අරාබිය තුළ මෙතෙක් කාලයක් ස්වාමි පුරුෂයා සහ බිරිද වුණත් ප්‍රසිද්ධ හෝ පොදු ස්ථානයකට ගියොත් ඉදගෙන සිටිය යුතු වූයේ වෙන වෙනමයි. ඒත් මේ වසරේ සිට ඒ තහනම යම් තාක් දුරකට ලිහිල් වෙනවා. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී එරට ක්‍රීඩා අධිකාරිය සදහන් කළ ආකාරයට මේ වසරේ මුල සිට එරට ප්‍රධාන ක්‍රීඩාංගණ තුනක පැවැත්වෙන සැණකෙළි සදහා කාන්තාවන් සහ පිරිමින්ට එක්ව සහභාගි විය හැකියි. එහිදී ස්වාමි පුරුෂයාට සහ භාර්යාවට එකට ඉදගෙන තරග හෝ සැණකෙළි නරඹන්න අවස්ථාව ලබාදෙනවා. මෙයට 2017 වසරේදී ටිකක් අවම වශයෙන් ඉඩ දුන්නත් 2018 වසරේ මුල සිට එයට බාධාවකින් තොරව ඉඩ ලැබෙනවා. 

04.සංචාරකයන් ලෙස සවුදි අරාබියේ ඇවිදිය හැකි වීම

මෙතෙක් කාලයක් සවුදි අරාබියට සංචාරක වීසා අරගෙන කිසිවෙකුටත් පැමිණීමට ඉඩ දුන්නේ නැහැ. ඒ කියන්නේ එරට සංචාරය කරන්න සහ පූජනීය ස්ථානවලට යන්න මීට කලින් කිසිවෙකුටත් අවසර ලැබුණේ නැහැ. ඒත් එරට සංචාරක හා උරුම කොමිසමේ ප්‍රධානියා ප්‍රකාශ කරන ආකාරයට 2018 සිට සවුදි අරාබියට සංචාරක වීසා ලබාගෙන එරට සංචාරය කළ හැකියි. මෙයින් සවුදි අරාබි රජය බලාපොරොත්තු වෙන්නේ එරට සංචාරක ව්‍යාපාරය ඉහළ මට්ටමකට ගෙන ඒමටයි. සංචාරක ව්‍යාපාරයට ඉඩ ලැබීමත් සමග එරට සංචාරක ආයෝජනවලටත් දැන් මග පෑදී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රතු මුහුදේ ගොඩ කරන ලද වැලි දූපත්වල සැතපුම් 100ක් දිගට සංචාරක නිවාඩු නිකේතන පේළියක් ඉදි කිරීමටත් නියමිතයි. මේ අනුව සවුදි රජය 2016දී එරටට පැමිණි මිලියන 18ක් වූ පිරිස (එරටට 2016දී ශ්‍රමිකයන් ලෙස හෝ වෙනත් ක්‍රමයකට පැමිණි පිරිස) 2030වන විට මිලියන 30ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා. 

 05. ගෑස් මිල ඉහළ දැමීම

සවුදි අරාබි ජනතාවගෙන් බොහෝ දෙනෙක් ගෑස් සදහා ඉහළ මුදලක් වැය කරනවා. ඒත්  ලෝකයේ විශාල ම ඛනිජ තෙල් නිෂ්පාදන සමාගම වන සවුදි අරාබි රජයට අයිති ඇරැම්කෝ ආයතනය සවුදි අරාබියේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ ගෑස් මිල සියයට 127කින් ඉහළ දමා තිබෙනවා. මේ ඉහළ දැමීම සමග එරට පෙට්‍රල් මිල ද ලීටරයකට රියාල් 2.04ක් (පෙට්‍රල් ගැලුමක් ඇමෙරිකන් ඩොලර් 2.05ක්) දක්වා ඉහළ ගොස් තිබෙනවා. සවුදි අරාබි රජය මෙයින් බලාපොරොත්තු වෙන්නේ ඛනිජ තෙල් පරිභෝජනය අඩු කර, විශේෂයෙන් ඛනිජ තෙල් නොවන ඉන්ධනවලින් දුවන වාහන පාවිච්චිය ඉහළ නැංවීමයි.
ඒ වගේ ම ජනවාරි 01වැනිදා පනවපු වැට් බද්දෙන් සවුදි රජය බලාපොරොත්තු වෙන්නේ ඛනිජ තෙල් හැර වෙනත් මාර්ගවලින් ද ආදායම් උපයා ගැනීමයි. 

06. රජයේ තෙල් සමාගම පෞද්ගලිකකරණය කිරීම

ලෝකයේ විශාල ම ඛනිජ තෙල් නිෂ්පාදන සමාගම වෙන්නේ ඇරැම්කෝ සමාගමයි. එය අයිති සවුදි අරාබි රජයටයි. ඒත් දැන් සවුදි අරාබි රජය මේ තෙල් සමාගම පෞද්ගලිකකරණය කරන්න තීරණය කර තිබෙනවා. ඒත් මෙහිදී සමාගමේ කොටස්වලින් විකුණා දමන්න බලාපොරොත්තු වෙන්නේ කුඩා ප්‍රමාණයක්. එයත් සමග ම ඇරැම්කෝ තෙල් සමාගම ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළෙදපොළේ ඉතා ඉහළ ස්ථානයක ස්ථානගත වනු ඇතැයි ද අනාවැකි පළ වෙනවා. 

