Thursday, January 4, 2018

ඉරානය කැලඹෙයි...ආධ්‍යාත්මික නායකයාගේ රෙදි ගැලවෙයි...

ඉරානයේ කැලඹීම

ඉරානයේ දැනට පවතින ආර්ථික පීඩාව සහ දේශපාලන මර්දනය හේතුවෙන් එරට ජනතාව දින ගණනක සිට ඉරානයේ වීදිවලට බැස දැඩි විරෝධතාවක යෙදී සිටිනවා. විරෝධතාවේ පස්වැනි දිනය යෙදී තිබුණු 2018 ජනවාරි පළමුවැනිදා විරෝධතාවේ යෙදී සිටි පුද්ගලයන් 10දෙනෙකු මරා දැමුණු අතර දැනට විරෝධතාව හේතුවෙන් පුද්ගලයන් 21දෙනෙකු මිය ගොස් තිබෙනවා. එරට ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කොමෙයිනි එරට විරෝධතාකරුවන් රාජ්‍යද්‍රෝහීන් යැයි නම් කර තිබුණත් ජනවාරි 02වැනිදා විරෝධතාකරුවන් දසදහසක සහභාගිත්වයෙන් පැවති දැවැන්ත විරෝධතාවත් සමග  විරෝධතාකරුවන්ගේ රාජ්‍යද්‍රෝහීභාවය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

කැලඹීමේ ආරම්භය සහ ඒවාට හේතු 

ඉරානයේ දැනට පවතින නොසන්සුන්කාරී තත්ත්වය එරට දෙවැනි ප්‍රධාන නගරය වන මෂාඩ් හිදී දෙසැම්බර් 28වැනිදා ආරම්භ වුණේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන්. ඉන් පසුව මේ විරෝධතා එරට අගනුවර වන ටෙහෙරාන් නුවර ද සමග නගර 50ක පමණ ව්‍යාප්ත වුණා වගේ ම මේ විරෝධතාවලට දහස් ගණනක ජනතාවක් ද එකතු වුණා. විරෝධතාව දිගින දිගට ම ව්‍යාප්ත වීමත් සමග විරෝධතාකරුවන් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්තා සහ රජයේ ආරක්ෂක අංශ සමග ඇති කරගත් ගැටුම්වලින් දැනට පුද්ගලයන් 21ක් පමණ මියගොස් තිබෙනවා. තවත් සියගණනක් අත්අඩංගුවට පත්වී සිටිනවා. 

"ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ" ප්‍රතිපත්තිය

ඉරානයේ ජනාධිපති හසන් රොවුහානිගේ ආණ්ඩුවේ කටයුතු ජනතාවට දැඩි පීඩාවක් ඇති කර ඇති බව මෙසේ විරෝධතාවට එක් වී සිටින පිරිස සදහන් කරනවා. ආණ්ඩුව එරට පවතින පීඩාකාරී ආර්ථිකය, රැකියා වියුක්තිය, උද්ධමනය සහ දූෂණය වැළැක්වීමට හෝ අවම කිරීමට අසමත් වී ඇති බව විරෝධතාකරුවන් සදහන් කරනවා. විරෝධතාකරුවන් තවදුරටත් කියා සිටින්නේ "ලෝකෙට පරකාසේ-ගෙදරට මරගාතේ" වැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ඉරාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා රටේ ජනතාව අසරණ වී ඇති බවයි. ඉරානයේ ජනතාව ගෙදරට වී දුක් විදිද්දී ඉරාන ආණ්ඩුව තම රටෙන් බැහැර වෙනත් ගැටුම් සහ ප්‍රශ්න විසදීම සදහා තොගපිටින් මුදල් වියදම් කරමින් රටේ ජනතාවගේ මූලික අවශ්‍යතා ගැනවත් සැලකිල්ලක් නොදක්වන බව විරෝධතාකරුවන් කියනවා. 

ආධ්‍යාත්මික නායකයාගේ රෙදි ගැලවීම

මේ විදියට රටේ ආණ්ඩුව විවේචනය කරන විරෝධතාකරුවන් "ඒකාධිපතියාට මරණය" යනුවෙන් සටන් පාඨ කියමින් සිටිනවා. මෙහිදී ඔවුන් ඒකාධිපතියා ලෙස අදහස් කරන්නේ එරට ජනාධිපති හසන් රොවුහානි නොව එරට ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කොමෙයිනි ගැනයි. 

