Monday, January 8, 2018

ඉරානයේ පාසල් තුළ ඉංග්‍රීසි ඉගැන්වීම තහනම් කරයි...

ඉංග්‍රීසි තහනමේ පසුබිම


ඉරාන රජය එරට ප්‍රාථමික පාසල්වල ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම තහනම් කර තිබේ. ඉරානයේ ඇති වූ නොසන්සුන්කාරී හා ගැටුම්කාරී තත්ත්වයෙන් සතියකට පසු ඉරාන රජය මේ තීරණය ගෙන තිබේ. පසුගිය සතියේදී ඉරානය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූයේ එරට ආර්ථික පීඩනය පදනම් කරගනිමිනි. එකී විරෝධතාවේදී විරෝධතාකරුවෝ ඉරානයේ පවතින මූලධර්මවාදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ක්‍රියාකලාපයන්ට විරෝධය දැක්වූහ. එය සම්බන්ධයෙන් ඉරානයේ අාධ්‍යාත්මික නායක අයතොල්ලාහ් අලි කමෙනෙයි සදහන් කළේ ඉරානය තුළ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය විදේශ මැදිහත්වීමක ප්‍රතිඵලයක් බව ය. 


ඉංග්‍රීසිවලින් සංස්කෘතික ආක්‍රමණයක්...?


ඉරානයේ ප්‍රාථමික පාසල්වල ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම තහනම් කිරීම පිළිබදව ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතොල්ලාහ් කමෙනෙයි සදහන් කරන්නේ බටහිර රටවල් ඉංග්‍රීසි භාෂාව යොදාගෙන සංස්කෘතික ආක්‍රමණයක් කරමින් සිටින බව ය. ඉරානයේ අධ්‍යාපනය සම්බන්ධ ඉහළ පරිපාලනය මේ තහනම පිළිබදව අද දිනයේදී (2018.01.08) නිවේදනයක් නිකුත් කරමින්  නිල වශයෙන් සදහන් කර තිබේ.

ඉරානයේ උසස් අධ්‍යාපන කවුන්සිලයේ ප්‍රධානි මෙහ්ඩි නවිඩ් අදම් එරට ජාතික ගුවන්විදුලිය වන අයි.ආර්.අයි.බී. (IRIB) සමග එක්වෙමින් මේ පිළිබදව සදහන් කළේ බටහිර රටවල් ඉරානයට එල්ල කළ හැකි සංස්කෘතික ආක්‍රමණයක් සදහා ඉංග්‍රීසි භාෂාව යොදාගත හැකි බව ය. ඔහු රොයිටර් පුවත් සේවාවට මේ පිළිබදව පවසා ඇත්තේ "රජයේ ප්‍රාථමික පාසල්වල සහ රජයේ නොවන ප්‍රාථමික පාසල්වල ඉංග්‍රීසි ඉගැන්වීම ඉරාන නීතියට හා රෙගුලාසිවලට පටහැනි" බව ය. 

ඉරාන සංස්කෘතියේ පදනම ප්‍රාථමික පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනයෙන් නිර්මාණය වන හෙයින් මෙම තහනම ප්‍රාථමික පාසල් සදහා පනවා තිබේ. 


තහනම අලුත් දෙයක් නෙවෙයි - ඉරාන අධ්‍යාපන අමාත්‍යාංශය


ඉරාන රජය එරට ප්‍රාථමික පාසල්වල ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම තහනම් කර ඇති බව එරට අධ්‍යාපන අමාත්‍යාංශය ද මේ වනවිට තහවුරු කර තිබේ. එරට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල ප්‍රකාශකයා එය පිළිබදව ප්‍රකාශ කරන්නේ "ඉරාන රජයේ මේ තහනම අලුත් දෙයක් නෙවෙයි. අනුමත ජාතික ප්‍රතිපත්තියට අනුව ඉරානයේ පාසල්වල 7වැනි ශ්‍රේණියට පැමිණෙන තුරු  හෝ උසස් පාසලේ පළමු ශ්‍රේණියට පැමිණෙන තුරු දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්නේ නැහැ" යනුවෙනි.

මෙයත් සමග ඉරානයේ පෞද්ගලික පාසල් තම පාසල්වල ඉගෙනුම ලබන තරුණ සිසුන්ට පමණක් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට කටයුතු යෙදිය හැකි බව ද තවදුරටත් කියවෙනවා. 

(මූලාශ්‍රය - Deutsche Welle)

1 comment:

  1. Types of Baccarat - Wolverione
    Baccarat is one 바카라 사이트 of the most popular card games in Michigan. Learn how to play card 바카라 games like Whist, Scatter, Baccarat, 온카지노 Scatter, and more at the

    ReplyDelete