(මූලාශ්‍රය-CNN)




ඔස්ට්‍රේලියාව ලෝකයේ ලොකු ම ගංජා මුදලාලි වෙන්න හදයි...

ඔස්ට්‍රේලියාව ලෝකයේ විශාල ම ගංජා (කංසා) අපයනයනකරු වීමට බලාපොරොත්තු වන බව එරට රජය නිවේදනය කරයි. විවිධ රෝගවලට අවශ්‍ය බෙහෙත් නිපදවීම සදහා ගංජා සැපයීමට මේ අනුව බලාපොරොත්තු වන බව ද ඔස්ට්‍රේලියානු රජය තවදුරටත් සදහන් කරයි.


ගංජා වවන්න නීති වෙනස් කරයි...

ඔස්ට්‍රේලියාව එරට ගෘහස්ථ වෙළෙදපොළට පමණක් නොව ජාත්‍යන්තර වෙළෙදපොළට ද ගංජා අලෙවි කිරීමට මේ අනුව බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් කැනඩාව සහ නෙදර්ලන්තය සදහා ගංජා නිෂ්පාදන අලෙවි කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නීති රෙගුලාසි වෙනස් කිරීමට රජය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතක් මගින් මෙම නීති තත්ත්වය වෙනස් කිරීමට ඔස්ට්‍රේලියාව  තීරණය කර ඇති අතර එයට එරට විපක්ෂය වන කම්කරු පක්ෂයේ සහය ද ලබා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. දේශීය රෝගීන්ගේ බෙහෙත්වලට අවශ්‍ය ගංජා සැපයීම ද මේ යටතේ අඛණ්ඩව සිදුවන බව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් සදහන් කරනවා. 
ඖෂධ නිපදවීම සදහා ගංජා භාවිත කිරීම ඔස්ට්‍රේලියාව 2016දී නීතිගත කළ අතර මත්ද්‍රව්‍යයක් ලෙස ගංජා භාවිත කිරීම එරට නීතියට අනුව නීතිවිරෝධීයි. 


ගංජා වැවීමෙන් වාසි වෙන්නේ කාට ද?

ලෝකයේ ලොකු ම ගංජා අපනයනකරු වීම සදහා එරට ගොවිපොළ හිමියන්ට සහ නිෂ්පාදන ආයතනවලට ගංජා නිපදවීමට අවශ්‍ය අවසරය දීමේ ක්‍රමවේදයක් සකසන බව ද එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරනවා. 
ගංජාවලින් තැනූ තෙල්, ස්ප්‍රේ සහ පෙති ඇතුළු නිෂ්පාදන මේ යටතේ අපනයනය කිරීමට ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු වෙනවා. ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන ආකාරයට මෙයත් සමග ඔස්ට්‍රේලියාවේ රෝගීන්ට මෙන් ම ව්‍යාපාරිකයන්ට ද ඉහළ ප්‍රතිලාභයක් අත්වෙනවා.


ලෝකයට අවශ්‍ය ගංජා ප්‍රමාණය

ඇමෙරිකාවේ ගණන් බැලීම්වලට අනුව 2025වන විට ලෝකයේ ඖෂධ නිපදවීමට අවශ්‍ය ගංජා ප්‍රමාණයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 55ක් (ස්ටර්ලින් පවුම් බිලියන 40/ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 70) වෙනවා. 

(මූලාශ්‍රය-BBC)

ඉරානය කැලඹෙයි...ආධ්‍යාත්මික නායකයාගේ රෙදි ගැලවෙයි...

ඉරානයේ කැලඹීම

ඉරානයේ දැනට පවතින ආර්ථික පීඩාව සහ දේශපාලන මර්දනය හේතුවෙන් එරට ජනතාව දින ගණනක සිට ඉරානයේ වීදිවලට බැස දැඩි විරෝධතාවක යෙදී සිටිනවා. විරෝධතාවේ පස්වැනි දිනය යෙදී තිබුණු 2018 ජනවාරි පළමුවැනිදා විරෝධතාවේ යෙදී සිටි පුද්ගලයන් 10දෙනෙකු මරා දැමුණු අතර දැනට විරෝධතාව හේතුවෙන් පුද්ගලයන් 21දෙනෙකු මිය ගොස් තිබෙනවා. එරට ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කොමෙයිනි එරට විරෝධතාකරුවන් රාජ්‍යද්‍රෝහීන් යැයි නම් කර තිබුණත් ජනවාරි 02වැනිදා විරෝධතාකරුවන් දසදහසක සහභාගිත්වයෙන් පැවති දැවැන්ත විරෝධතාවත් සමග  විරෝධතාකරුවන්ගේ රාජ්‍යද්‍රෝහීභාවය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

කැලඹීමේ ආරම්භය සහ ඒවාට හේතු 

ඉරානයේ දැනට පවතින නොසන්සුන්කාරී තත්ත්වය එරට දෙවැනි ප්‍රධාන නගරය වන මෂාඩ් හිදී දෙසැම්බර් 28වැනිදා ආරම්භ වුණේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන්. ඉන් පසුව මේ විරෝධතා එරට අගනුවර වන ටෙහෙරාන් නුවර ද සමග නගර 50ක පමණ ව්‍යාප්ත වුණා වගේ ම මේ විරෝධතාවලට දහස් ගණනක ජනතාවක් ද එකතු වුණා. විරෝධතාව දිගින දිගට ම ව්‍යාප්ත වීමත් සමග විරෝධතාකරුවන් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්තා සහ රජයේ ආරක්ෂක අංශ සමග ඇති කරගත් ගැටුම්වලින් දැනට පුද්ගලයන් 21ක් පමණ මියගොස් තිබෙනවා. තවත් සියගණනක් අත්අඩංගුවට පත්වී සිටිනවා. 

"ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ" ප්‍රතිපත්තිය

ඉරානයේ ජනාධිපති හසන් රොවුහානිගේ ආණ්ඩුවේ කටයුතු ජනතාවට දැඩි පීඩාවක් ඇති කර ඇති බව මෙසේ විරෝධතාවට එක් වී සිටින පිරිස සදහන් කරනවා. ආණ්ඩුව එරට පවතින පීඩාකාරී ආර්ථිකය, රැකියා වියුක්තිය, උද්ධමනය සහ දූෂණය වැළැක්වීමට හෝ අවම කිරීමට අසමත් වී ඇති බව විරෝධතාකරුවන් සදහන් කරනවා. විරෝධතාකරුවන් තවදුරටත් කියා සිටින්නේ "ලෝකෙට පරකාසේ-ගෙදරට මරගාතේ" වැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ඉරාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා රටේ ජනතාව අසරණ වී ඇති බවයි. ඉරානයේ ජනතාව ගෙදරට වී දුක් විදිද්දී ඉරාන ආණ්ඩුව තම රටෙන් බැහැර වෙනත් ගැටුම් සහ ප්‍රශ්න විසදීම සදහා තොගපිටින් මුදල් වියදම් කරමින් රටේ ජනතාවගේ මූලික අවශ්‍යතා ගැනවත් සැලකිල්ලක් නොදක්වන බව විරෝධතාකරුවන් කියනවා. 

ආධ්‍යාත්මික නායකයාගේ රෙදි ගැලවීම

මේ විදියට රටේ ආණ්ඩුව විවේචනය කරන විරෝධතාකරුවන් "ඒකාධිපතියාට මරණය" යනුවෙන් සටන් පාඨ කියමින් සිටිනවා. මෙහිදී ඔවුන් ඒකාධිපතියා ලෙස අදහස් කරන්නේ එරට ජනාධිපති හසන් රොවුහානි නොව එරට ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කොමෙයිනි ගැනයි. 

ආණ්ඩුවේ පහරදීම්

ඉරානයේ ජනාධිපති මේ ගැන කියන්නේ රටේ ජනතාවට ආණ්ඩුව විවේචනය කිරීමට සහ විරෝධතාවේ යෙදීමට අයිතියක් ඇතත් මහජන දේපළ විනාශ කිරීමට අයිතියක් නැති බවයි. විරෝධතාකරුවන් පොදු දේපළ විනාශ කරමින් ආරක්ෂක අංශවලට බලපෑම් කිරීමට ගියහොත් ආරක්ෂක අංශත් එයට ගැළපෙන විදියට පිළිතුරු දෙනු ඇතැයි ඉරාන ජනාධිපති රොවුහානි විරෝධතාකරුවන්ට අනතුරු අැගෙව්වා. රොවුහානි තවදුරටත් කියා සිටින්නේ රටේ පවතින ගැටලු විසදීමට තමන්ට උදව් කරන ලෙසයි. ඒත් විරෝධතාකරුවන් මේ කිසි දෙයක් අහන්නේ නැතිව විරෝධතාවේ යෙදිලා ඉන්නවා. 
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කොමෙයිනි කියන විදියට මේ විරෝධතාකරුවන් රටට එරෙහි කුමන්තුණකාරයෝයි. ඔවුන්ට මුදල්, ආයුධ, ඔත්තු සේවා යන පහසුකම් ලැබිලා තියෙන බවත් රට අස්ථාවර කිරීමට ඔවුන් විරෝධතා පවත්වන බවත් ඔහු කියනවා. 

අන්තර්ජාල සහ දුරකථන තහනම

දැන් ආණ්ඩුව ඉරානයේ ජනතාවට වෙබ් අඩවිවලට යන්න, විදුලි පුවත් යවන්න සහ වීඩියෝ හුවමාරු කරගන්න බැරි විදියට අන්තර්ජාල සහ දුරකථන පහසුකම් සියල්ල නවතා තිබෙනවා. ඒත් මීට කලින් ඉරානයේ ජනතාවට මේ පහසුකම් තිබ්බා. මේ ගැටුම්කාරී තත්ත්වයත් සමග ඉරානයේ තත්ත්වය ලෝකයට යෑම වැළැක්වීමට ආණ්ඩුව මෙවැනි පියවරක් අනුගමනය කර තිබෙනවා.

