Thursday, January 11, 2018

අැමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා යැයි කියන කවුද මේ ඔප්රා වින්ෆ්‍රි...? 1 කොටස

ඔප්රා වින්ෆ්‍රිගේ ජනාධිපතිවරණ අපේක්ෂාව


ඔප්රා වින්ෆ්‍රි පිළිබදව මේ දිනවල දැඩි කතාබහට ලක්වෙන්නේ ඇය ඇමෙරිකාවේ පසුගියදා පැවැති 75වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී හොලිවුඩ් රංගන ශිල්පීන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් සම්බන්ධයෙන් ප්‍රබල හෙළිදරව් කිරීමක් කළ නිසායි. ඇය කළ මේ කතාවෙන් පසු ඇයගේ මිතුරන් දෙදෙනෙකු ජනමාධ්‍යයට පවසා සිටියේ ඇය 2020දී පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අදහසකින් සිටින බවයි. ඔප්රා වින්ෆ්‍රි මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන්ට ඇය පරාජය කිරීමට හැකි බව ඇමෙරිකාවේ වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඔප්රා වින්ෆ්‍රි ඉදිරි ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එය ඉතා සුබදායක ආරංචියක් වනු ඇති බව ඇමෙරිකාවේ බොහෝ දෙනෙකුගේ අදහස ද වුණා. කොහොම නමුත් මේ සම්බන්ධයෙන්ඔප්රා වින්ෆ්‍රිගේ ප්‍රතිචාරය මෙතෙක් පැහැදිලිව දැක ගැනීමට නොහැකියි. 

මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන චරිතයක් නිසා අද මම ඔප්රා වින්ෆ්‍රි ගැන කෙටියෙන් සටහනක් ලියන්න හිතුවා. ඇත්තට ම ඔප්රා වින්ෆ්‍රිගේ කතාව තුළ අපිට ඉගෙන ගත යුතු විවිධ පාඩම් පවා තියෙනවා. 


ඔප්රා වින්ෆ්‍රිගේ රැකියාව සහ ධනවත්කම


ඔප්රා වින්ෆ්‍රි කියන්නේ ඇමෙරිකාවේ ප්‍රකට රූපවාහිනී නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් සහ ව්‍යවසායිකාවක්. ඇය දිනපතා රූපවාහිනියෙන් ඉදිරිපත් කරන "ද ඔප්රා වින්ෆ්‍රි ෂෝ" කියන වැඩසටහන සමීක්ෂණ වාර්තා අනුව තවමත් ඉතා ඉහළ ජනප්‍රියත්වයක් තිබෙන වැඩසටහනක් ලෙස ද සැලකෙනවා. 

ඔප්රා වින්ෆ්‍රි සැලකෙන්නේ ඇමෙරිකාවේ ධනවත් ම සහ ඇමෙරිකාවට විශාල බලපෑමක් කළ කාන්තාවක් හැටියටයි. ඇය සැලකෙන්නේ ධනවත් ම ඇමෙරිකා-අප්‍රිකානු පුද්ගලයා සහ උතුරු ඇමෙරිකාව තුළ බිලියනපතියෙක් වූ පළමු කලු ජාතිකයා ලෙසයි. ඒ වගේ ම ඇය ඇමෙරිකානු ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨ පරාර්ථකාමියෙකු ලෙස ද සැලකෙනවා. 


ළමා කාලය


ඇය ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රදේශයේ ඉතා දිළිදු ග්‍රාමීය පවුලකට දාව 1954දී උපත ලැබූ තැතැන්තියක්. වයස අවුරුදු 18ට අඩු අවිවාහක කාන්තාවකට දාව ඔප්රා වින්ෆ්‍රි ඉපදුනා. 


කුඩා කල සිට ම ලිංගික අතවර 


ඔප්රා වින්ෆ්‍රි කුඩා කාලයේ සිට ම විවිධ ලිංගික අඩන්තේට්ටම්වලට ද බොහෝ සෙයින් ලක් වුණා. මෙහි ප්‍රතිඵලය වුණේ ඇය වයස අවුරුදු 14දී ගැබිණියක් බවට පත්වීමයි. කොහොම වුණත් ඔප්රා වින්ෆ්‍රිට දාව ඉපදුනු දරුවා ද කුඩා කාලයේ ම මරණයට පත්වුණා. 


රැකියාව සහ මත්ද්‍රව්‍ය


ඔප්රා වින්ෆ්‍රි පාසලේ ඉගෙනුම ලබන අතරේ ඇයට ගුවන්විදුලි නාලිකාවක රැකියාවක් ලැබුණා. ඇයට වයස අවුරුදු 19දී ඇයට එරට රූපවාහිනී නාලිකාවක තවත් පුද්ගලයෙකු සමග එක්ව දේශීය සවස පුවත් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණා. ඔප්රා වින්ෆ්‍රි පිළිබදව ප්‍රකට කරුණක් වන්නේ ඇය අවුරුදු විසි ගණනන්වලදී කොකේන් මත්ද්‍රව්‍යයට දැඩි ව ඇබ්බැහි වී සිටීමයි. ඇය පසුකාලීනව මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් මිදී තිබෙනවා.


රූපවාහිනියට නුසුදුසු නිවේදිකාවක්ලු

ඔප්රා වින්ෆ්‍රි ටෙනසි රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ ප්‍රාසංගික කලාව පිළිබදව උසස් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ඇයට රූපවාහිනී නාලිකාවක නිවේදන රැකියාවක් ලැබුණත් ඇයට එහි වැඩ කිරීමට අවස්ථාව ලැබුණේ මාස හතහමාරක් පමණයි. ඇය රූපවාහිනී ඉදිරිපත් කිරීම්වලට නුසුදුසු කෙනෙක් යැයි කියා ඇය රැකියාවෙන් ඉවත් කිරීමට අදාළ රූපවාහිනී නාලිකාවේ ප්‍රධානීන් කටයුතු කළා. කොහොම වුණත් ඇය තමන්ගේ මහන්සියෙන් රැකියා සොයාගෙන නිවේදක රැකියාවෙන් තව තවත් ඉහළට ගියා. එහි ප්‍රතිඵලයක් වුණේ ඇය පසුකාලීනව ඇයගේ ම නිෂ්පාදන කණ්ඩායමක් බිහිකරගෙන එය ජාත්‍යන්තර මට්ටමෙන්  දියත් කිරීමයි. ඔප්රා වින්ෆ්‍රි එදා පටන් ගත් තැනින් දීර්ඝකාලීන ගමනක් ඇවිල්ලායි අද ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ. 

(මූලාශ්‍ර - Britannica, Wikipedia, Vogue, Washington Post)



No comments:

Post a Comment