Thursday, January 4, 2018

ඔස්ට්‍රේලියාව ලෝකයේ ලොකු ම ගංජා මුදලාලි වෙන්න හදයි...

ඔස්ට්‍රේලියාව ලෝකයේ විශාල ම ගංජා (කංසා) අපයනයනකරු වීමට බලාපොරොත්තු වන බව එරට රජය නිවේදනය කරයි. විවිධ රෝගවලට අවශ්‍ය බෙහෙත් නිපදවීම සදහා ගංජා සැපයීමට මේ අනුව බලාපොරොත්තු වන බව ද ඔස්ට්‍රේලියානු රජය තවදුරටත් සදහන් කරයි.


ගංජා වවන්න නීති වෙනස් කරයි...

ඔස්ට්‍රේලියාව එරට ගෘහස්ථ වෙළෙදපොළට පමණක් නොව ජාත්‍යන්තර වෙළෙදපොළට ද ගංජා අලෙවි කිරීමට මේ අනුව බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් කැනඩාව සහ නෙදර්ලන්තය සදහා ගංජා නිෂ්පාදන අලෙවි කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නීති රෙගුලාසි වෙනස් කිරීමට රජය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතක් මගින් මෙම නීති තත්ත්වය වෙනස් කිරීමට ඔස්ට්‍රේලියාව  තීරණය කර ඇති අතර එයට එරට විපක්ෂය වන කම්කරු පක්ෂයේ සහය ද ලබා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. දේශීය රෝගීන්ගේ බෙහෙත්වලට අවශ්‍ය ගංජා සැපයීම ද මේ යටතේ අඛණ්ඩව සිදුවන බව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් සදහන් කරනවා. 
ඖෂධ නිපදවීම සදහා ගංජා භාවිත කිරීම ඔස්ට්‍රේලියාව 2016දී නීතිගත කළ අතර මත්ද්‍රව්‍යයක් ලෙස ගංජා භාවිත කිරීම එරට නීතියට අනුව නීතිවිරෝධීයි. 


ගංජා වැවීමෙන් වාසි වෙන්නේ කාට ද?

ලෝකයේ ලොකු ම ගංජා අපනයනකරු වීම සදහා එරට ගොවිපොළ හිමියන්ට සහ නිෂ්පාදන ආයතනවලට ගංජා නිපදවීමට අවශ්‍ය අවසරය දීමේ ක්‍රමවේදයක් සකසන බව ද එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරනවා. 
ගංජාවලින් තැනූ තෙල්, ස්ප්‍රේ සහ පෙති ඇතුළු නිෂ්පාදන මේ යටතේ අපනයනය කිරීමට ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු වෙනවා. ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන ආකාරයට මෙයත් සමග ඔස්ට්‍රේලියාවේ රෝගීන්ට මෙන් ම ව්‍යාපාරිකයන්ට ද ඉහළ ප්‍රතිලාභයක් අත්වෙනවා.


ලෝකයට අවශ්‍ය ගංජා ප්‍රමාණය

ඇමෙරිකාවේ ගණන් බැලීම්වලට අනුව 2025වන විට ලෝකයේ ඖෂධ නිපදවීමට අවශ්‍ය ගංජා ප්‍රමාණයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 55ක් (ස්ටර්ලින් පවුම් බිලියන 40/ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 70) වෙනවා. 

(මූලාශ්‍රය-BBC)

No comments:

Post a Comment