විරෝධතාවේ යෙදෙන පිරිස

ඉරානය තුළ 2009දීත් මෙවැනි දැවැන්ත විරෝධතා ඇතිවුණේ එරට ජනාධිපතිවරණයේදී මොහොමඩ් අහමදිනෙජාඩ් මැතිවරණය දුෂණය කළ බව කියමින්. ඒත් එරට ආධ්‍යාත්මික නායකයාගේ මැදිහත්වීම මත මේ විරෝධතා සියල්ල මැඩ පැවැත්වුණා. එහිදී විරෝධතාකරුවන් විශාල පිරිසක් මරා දැමීම සහ රදවා ගැනීම සිදුවුණා. 2009දී පැවති විරෝධතාවේදී විරෝධයේ යෙදුනේ බොහෝ දුරට අධ්‍යාපනයක් ලැබූ උගත් පිරිසයි. ඒත් දැන් ඉරානයේ ඇති වෙලා තියෙන විරෝධතාවලට එකතුවෙලා ඉන්නේ එදිනෙදා වේල පිරිමහගැනීමට තරම්වත් අපහසු හෝ රැකියා නොමැති පිරිසයි.
ඉරානයේ දුප්පත්කම දැනට සියයට 15යි. එරට ජනතාවගේ පාන්, කිරි සහ රතු මස් පරිභෝජනය කිරීමේ ප්‍රතිශතයත් දැන් සියයට 30ක් දක්වා පහත වැටිලා තියෙනවා. ඉරානයේ රැකියා වියුක්තිය නිල වශයෙන් සියයට 12.4ක් වුණත් සමහර ප්‍රදේශවල මේ අගය සියයට 60ක් පමණ අගයක් ගෙන තිබෙනවා.


ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය

ඉරානයේ දැනට පවතින තත්ත්වය ගැන ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ තමන් විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවයි. ඉරානයේ ජනතාව දැන් ආහාර සහ නිදහස වෙනුවෙන් සටන් කරන බවයි ඔහු කියන්නේ. දැන් ඉරානයට වෙනසක් අවශ්‍ය බවත් ඔහු තවදුරටත් කියනවා. 
මේ ගැන යුරෝපා සංගමය කියන්නේ ඉරානයේ ජනතාවට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කර අදාළ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට ඉරාන ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි. 

(මූලාශ්‍ර-BBC, AFP, Wikipedia)

Tuesday, January 2, 2018

ඇමෙරිකාව ගංජා නීතිගත කර ජනවාරි 01වැනිදා වැඩ අල්ලයි...

ගංජා භාවිතය නීතිගත කළ ඇමෙරිකාවේ විශාල ම ප්‍රාන්තය

ඇමෙරිකාවේ කැලිපෝනියා ප්‍රාන්තය 2018 ජනවාරි 01වැනිදා සිට ගංජා (කංසා) භාවිතය නීතිගත කර තිබෙනවා. ගංජා භාවිතය නීතිගත කළ ඇමෙරිකාවේ විශාල ම ප්‍රාන්තය වන්නේ ද කැලිපෝනියාවයි. කැලිපෝනියාව වෛද්‍ය නිර්දේශ මත බෙහෙතක් ලෙස ගංජා භාවිතා කිරීම 1996 සිට නීතිගත කර තිබුණත් වැඩිහිටියන්ට එය මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීම නීතිවිරෝධී තත්ත්වයකයි පැවතුනේ. 

මරිජුවානා පැළ 6ක් වවන්නත් අවසර දෙයි

ඒත් 2018 ජනවාරි 01වැනිදා සිට කැලිපෝනියා ප්‍රාන්තයේ වයස අවුරුදු 21ට වැඩි පුද්ගලයන්ට ග්රෑම් 28ක් හෙවත් ගංජා අවුන්සයක් තමා ළග තබාගත හැකියි. ඒ වගේ ම තමන්ගේ ගෙදර මරිජුවානා පැළ 6ක් වවන්නත් මේ සමග ම අයිතිය දී තිබෙනවා. මරිජුවානා කියන්නේ ගංජා ගසේ මල් සහ කොළවලින් සාදා ගන්නා මත්ද්‍රව්‍යයයක්. කොහොම වුණත් ඇමෙරිකාවේ ගංජා ගහයි, ලංකාවේ ගංජා ගහයි සමානයි ද කියලා කියන්න නම් දන්නේ නැහැ. 


ගංජා නීතිගත කළ අනිත් ප්‍රාන්ත 

කැලිපෝනියා ප්‍රාන්තයේ වැඩිහිටියන්ට ගංජා භාවිත කිරීමේ අයිතිය ලබා දීමට පෙර ඇමෙරිකාවේ ප්‍රාන්ත හය හතක ම ගංජා භාවිතය පිළිබද නීති ලිහිල් කර තිබුණා. ඒ ප්‍රාන්ත අතර වොෂින්ටන්, ඔරිගන්, නෙවාඩා, ඇලස්කා, මෙයින්, මැසචුසෙට්ස් යන ප්‍රාන්තත් තිබුණා. මීට අමතරව වෛද්‍ය නිර්දේශ මත ගංජා භාවිත කිරීමට ඇමෙරිකාවේ ප්‍රාන්ත 50න් 30ක් පමණ විවිධ වර්ෂවලදී අවසර දී තිබෙනවා.

ජාත්‍යන්තර අබිං සම්මුතියකුත් තියෙනවා...

