Wednesday, January 10, 2018

සහරා කාන්තාරයටත් හිම වැටෙයි...

ශ්‍රී ලංකාවේ පවතින දැඩි ශීත කාලගුණය


ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල පවතින්නේ දැඩි සීතල කාලගුණයක්. නිතර නියගයෙන් පීඩා විදින වියළි කලාපය තුළ මේ දිනවල උදෑසන සහ රාත්‍රි කාලයට දැඩි සීතල කාලගුණයක් පවතිනවා. අනුරාධපුර සහ පොලොන්නරුව වැනි ප්‍රදේශවල මේ දිනවල රාත්‍රි උෂ්ණත්වය වාර්තා වන්නේ සෙල්සියස් අංශක 16ක් වැනි මට්ටමකයි. වෙනත් කාලයන්හිදී මේ ප්‍රදේශවල  රාත්‍රි උෂ්ණත්වය සෙල්සියස් අංශය 36ත් ඉක්මවා යන තරම් තිබෙනවා. නමුත් දැනට පවතින සීත කාලගුණය හේතුවෙන් වෙනදා පවතින උෂ්ණත්වයෙන් අඩක පමණ උෂ්ණත්වයකුයි දැන් මේ ප්‍රදේශවල දකින්න තියෙන්නේ. නුවරඑළිය වැනි ප්‍රදේශවල මේ දිනවල උෂ්ණත්වය වාර්තා වන්නේ සෙල්සියස් අංශක 4ක් ලෙසයි. මෙයත් සමග නුවරඑළිය ප්‍රදේශයට මල්තුහින වැටීම ද මේ දිනවල සිදුවෙනවා.


ලෝකයේ පවතින ශීත කාලගුණය


දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන දැඩි ශීත කාලගුණය ලෝකයේ බොහෝ රටවලිනුත් වාර්තා වෙනවා. උදාහරණයක් හැටියට ඇමෙරිකාවේ සමහර ප්‍රදේශවල මේ දිනවල රාත්‍රියේ පවතින උෂ්ණත්වය සෙල්සියස් අංශක -39 (ඍණ 39ක්) ලෙස වාර්තා වෙනවා. ලෝකයේ දැනට පවතින ශීත කාලගුණයට උදාහරණ සපයන තවත් ප්‍රවෘත්තියක් මේ වන විට වාර්තා වෙනවා. ඒ ලෝකයේ විශාල ම උණුසුම් කාන්තාරය වන සහරා කාන්තාරයට ද මේ දිනවල හිම වැටීමයි. ලෝකයේ උෂ්ණත්වය වැඩි ම ප්‍රදේශ කිහිපයකින් එකක් වන සහරා කාන්තාරයට ද හිම වැටීමෙන් පැහැදිලි වන්නේ ලෝකයේ මේ දිනවල ඇති වී තිබෙන ශීත කාලගුණයේ ස්වභාවයයි. 


සහරා කාන්තාරයට හිම වැටීම



ඇල්ජීරියාවේ අයින් සෙෆ්රා කියන සහරා කාන්තාරයේ පවතින කාන්තාර නගරයට මේ දිනවල හිම පතිත වී තිබෙනවා. අයින් සෙෆ්රා කියන නගරය සැලකෙන්නේ සහරා කාන්තාරයට ගමන් කරන දොරටුවක් ලෙසයි. වසර 40ක කාලයක් තුළ සහරා කාන්තාරයට හිම පතිත වූ 3වැනි අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ. 


පතිත වූ හිමවල ඝනකම


සමහර වාර්තාවන්ගෙන් කියවෙන විදියට අයින් සෙෆ්රා නගරයට අඩි එකහමාරකට ආසන්න (අගල් 15ක්) ඝනකමින් යුත් හිම ප්‍රමාණයක් පතිත වී තිබෙනවා. ඒත් අයින් සෙෆ්රා නගරයේ වාර්තාවන්ට අනුව එතරම් හිම ප්‍රමාණයක් සහරා කාන්තාරයට පතිත වී නැහැ. ඔවුන්ගේ වාර්තාවන්ට අනුව සහරා කාන්තාරයට පතිත වී තිබෙන හිම ප්‍රමාණය අගලකටත් වඩා අඩු ඝනකමකින් යුක්තයි.මේ හිම පතිත වීම පසුගිය ඉරිදා (2018.01.07) දිනයේදී සිදු වී තිබෙන අතර හිම දියවීම එදින සවස 5ට පමණ ආරම්භ වී තිබෙනවා. අයින් සෙෆ්රා නගරයට මේ ආකාරයට හිම පතිත වී තිබෙන්නේ වසර 37කට පසුවයි. 

(මූලාශ්‍රය - CNN)


No comments:

Post a Comment