Monday, January 1, 2018

චීනය 2018දී බල්ලාට යයි...?

බටහිර ක්‍රමයට අනුව අපි ක්‍රිස්තු වර්ෂ 2018ට පැමිණියා. අපි බටහිර ක්‍රමයට නව වසර පිළිගත්තත් බටහිර වර්ෂ ක්‍රම සහ දින වකවානු මත පදනම් නොවී ගොඩ නැගුණු විවිධ දින දර්ශන විශාල ප්‍රමාණයක් ලෝකයේ තිබෙනවා. ඒ අතරින් ආකර්ෂණීය වර්ෂ ක්‍රමයක් ගොඩනගා ගෙන යන්නේ චීනයයි. එයට ප්‍රධාන හේතුව වෙන්නේ චීනය තමන්ගේ සෑම වර්ෂයක් ම ඔවුන් පිළිගත් සත්වයන් 12දෙනෙකු අදාළ කරගනිමින් පවත්වාගෙන යාම නිසායි. ඒ සත්වයන් 12දෙනා වන්නේ මීයා, ගොනා, කොටියා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, බැටලුවා, වදුරා, කුකුළා, බල්ලා සහ ඌරායි. අපි පසු කළ 2017 වර්ෂය කුකුළාගේ වර්ෂයයි. අපි පැමිණි 2018 වර්ෂය චීන ජාතිකයන්ට අනුව බල්ලාගේ වර්ෂයයි.
චීන ජාතිකයන්ගේ පිළිගැනීමට අනුව අදාළ සත්වයන්ගේ වර්ෂයේ ඉපදුනු පුද්ගලයන්ට අදාළ සත්වයාගේ ගතිගුණ පිහිටනවා. හැබැයි ඒවා අපි හිතන විදියේ අපහාසාත්මක වර්ගයේ ගතිගුණ නෙවෙයි. බල්ලාගේ අවුරුද්දේ ඉපදුනු අය බලුවැඩ කරන අය විදියට අපි හිතුවත් එහිදී චීන ජාතිකයන් පිළිගන්නේ බල්ලාගේ යහපත් ගතිගුණ සහිතව අදාළ පුද්ගලයන් උපදින බවයි. බල්ලාගේ වසරේ උපදින පුද්ගලයෝ ස්වාධීන, අවංක, පක්ෂපාතී සහ ස්ථිර අදහසක් ඇති පුද්ගලයන් බවට පත්වෙනවා කියලායි චීන ජාතිකයෝ පිළිගන්නේ. ඒ වගේ ම බල්ලාගේ වසරේ ඉපදුනු අය තමන්ගේ එදිනෙදා ජීවිතයේ ඇතිවන දුෂ්කරතාවලට බය නොවී ඉදිරියට යන බවත්, අනෙක් පුද්ගලයන් සමග සාමකාමී සම්බන්ධතා ඇති කරගන්නා බවත් චීන ජාතිකයන් පිළිගන්නවා. මේ ආකාරයට මේ චක්‍රයේ සිටින සෑම සතෙකුට ම ඌට ම අනන්‍ය වූ ගතිගුණ තියෙනවා. ඒ සතුන්ගේ අවුරුදුවල උපදින අය ඒ ගතිගුණ උරුම කරගෙන උපදින බවයි චීන ජාතිකයෝ පිළිගන්නේ.
මේ වගේ බල්ලාගේ වසරේ ඉපදුනු ලෝකයේ ප්‍රසිද්ධ චරිත ගොඩාක් අය ඉන්නවා. ඒ අතරින් ටික දෙනෙක් වෙන්නේ මයිකල් ජැක්සන්, මාරියා කැරේ, ජෙනිපර් ලෝපේස්, මැඩෝනා (ප්‍රකට ගායක ගායිකාවෝ), වින්ස්ටන් චර්චිල්, බෙන්ජමින් ප්රෑන්ක්ලීන්, බිල් ක්ලින්ටන් (ප්‍රකට දේශපාලනඥයෝ), සොක්‍රටීස්, කොන්පියුසියස්, වොල්ටෙයාර් (ප්‍රකට දාර්ශනිකයෝ) වගේ ම කේට් මිඩ්ල්ටන් කසාද බැදපු එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුත් ඉපදිලා තියෙන්නේ චීන දින දර්ශනයට අනුව බල්ලාගේ අවුරුද්දේයි.
කොහොම වුණත් චීන ජාතිකයන්ගේ අලුත් අවුරුද්ද ආරම්භ වෙන්නේ ජනවාරි 01වැනිදා නෙවෙයි. ඔවුන්ට අනුව නව වසර ආරම්භ වෙන්නේ සෑම වර්ෂයක ම පෙබරවාරි 16වැනිදායි. ඒ කියන්නේ මේ අවුරුද්දට අදාළ ඔවුන්ගේ බල්ලාගේ වසර ආරම්භ වෙන්නේ ලබන පෙබරවාරි 16වැනිදා ඉදලායි. බල්ලාගේ වසර අවසන් වෙන්නේ 2019 පෙබරවාරි 4වැනිදායි.
බල්ලා කියන්නේ මිනිහාගේ සමීප ම මිතුරා නිසා ඔවුන් බල්ලා සුබදායි සතෙක් ලෙස සලකනවා (චීන ජාතිකයෝ බල්ලෝ මරාගෙන කන එක වෙන ම කතාවක්...?). මේ වර්ෂයේදී බල්ලෙක් ඔවුන්ගේ ගෙදරට අහම්බෙන් ආවොත් එය ඔවුන්ගේ වාසනාව කියලා ඔවුන් සලකනවා.  

බල්ලාගේ වසර තුළ චීන ජාතිකයන්ට සුබ අංක වෙන්නේ 3,4,9 කියන ඉලක්කම් ටිකයි. සුබ වර්ණ වෙන්නේ කොල, රතු සහ දම් පාටයි. සුබ දිශා වෙන්නේ නැගෙනහිර, ගිනිකොන සහ දකුණයි. ඒ හැරුණා ම රෝස මල සහ තවත් මල් වර්ග දෙකක් මේ වර්ෂයට සුබයි කියලා ඔවුන් පිළිගන්නවා.


(මූලාශ්‍ර - විකිපීඩියා, www.travelchinaguide.com)

No comments:

Post a Comment