ගංජා භාවිත කිරීම සහ ඒවා ළග තබා ගැනීම සම්බන්ධ නීති රටින් රටට වෙනස් වෙනවා. ගංජා (කංසා) ළග තබා ගැනීම බොහෝ රටවල නීතිවිරෝධී කටයුත්තක් වුණේ 1925 ජාත්‍යන්තර අබිං සම්මුතිය මගින් ගංජාවලින් සාදන හෂිස් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර යෝජනා කිරීම හේතුවෙනුයි. මෙයත් සමග බොහෝ රටවල් ගංජා (කංසා), අබිං, හෂිස් සහ මරිජුවානා යන මත්ද්‍රව්‍යවලින් ටිකක් හරි ළග තබා ගත් පුද්ගලයෙකුට අපරාධ වරදක් කළා යැයි සලකා නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා.

(මූලාශ්‍ර-BBC, Britannica, Wikipedia)


අරාබියත් වැට් (VAT) බදු කෙළිය පටන් ගනී...

බදු ගැහුවත් ජීවන තත්ත්වය ඉහළට

සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මුල් වරට රට තුළ වැට් (VAT - වටිනාකම එකතු කිරීමේ බද්ද) බද්දක් අය කිරීමට තීරණය කර තිබෙනවා. මේ අනුව එරට භාණ්ඩ හා සේවා බහුතරයක් සදහා සියයට 5ක වැට් බද්දක් අය කිරීමට නියමිත ය. අරාබි කලාපයේ බොහෝ රටවල බදු නොමැති ජීවන තත්ත්වයක් තිබීම හේතුවෙන් බොහෝ ශ්‍රමිකයන්ට ඉතා ඉහළ ජීවන තත්ත්වයක් හිමිව තිබුණා. අරාබි රටවල් එවැනි තත්ත්වයක් තුළයි මේ ආකාරයට වැට් බද්දක් අය කිරීමට සූදානමින් සිටින්නේ. දැන් සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලාපොරොත්තු වන්නේ ඛනිජ තෙල් මිල පහළ දමා ජනතාවගේ ජීවන වියදම් අඩු කර ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටයි. මේ රටවල් දෙක ජනවාරි 01වැනිදා සිට ම මේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය මේ වසරේදී වැට් බද්දෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3ක් ඉපයීමටත් බලාපොරොත්තු වෙනවා.

ආදායම් බදු නැති රටවල්

අරාබියේ බොහෝ රටවල් ලෝකයේ ප්‍රසිද්ධ වී තිබෙන්නේ ආදායම් බදු අය නොකරන රටවල් ලෙසයි. මේ රටවල ජීවත් වන පුද්ගලයන්ගේ ආදායම් බදු ප්‍රතිශතය සියයට 0යි. ඒ කියන්නේ ආදායම් බදු අය කරන්නේ නැහැ. සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැට් බදු අය කිරීමට තීරණය කළත් ආදායම් බදු අය කිරීමට අදහසක් නොමැති බව සදහන් කරනවා. 

වැට් බද්ද අය කරන්නේ හා අය නොකරන්නේ මොනවාට ද?

කොහොම වුණත් වැට් බද්ද යටතේ පෙට්‍රල්, ඩීසල්, ආහාර, ඇදුම් හා හෝටල් ගාස්තු යනාදි සියල්ලට ම බදු අය කිරීමට නියමිතයි. ඒත් වෛද්‍ය ගාස්තු, මූල්‍ය සේවා සහ රජයේ ප්‍රවාහන සේවා සදහා වැට් බදු අය කරන්නේ නැහැ. සවුදි අරාබිය මේ බදු ප්‍රතිපත්තිය යටතේ දුම්කොළ සහ මෘදු පාන වර්ගවලටත් බදු අය කරනවා වගේ ම දේශීය ව්‍යාපාරිකයන්ට ලබාදුන් විවිධ සහනත් කප්පාදු කර තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය මාර්ග ගාස්තු ඉහළ නංවා තිබෙනවා වගේ ම සංචාරක බද්දකුත් හදුන්වා දී තිබෙනවා.    

බදු අය කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම

සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ විදියට වැට් බද්දක් අය කිරීමට ප්‍රධාන හේතුව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙසුයි. රටේ ආදායම් මූලාශ්‍ර විවිධාංගීකරණය කරන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටවලට නිතර උපදෙස් දී තිබෙනවා. එයට ප්‍රධාන හේතුව වන්නේ මේ රටවල් සම්පූර්ණයෙන් ම රදා පවතින්නේ ඛනිජ තෙල් ආදායම මත පමණක් වීමයි. එය දිගුකාලීන ආර්ථික පැවැත්මට අහිතකර නිසා බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටවලින් ඉල්ලා තිබෙනවා. ඒ අනුවයි මේ රටවල් වැට් බද්ද අය කිරීමට තිරණය කර තිබෙන්නේ. 
සවුදි අරාබිය තමන්ගේ අයවැය වියදම්වලින් සියයට 90ක් ම පියවා ගන්නේ ඛනිජ තෙල් ආදායම්වලිනුයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ ප්‍රතිශතය සියයට 80ක් වෙනවා. 

