Saturday, January 6, 2018

පොඩි ළමයි රෑට නිදාගන්න වෙලාවත් රටින් රටට වෙනස් වෙලා...

ළදරුවන් රාත්‍රියට නිදාගන්නා වේලාවේ වෙනස්කම්


ලෝකයේ වයස අවුරුදු 3ක් දක්වා වන සියලු ළදරුවන් රාත්‍රියට නිදාගන්නා වේලාවන් රටෙන් රටට සහ මහද්වීපයෙන් මහද්වීපයට වෙනස් වන බව පර්යේෂණයකින් හෙළි වී තිබේ.  උපතේ සිට වයස අවුරුදු 3ක් දක්වා වන දරුවන් රාත්‍රියට නිදාගන්නා වේලාව ළදරුවන් ජීවත්වන රට, ප්‍රදේශය හෝ කලාපය අනුව වෙනස් වන බව මෙය පිළිබද පර්යේෂණයේ යෙදුනු සායනික කායික විද්‍යාඥවරියක වන ජෝඩි මින්ඩෙල් සදහන් කරනවා. ඇය කළ පර්යේෂණයෙන් ලැබුණු අවසාන නිගමන පරීක්ෂා කිරීමේදී දරුවන් රාත්‍රියට නිදාගන්නා වේලාව රටින් රටට වෙනස් වීම සම්බන්ධයෙන් ඇය ඉතා පුදුමයට පත් වී සිටිනවා. 


දරුවන් නිදාගන්නා වේලාව රටින් රටට වෙනස්වේ 


ජෝඩි මින්ඩෙල් කියන ආකාරයට ඇය මේ පර්යේෂණය ආරම්භ කරන විට සිතා ඇත්තේ ලෝකයේ රටවල ලෝකයේ ළදරුවන් රාත්‍රියට නිදාගන්නා වේලාවන් අතර  පරතරය විනාඩි 10ක් හෝ 15ක් වෙයි කියලායි. ඇය එහෙම හිතුවත් එ්ක එහෙම වෙලා නැහැ. ඒත් ඇයගේ පර්යේෂණය අවසානයේදී ඇයට ලැබුණු නිගමනවලට අනුව ලෝකයේ රටවල ළදරුවන් නිදාගන්නා වේලාව අතර පරතරය පැය දෙකහමාරකට (2  1/2) වඩා වැඩි අගයක් ගෙන තියෙනවා. ඇය පුදුම වී තියෙන්නේ මේ ප්‍රතිඵල නිසායි. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් දෙකත්, හොංකොං සහ කොරියාව යන රටවල් දෙකත් සංසන්දනය කළා ම මේ වෙනස හොදට තේරුම්ගත හැකියි කියලා ඇය කියනවා. 


තොරතුරු රැස් කළ ආකාරය සහ රැස් කළ රටවල්


මේ පර්යේෂණය සදහා අවශ්‍ය දත්ත ලබා ගැනීමට ජෝඩි මින්ඩෙල් රටවල් ගණනාවක ජීවත්වන ළදරුවන්ගේ මව්පියන් සමග සාකච්ඡා කර තිබෙනවා. ඇය සහ ඇයගේ පර්යේෂණ කණ්ඩායම චීනය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, කොරියාව, ජපානය, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය, වියට්නාමය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව යන රටවලින් මේ සදහා දත්ත රැස්කර තිබෙනවා. මෙයට අදාළ ප්‍රශ්නාවලිවලට (සමීක්ෂණ පත්‍රිකා, සාකච්ඡා) අවශ්‍ය දත්ත 2006, 2007 සහ 2008 යන වර්ෂවලදී ඔවුන් රැස්කර තිබෙනවා. එසේ රැස්කර ගත් දත්ත විශ්ලේෂණය කර ඔවුන් මේ නිගමනවලට එළඹී තියෙනවා. 


ළදරුවන් කලින් ම නිදාගන්නා රට සහ ළදරුවන් වැඩිපුර ම පරක්කු වී නිදාගන්නා රට


ඔවුන්ගේ පර්යේෂණයට අනුව රාත්‍රියට කලින් ම නිදාගන්නේ නවසීලන්තයේ ළදරුවනුයි. ඔවුන් නිදාගන්නා සාමාන්‍ය වේලාව දැක්වෙන්නේ රාත්‍රි 7.28 ලෙසයි. වඩාත් ම රෑ වෙලා නිදාගන්නේ හොංකො රාජ්‍යයේ ළදරුවනුයි. හොංකොං රාජ්‍යයේ ළදරුවන් රාත්‍රියට නිදාගන්නා සාමාන්‍ය වේලාව වෙන්නේ රාත්‍රි 10.17යි. 

මේ වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ ළදරුවන් නිදාගන්නේ රාත්‍රි 7.43ටයි, බ්‍රිතාන්‍යයේ ළදරුවන් නිදාගන්නේ රාත්‍රි 7.55ටයි, ඇමෙරිකාවේ ළදරුවන් නිදාගන්නේ රාත්‍රි 8.52ටයි, චීනයේ ළදරුවන් නිදාගන්නේ රාත්‍රි 8.57ටයි, දකුණු කොරියාවේ ළදරුවන් නිදාගන්නේ රාත්‍රි 10.06ටයි, ඉන්දියාවේ ළදරුවන් නිදාගන්නේ රාත්‍රි 10.11ටයි. මේ තොරතුරුවලින් කියවෙන්නේ මේ රටවල දරුවන් හරියට ම මේ වේලාවට නිදාගන්නවා කියලා නෙවෙයි. මේ තොරතුරුවලින් දක්වලා තියෙන්නේ මේ රටවල දරුවන් රාත්‍රියට නිදාගන්නේ ආසන්න වශයෙන් රාත්‍රි කීයට විතර ද කියලායි. 

සමස්තයක් හැටියට සලකලා බැලුවා ම වැඩිපුර ම රෑ වෙලා නිදාගන්න ළදරුවන් පිරිසක් ඉන්නේ ආසියානු කලාපයේයි. ඉතා කලින් ම නින්දට යන ළදරුවන් පිරිස ඉන්නේ ඕස්ට්‍රේලියා (ඕෂනියා) මහද්වීපයේ සහ යුරෝපා මහද්වීපයේයි. 

ජෝඩි මින්ඩෙල්ගේ පර්යේෂණ කණ්ඩායමේ තොරතුරුවලට අනුව ලෝකයේ අනෙක් රටවල දරුවන් නිදාගන්නේ කීයට ද කියලාත් පහත සටහනේ (Info-graph) තියෙනවා. 
(http://edition.cnn.com)

(මූලාශ්‍රය - CNN)


No comments:

Post a Comment