Saturday, January 6, 2018

ශ්‍රී ලංකාවේ රැකියා ඇබෑර්තු ප්‍රමාණය ලක්ෂ 05ක් දක්වා ඉහළ යයි...

ශ්‍රී ලංකාවේ රැකියා ඇබෑර්තු ප්‍රමාණය


ශ්‍රී ලංකාවේ විවිධ අංශයන්හි පවතින රැකියා ඇබෑර්තු ප්‍රමාණය ලක්ෂ පහකට ආසන්න බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2017 වර්ෂයේදී පැවැත්වූ ශ්‍රම ඉල්ලුම පිළිබද සමීක්ෂණ වාර්තාවෙන් මෙය හෙළි වී තිබෙනවා. මේ අනුව මෙරට සෑම අංශයක ම පවතින රැකියා පුරප්පාඩු (රැකියා ඉල්ලුම) ගණන 497,302ක් වෙනවා. 

2018 වසරේදී වැඩි ම ඉල්ලුමක් ඇති රැකියාවන් මොනවා ද?


ශ්‍රම ඉල්ලුම පිළිබද සමීක්ෂණ වාර්තාවට අනුව මේ වසරේදී (2018) ඉහළ ම ඉල්ලුමක් පවතින්නේ මැහුම් සේවකයන්ට සහ ඇදුම් සකසන්නන්ටයි. මැහුම් සේවකයන්ට සහ ඇදුම් සකසන්නන්ට මේ අවුරුද්දේ තිබෙන පුරප්පාඩු සංඛ්‍යාව 74,000ක් වෙනවා. ඉන් අනතුරුව වාණිජ හා අලෙවි අංශය තුළ මේ අවුරුද්දේ තිබෙන පුරප්පාඩු සංඛ්‍යාව 70,000ක් බව මේ වාර්තාවේ සදහන් වෙනවා.  

පෞද්ගලික අංශයේ රැකියාවක් ඉක්මණින් හොයා ගන්නේ කොහොම ද?


කිසියම් රැකියා අපේක්ෂකයෙකුට කණ්ඩායම් හැගීමකින් යුතුව සාමූහිකව කටයුතු කිරීමට හැකියාවක් තිබෙනවා නම් සහ හොද වාචික සන්නිවේදන හැකියාවක් තිබෙනවා නම් පෞද්ගලික අංශය තමන් සතු රැකියාවලට ඔවුන් ඉක්මණින් යෙදවීමට උත්සාහ කරන බව මේ වාර්තාවේ සදහන් වෙනවා.
ඒ වගේ ම පෞද්ගලික අංශය අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් යන දෙක ම ඇති පිරිස සේවයේ යෙදවීමට ඔවුන් වැඩි කැමැත්තක් දක්වනවා. ඔවුන් වෘත්තීය පුහුණුව පමණක් ලැබූ අය සේවයේ යෙදවීමට තරමක් මැළිකමක් දක්වනවා. 

ඉහළ ඉල්ලුමක් ඇති අනෙක් රැකියා


මේ කොහොම වුණත් පසුගිය වසරේ සිට සලකා බැලුවොත් ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙදපොළ තුළ දැනට ඉහළ ම ඉල්ලුමක් පවතින්නේ මහන මැෂින් ක්‍රියාකරුවන්ට බව ද මේ වාර්තාව හෙළි කරනවා. මේ අනුව දැනට මහන මැෂින් ක්‍රියාකරුවන් 77,189ක් සදහා මෙරට ඇබෑර්තු තිබෙනවා. කොහොම වුණත් මහන මැෂින් ක්‍රියාකරුවන් සොයා ගැනීමේ දැඩි දුෂ්කරතාවකින් ව්‍යාපාර අංශය පසුවන බව ද  වාර්තාවේ සදහන් වෙනවා. මහන මැෂින් ක්‍රියාකරුවන්ගෙන් පසුව ශ්‍රී ලංකාවේ ඉහළ ම ඉල්ලුමක් ඇත්තේ ආරක්ෂක නියාමකයන්ට බව ද මෙහි සදහන් වෙනවා. දැනට ආරක්ෂක නියාමක පුරප්පාඩු 57,008ක් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. මේ හැරුණු විට මීළගට ඉහළ ම ඉල්ලුමක් ඇත්තේ යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණවේදීන්, ගිණුම්කරණ සහයක වෘත්තීකයන් සහ හෙද වෘත්තිකයන්ට බව ද  මේ වාර්තාවේ සදහන් කරනවා. 
පසුගිය වසරේදී (2017) ශ්‍රී ලංකාවේ වැඩි ම පිරිසක් සේවා අංශයේ රැකියාවල යෙදී සිට තිබෙන අතර එයින් වැඩි පිරිස සේවා සහ විකුණුම් සේවක යන අංශවල සේවය කර තිබෙනවා. 

මේ වාර්තාව වැදගත් වෙන්නේ කාට ද?


ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ සමීක්ෂණ වාර්තාව සකස් කිරීම සදහා රටපුරා තිබෙන සේවකයන් තුන්දෙනෙකුට වැඩියෙන් සිටින ව්‍යාපාර ආයතන 3500ක දත්ත යොදාගෙන තිබෙනවා. මේ වාර්තාව වැඩියෙන් ම ප්‍රයෝජනවත් වෙන්නේ විශ්වවිද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතනවලට බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තවදුරටත් මේ වාර්තාවෙන් සදහන් කරනවා. ඒ වගේ ම රැකියා සොයන රැකියා අපේක්ෂකයන්ටත් මේ වාර්තාව ඉතා වැදගත් වෙනවා. රැකියාවක් සොයා ගැනීමේදී තමන්ට තිබෙන අවස්ථා ගැන මේ වාර්තාවෙන් අවබෝධයක් ලැබීමට හැකිවීම මෙයට ප්‍රධාන හේතුවයි.

(මූලාශ්‍රය - ශ්‍රම ඉල්ලුම පිළිබද සමීක්ෂණ වාර්තාව-2017, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව)

No comments:

Post a Comment