අනෙක් අරාබි රටවල වැට් බද්දට ආසයි..බයයි...ප්‍රතිපත්තිය

සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැට් බදු හදුන්වා දීමත් සමග අරාබියේ රටවල් වන බහරේන්, කුවේට්, ඕමාන් සහ කටාර් රටවල් ද මේ ආකාරයට බදු ප්‍රතිපත්ති හදුන්වා දීමට සූදානම් වන අතර සමහර රටවල් මේ ප්‍රතිපත්ති හදුන්වා දීම 2019 දක්වා කල් දමා තිබෙනවා.

(මූලාශ්‍රය-BBC)


Monday, January 1, 2018

කොන්දොස්තරකමෙන් නළුවෙකු වූ රජිනි ලොක්කා දේශපාලනයට එයි...

තමිල්නාඩුවේ රගපාන දෙවියා

දකුණු ඉන්දීය ජනතාව දේවත්වයෙන් අදහන දකුණු ඉන්දීය සිනමා තරුව රජිනි කාන්ත් දේශපාලනයට එන බව දෙසැම්බර් 31වැනිදා නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. රජිනි සිනමාවෙන් උපයාගත් ජනප්‍රියත්වය දේශපාලනයට යොදා ගැනීමට උත්සාහ කරන බවයි මෙයින් පෙනී යන්නේ. විශේෂයෙන් ම ඔහු දැනටමත් හදුන්වන්නේ රගපෑම සදහා ආසියාවේ වැඩි ම අය කිරීමක් කරන නළුවෙකු ලෙසයි. 

වයස අවුරුදු 67ක් වන රජිනි ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රාන්ත සභා මැතිවරණය සදහා තමන්ගේ ම දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන බව කියා තිබෙනවා. ඔහු කියා තිබෙන්නේ තමිල්නාඩු රජය දුවන ක්‍රමවේදය සම්පූර්ණයෙන් ම වෙනස් කළ යුතු බවයි. ඉදිරි මැතිවරණය සදහා ඔහුගේ ඉලක්කය වන්නේ ආසන 234ක් ලබා ගැනීම බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

රජිනිකාන්ත් තමා දේශපාලන ක්ෂේත්‍රයට පැමිණීමට හේතුවත් මෙහිදී කියා තිබෙනවා. ඔහුගේ වචනයෙන් ම කියනවා නම් ඔහු මෙහෙම කියනවා, "මම දේශපාලනයට එන තීරණය දැන් ම නොගත්තොත් ඒක මම කරපු අපරාධයක් කියලා මගේ හිත මට වද දෙයි. මට තනතුරු, මුදල් හෝ ගරු නම්බු ගන්න දේශපාලනයට එන්න අවශ්‍ය නැහැ. දැන් තියෙන දූෂිත දේශපාලන ක්‍රමයයි, තුච්ඡ ප්‍රජාතන්ත්‍රවාදයයි ඉවරයක් කරලා දාන්න දැන් ඔයාලා මාත් එක්ක යුද්ධයට ලෑස්ති වෙන්න. දෙවියන් තීරණය කරනවා නම් මම හෙට වුණත් මේ තුච්ඡ දේශපාලනය ඉවරයක් කරන්න එනවා". රජනි මේ දේවල් එක්ක තමන්ගේ කතාව කරද්දී එයාගේ ප්‍රේක්ෂකයෝ ගිනි කෙළි පත්තු කර කර, සංගීතයට නටමින්, සටන් පාඨ කියමින් ඉතා ප්‍රීතියෙන් හැසුරුණා කියලා ප්‍රංශ පුවත් සේවය කියනවා.  

මේ සියල්ලෙන් ඔහු අදහස් කළේ දැනට තමිල්නාඩු ප්‍රාන්තයේ පාලන බලය හොබවන AIADMK පක්ෂයත් සමග අනෙක් දේශපාලන පක්ෂවල වර්තමාන ක්‍රියාකාරිත්වය කියලයි ගොඩක් අය කියන්නේ. 

රජිනිගේ අතීතය

අපි විශේෂයෙන් ම රජිනිකාන්ත්ගේ අතීතයත් සලකා බැලිය යුතුයි. මොකද ඔහු 1973 දෙමළ සිනමාවට එන්න කලින් බැංගලෝර් නගරයේ බස් කොන්දොස්තර කෙනෙක් හැටියටයි වැඩ කළේ. ඔහු සිනමාවට ආවට පස්සේ මිලියන 70ක (කෝටි 7ක) ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කරගෙන තියෙනවා. 

රජිනි කාන්ත්ගේ ඇත්ත නම ෂිවාජි රාඕ ගයේක්වඩ් කියන නමයි. ඔහු 1975 ඉදලා මේ දක්වා චිත්‍රපට 200ක විතර රගපාලා තියෙනවා වගේ ම ඒවගෙන් වැඩි හරියක් ඉහළ ආදායම් වාර්තා කඩලා තියෙනවා. 2016දී තිරගත වෙච්ච "කබාලි" චිත්‍රපටය දැනට ඔහු රගපාපු අවසන් චිත්‍රපටයයි. ඒකත් දකුණු ඉන්දියාවේ ආදායම් වාර්තා බිද දාපු චිත්‍රපටියක්. 

(මූලාශ්‍රය-BBC)
 

චීනය 2018දී බල්ලාට යයි...?