ආණ්ඩුවේ පහරදීම්

ඉරානයේ ජනාධිපති මේ ගැන කියන්නේ රටේ ජනතාවට ආණ්ඩුව විවේචනය කිරීමට සහ විරෝධතාවේ යෙදීමට අයිතියක් ඇතත් මහජන දේපළ විනාශ කිරීමට අයිතියක් නැති බවයි. විරෝධතාකරුවන් පොදු දේපළ විනාශ කරමින් ආරක්ෂක අංශවලට බලපෑම් කිරීමට ගියහොත් ආරක්ෂක අංශත් එයට ගැළපෙන විදියට පිළිතුරු දෙනු ඇතැයි ඉරාන ජනාධිපති රොවුහානි විරෝධතාකරුවන්ට අනතුරු අැගෙව්වා. රොවුහානි තවදුරටත් කියා සිටින්නේ රටේ පවතින ගැටලු විසදීමට තමන්ට උදව් කරන ලෙසයි. ඒත් විරෝධතාකරුවන් මේ කිසි දෙයක් අහන්නේ නැතිව විරෝධතාවේ යෙදිලා ඉන්නවා. 
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කොමෙයිනි කියන විදියට මේ විරෝධතාකරුවන් රටට එරෙහි කුමන්තුණකාරයෝයි. ඔවුන්ට මුදල්, ආයුධ, ඔත්තු සේවා යන පහසුකම් ලැබිලා තියෙන බවත් රට අස්ථාවර කිරීමට ඔවුන් විරෝධතා පවත්වන බවත් ඔහු කියනවා. 

අන්තර්ජාල සහ දුරකථන තහනම

දැන් ආණ්ඩුව ඉරානයේ ජනතාවට වෙබ් අඩවිවලට යන්න, විදුලි පුවත් යවන්න සහ වීඩියෝ හුවමාරු කරගන්න බැරි විදියට අන්තර්ජාල සහ දුරකථන පහසුකම් සියල්ල නවතා තිබෙනවා. ඒත් මීට කලින් ඉරානයේ ජනතාවට මේ පහසුකම් තිබ්බා. මේ ගැටුම්කාරී තත්ත්වයත් සමග ඉරානයේ තත්ත්වය ලෝකයට යෑම වැළැක්වීමට ආණ්ඩුව මෙවැනි පියවරක් අනුගමනය කර තිබෙනවා.

විරෝධතාවේ යෙදෙන පිරිස

ඉරානය තුළ 2009දීත් මෙවැනි දැවැන්ත විරෝධතා ඇතිවුණේ එරට ජනාධිපතිවරණයේදී මොහොමඩ් අහමදිනෙජාඩ් මැතිවරණය දුෂණය කළ බව කියමින්. ඒත් එරට ආධ්‍යාත්මික නායකයාගේ මැදිහත්වීම මත මේ විරෝධතා සියල්ල මැඩ පැවැත්වුණා. එහිදී විරෝධතාකරුවන් විශාල පිරිසක් මරා දැමීම සහ රදවා ගැනීම සිදුවුණා. 2009දී පැවති විරෝධතාවේදී විරෝධයේ යෙදුනේ බොහෝ දුරට අධ්‍යාපනයක් ලැබූ උගත් පිරිසයි. ඒත් දැන් ඉරානයේ ඇති වෙලා තියෙන විරෝධතාවලට එකතුවෙලා ඉන්නේ එදිනෙදා වේල පිරිමහගැනීමට තරම්වත් අපහසු හෝ රැකියා නොමැති පිරිසයි.
ඉරානයේ දුප්පත්කම දැනට සියයට 15යි. එරට ජනතාවගේ පාන්, කිරි සහ රතු මස් පරිභෝජනය කිරීමේ ප්‍රතිශතයත් දැන් සියයට 30ක් දක්වා පහත වැටිලා තියෙනවා. ඉරානයේ රැකියා වියුක්තිය නිල වශයෙන් සියයට 12.4ක් වුණත් සමහර ප්‍රදේශවල මේ අගය සියයට 60ක් පමණ අගයක් ගෙන තිබෙනවා.


ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය

ඉරානයේ දැනට පවතින තත්ත්වය ගැන ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ තමන් විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවයි. ඉරානයේ ජනතාව දැන් ආහාර සහ නිදහස වෙනුවෙන් සටන් කරන බවයි ඔහු කියන්නේ. දැන් ඉරානයට වෙනසක් අවශ්‍ය බවත් ඔහු තවදුරටත් කියනවා. 
මේ ගැන යුරෝපා සංගමය කියන්නේ ඉරානයේ ජනතාවට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කර අදාළ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට ඉරාන ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි. 

(මූලාශ්‍ර-BBC, AFP, Wikipedia)

No comments:

Post a Comment