Monday, January 1, 2018

කොන්දොස්තරකමෙන් නළුවෙකු වූ රජිනි ලොක්කා දේශපාලනයට එයි...

තමිල්නාඩුවේ රගපාන දෙවියා

දකුණු ඉන්දීය ජනතාව දේවත්වයෙන් අදහන දකුණු ඉන්දීය සිනමා තරුව රජිනි කාන්ත් දේශපාලනයට එන බව දෙසැම්බර් 31වැනිදා නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. රජිනි සිනමාවෙන් උපයාගත් ජනප්‍රියත්වය දේශපාලනයට යොදා ගැනීමට උත්සාහ කරන බවයි මෙයින් පෙනී යන්නේ. විශේෂයෙන් ම ඔහු දැනටමත් හදුන්වන්නේ රගපෑම සදහා ආසියාවේ වැඩි ම අය කිරීමක් කරන නළුවෙකු ලෙසයි. 

වයස අවුරුදු 67ක් වන රජිනි ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රාන්ත සභා මැතිවරණය සදහා තමන්ගේ ම දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන බව කියා තිබෙනවා. ඔහු කියා තිබෙන්නේ තමිල්නාඩු රජය දුවන ක්‍රමවේදය සම්පූර්ණයෙන් ම වෙනස් කළ යුතු බවයි. ඉදිරි මැතිවරණය සදහා ඔහුගේ ඉලක්කය වන්නේ ආසන 234ක් ලබා ගැනීම බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

රජිනිකාන්ත් තමා දේශපාලන ක්ෂේත්‍රයට පැමිණීමට හේතුවත් මෙහිදී කියා තිබෙනවා. ඔහුගේ වචනයෙන් ම කියනවා නම් ඔහු මෙහෙම කියනවා, "මම දේශපාලනයට එන තීරණය දැන් ම නොගත්තොත් ඒක මම කරපු අපරාධයක් කියලා මගේ හිත මට වද දෙයි. මට තනතුරු, මුදල් හෝ ගරු නම්බු ගන්න දේශපාලනයට එන්න අවශ්‍ය නැහැ. දැන් තියෙන දූෂිත දේශපාලන ක්‍රමයයි, තුච්ඡ ප්‍රජාතන්ත්‍රවාදයයි ඉවරයක් කරලා දාන්න දැන් ඔයාලා මාත් එක්ක යුද්ධයට ලෑස්ති වෙන්න. දෙවියන් තීරණය කරනවා නම් මම හෙට වුණත් මේ තුච්ඡ දේශපාලනය ඉවරයක් කරන්න එනවා". රජනි මේ දේවල් එක්ක තමන්ගේ කතාව කරද්දී එයාගේ ප්‍රේක්ෂකයෝ ගිනි කෙළි පත්තු කර කර, සංගීතයට නටමින්, සටන් පාඨ කියමින් ඉතා ප්‍රීතියෙන් හැසුරුණා කියලා ප්‍රංශ පුවත් සේවය කියනවා.  

මේ සියල්ලෙන් ඔහු අදහස් කළේ දැනට තමිල්නාඩු ප්‍රාන්තයේ පාලන බලය හොබවන AIADMK පක්ෂයත් සමග අනෙක් දේශපාලන පක්ෂවල වර්තමාන ක්‍රියාකාරිත්වය කියලයි ගොඩක් අය කියන්නේ. 

රජිනිගේ අතීතය

අපි විශේෂයෙන් ම රජිනිකාන්ත්ගේ අතීතයත් සලකා බැලිය යුතුයි. මොකද ඔහු 1973 දෙමළ සිනමාවට එන්න කලින් බැංගලෝර් නගරයේ බස් කොන්දොස්තර කෙනෙක් හැටියටයි වැඩ කළේ. ඔහු සිනමාවට ආවට පස්සේ මිලියන 70ක (කෝටි 7ක) ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කරගෙන තියෙනවා. 

රජිනි කාන්ත්ගේ ඇත්ත නම ෂිවාජි රාඕ ගයේක්වඩ් කියන නමයි. ඔහු 1975 ඉදලා මේ දක්වා චිත්‍රපට 200ක විතර රගපාලා තියෙනවා වගේ ම ඒවගෙන් වැඩි හරියක් ඉහළ ආදායම් වාර්තා කඩලා තියෙනවා. 2016දී තිරගත වෙච්ච "කබාලි" චිත්‍රපටය දැනට ඔහු රගපාපු අවසන් චිත්‍රපටයයි. ඒකත් දකුණු ඉන්දියාවේ ආදායම් වාර්තා බිද දාපු චිත්‍රපටියක්. 

(මූලාශ්‍රය-BBC)
 

No comments:

Post a Comment