බටහිර ක්‍රමයට අනුව අපි ක්‍රිස්තු වර්ෂ 2018ට පැමිණියා. අපි බටහිර ක්‍රමයට නව වසර පිළිගත්තත් බටහිර වර්ෂ ක්‍රම සහ දින වකවානු මත පදනම් නොවී ගොඩ නැගුණු විවිධ දින දර්ශන විශාල ප්‍රමාණයක් ලෝකයේ තිබෙනවා. ඒ අතරින් ආකර්ෂණීය වර්ෂ ක්‍රමයක් ගොඩනගා ගෙන යන්නේ චීනයයි. එයට ප්‍රධාන හේතුව වෙන්නේ චීනය තමන්ගේ සෑම වර්ෂයක් ම ඔවුන් පිළිගත් සත්වයන් 12දෙනෙකු අදාළ කරගනිමින් පවත්වාගෙන යාම නිසායි. ඒ සත්වයන් 12දෙනා වන්නේ මීයා, ගොනා, කොටියා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, බැටලුවා, වදුරා, කුකුළා, බල්ලා සහ ඌරායි. අපි පසු කළ 2017 වර්ෂය කුකුළාගේ වර්ෂයයි. අපි පැමිණි 2018 වර්ෂය චීන ජාතිකයන්ට අනුව බල්ලාගේ වර්ෂයයි.
චීන ජාතිකයන්ගේ පිළිගැනීමට අනුව අදාළ සත්වයන්ගේ වර්ෂයේ ඉපදුනු පුද්ගලයන්ට අදාළ සත්වයාගේ ගතිගුණ පිහිටනවා. හැබැයි ඒවා අපි හිතන විදියේ අපහාසාත්මක වර්ගයේ ගතිගුණ නෙවෙයි. බල්ලාගේ අවුරුද්දේ ඉපදුනු අය බලුවැඩ කරන අය විදියට අපි හිතුවත් එහිදී චීන ජාතිකයන් පිළිගන්නේ බල්ලාගේ යහපත් ගතිගුණ සහිතව අදාළ පුද්ගලයන් උපදින බවයි. බල්ලාගේ වසරේ උපදින පුද්ගලයෝ ස්වාධීන, අවංක, පක්ෂපාතී සහ ස්ථිර අදහසක් ඇති පුද්ගලයන් බවට පත්වෙනවා කියලායි චීන ජාතිකයෝ පිළිගන්නේ. ඒ වගේ ම බල්ලාගේ වසරේ ඉපදුනු අය තමන්ගේ එදිනෙදා ජීවිතයේ ඇතිවන දුෂ්කරතාවලට බය නොවී ඉදිරියට යන බවත්, අනෙක් පුද්ගලයන් සමග සාමකාමී සම්බන්ධතා ඇති කරගන්නා බවත් චීන ජාතිකයන් පිළිගන්නවා. මේ ආකාරයට මේ චක්‍රයේ සිටින සෑම සතෙකුට ම ඌට ම අනන්‍ය වූ ගතිගුණ තියෙනවා. ඒ සතුන්ගේ අවුරුදුවල උපදින අය ඒ ගතිගුණ උරුම කරගෙන උපදින බවයි චීන ජාතිකයෝ පිළිගන්නේ.
මේ වගේ බල්ලාගේ වසරේ ඉපදුනු ලෝකයේ ප්‍රසිද්ධ චරිත ගොඩාක් අය ඉන්නවා. ඒ අතරින් ටික දෙනෙක් වෙන්නේ මයිකල් ජැක්සන්, මාරියා කැරේ, ජෙනිපර් ලෝපේස්, මැඩෝනා (ප්‍රකට ගායක ගායිකාවෝ), වින්ස්ටන් චර්චිල්, බෙන්ජමින් ප්රෑන්ක්ලීන්, බිල් ක්ලින්ටන් (ප්‍රකට දේශපාලනඥයෝ), සොක්‍රටීස්, කොන්පියුසියස්, වොල්ටෙයාර් (ප්‍රකට දාර්ශනිකයෝ) වගේ ම කේට් මිඩ්ල්ටන් කසාද බැදපු එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුත් ඉපදිලා තියෙන්නේ චීන දින දර්ශනයට අනුව බල්ලාගේ අවුරුද්දේයි.
කොහොම වුණත් චීන ජාතිකයන්ගේ අලුත් අවුරුද්ද ආරම්භ වෙන්නේ ජනවාරි 01වැනිදා නෙවෙයි. ඔවුන්ට අනුව නව වසර ආරම්භ වෙන්නේ සෑම වර්ෂයක ම පෙබරවාරි 16වැනිදායි. ඒ කියන්නේ මේ අවුරුද්දට අදාළ ඔවුන්ගේ බල්ලාගේ වසර ආරම්භ වෙන්නේ ලබන පෙබරවාරි 16වැනිදා ඉදලායි. බල්ලාගේ වසර අවසන් වෙන්නේ 2019 පෙබරවාරි 4වැනිදායි.
බල්ලා කියන්නේ මිනිහාගේ සමීප ම මිතුරා නිසා ඔවුන් බල්ලා සුබදායි සතෙක් ලෙස සලකනවා (චීන ජාතිකයෝ බල්ලෝ මරාගෙන කන එක වෙන ම කතාවක්...?). මේ වර්ෂයේදී බල්ලෙක් ඔවුන්ගේ ගෙදරට අහම්බෙන් ආවොත් එය ඔවුන්ගේ වාසනාව කියලා ඔවුන් සලකනවා.  

බල්ලාගේ වසර තුළ චීන ජාතිකයන්ට සුබ අංක වෙන්නේ 3,4,9 කියන ඉලක්කම් ටිකයි. සුබ වර්ණ වෙන්නේ කොල, රතු සහ දම් පාටයි. සුබ දිශා වෙන්නේ නැගෙනහිර, ගිනිකොන සහ දකුණයි. ඒ හැරුණා ම රෝස මල සහ තවත් මල් වර්ග දෙකක් මේ වර්ෂයට සුබයි කියලා ඔවුන් පිළිගන්නවා.


(මූලාශ්‍ර - විකිපීඩියා, www.travelchinaguide.com)

2018දී ලෝකයේ සිද්ධ වෙන දේවල් ටිකක්...

අපිට 2018 වර්ෂ ආරම්භය ටිකක් විතර වැදගත් වෙන්න හේතුවක් වෙලා තියෙන්නේ අවුරුද්දේ මුල් ම දවස පෝය දවසක් වීමයි. මට ඇහුණු විදියට අවුරුද්දේ මුල් ම දවසට පෝයක් වැටිලා තියෙන්නේ අවුරුදු ගාණකට පස්සෙලු. අනිත් එක මේ අවුරුද්දේ වෙසක් පෝය යෙදිලා තියෙන්නේ අප්‍රේල් මාසයේයි. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ තියෙන්නේ බක් පෝය වුණත් මෙවර බක් පෝය තියෙන්නේ මාර්තු මාසයේයි. ඒ වගේ ම 2018 අවුරුද්දේ තියෙන රජයේ නිවාඩු ගණන 156ක් වෙනවා. ඒක සමස්ත අවුරුද්දේ දිනවලින් සියයට 43ක් වෙනවා.
කොහොම වුණත් අලුත් අවුරුද්දත් එක්ක අපි හිතට ගන්න ඕනි ප්‍රධාන දේ තමයි ගිය අවුරුද්දේ වෙච්ච හොද දේවල් විතරක් හිතේ තියාගෙන නරක දේවල්වලින් පාඩමක් ඉගෙන ගෙන අලුත් අවුරුද්ද පටන් ගන්නවා කියන එකයි. අපිට අනිත් මිනිස්සු කරන කියන දේවල් නවත්වන්න බැරි නිසා අපි හැමවෙලේ ම හිතට ගන්න ඕනි අපි කරන නරක දේවල් අඩු කරගන්න එකයි.
අවුරුද්ද මුල පෝයක් තිබ්බ නිසා අපිට 2018 අවුරුද්ද ටිකක් විශේෂ වුණාට 2018 ලෝකයට වැදගත් වෙන්නේ කොයි විදියට ද කියලා ටිකක් කියන්න හිතුණා. මේ 2018 අවුරුද්දේදී ලෝකයේ සිදුවෙන විශේෂ දේවල් ටිකකුයි.
2018 පෙබරවාරි 9-25 : 2018 ශීත ඔලිම්පික් උළෙල දකුණු කොරියාවේ, පියොන්චැන්ග් නගරයේදී පැවැත්වීම.
2018 මැයි 5 : නාසා ආයතනය "ඉන්සයිට්" යානය අගහරුට යැවීමට සූදානම් කිරීම.
2018 මැයි 19 : එංගලන්තයේ හැරී කුමරු සහ ඇමෙරිකාවේ ජනප්‍රිය නිළි මේගන් මාර්කල්ගේ විවාහ මංගල්‍යය සාන්ත ජොර්ජ් චැපල්හි පැවැත්වීම. (මේ විවාහයේ සුවිශේෂත්වයක් වන්නේ හැරී කුමරු විවාහ වන මේගන් මාර්කල් කලින් විවාහ වූ කාන්තාවක වීම සහ ඇය හැරී කුමරුට වඩා වසර 3ක් වැඩිමහල් වීමයි)
2018 ජූනි 14 - ජූලි 15 : 2018 පාපන්දු ලෝක ශූරතා තරගාවලිය රුසියාවේ පැවැත්වීම.
2018 ජූලි 27 : 2003න් පසුව අගහරු පෘථිවියට සමීප වීම.
2018 ඔක්තෝබර් : යුරෝපා-ජපන් සහයෝගයෙන් තැනූ මිනිසෙකු රහිතව ගමන් කළ හැකි "බෙපිකොලම්බෝ" යානය බුද ග්‍රහයාට ගමන් කරවීම.
පෝලන්තයේ ඉදිකර ඇති ඇමෙරිකානු මිසයිල ආරක්ෂණ පද්ධතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම.
අභ්‍යවකාශ සංචාරකයන් දෙදෙනෙකු පැලකන් හෙවි යානයේ නැගී චන්ද්‍රයා වටා සංචාරය කිරීමට නියමිත වීම. (1972න් පසුව මිනිසෙකු පහළ පෘථිවි කක්ෂයෙන් එපිටට ගමන් කරන පළමු අවස්ථාව මෙය වේ.
(මූලාශ්‍ර - විකිපීඩියා,getfun.lk)