Friday, June 8, 2018

මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් හම්බු වුණු කොළඹ නගරයේ පරණ සිතියම් ටිකක්...

ශ්‍රී ලංකාවේ පැරණි සිතියම් හොයා ගන්න ඕනි වුණොත් අපි හැමෝට ම මතක් වෙන්නේ රාජ්‍ය ලේඛනාගාරයයි. ඇත්තට ම ලංකාවේ පැරණි සිතියම් සියල්ලක් ම වගේ රාජ්‍ය ලේඛනාගාරයේ තැන්පත් වෙලා තියෙනවා. රාජ්‍ය ලේඛනාගාරයට පිවිසෙන තැනත් ඒ වගේ සිතියම් සැලකිය යුතු ප්‍රමාණයක් තොරතුරු සොයා එන අයගේ ප්‍රයෝජන සදහා ප්‍රදර්ශනය කරලා තියෙනවා. 

මේ කතාව රාජ්‍ය ලේඛනාගාරයේ තියෙන සිතියම් ගැන නෙවෙයි, ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ තියෙන පරණ සිතියම් ටිකක් ගැනයි. ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව කියන්නේ ශ්‍රී ලංකාවේ පැරණි ම දෙපාර්තමේන්තුවයි. මිනින්දෝරු දෙපාර්තමේන්තුව ආරම්භ කරලා තියෙන්නේ 1800 අවුරුද්දෙයි. ඒ කියන්නේ මේ අවුරුද්දට මිනින්දෝරු දෙපාර්තමේන්තුවට වසර 218ක් සම්පූර්ණ වෙනවා. 

සිතියමක් මිලදී ගන්න මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පාරිභෝගික සේවා අංශයට ගියපු වෙලාවේ පරණ සිතියම් ටිකක් හම්බු වුණු නිසා ඒවායේ පින්තූර ටිකකුත් ගන්න හැකි වුණා. මම දැන් ඉදිරිපත් කරන සිතියම්වල විශේෂත්වය වෙන්නේ මේ සිතියම්වලින් විවිධ යුගයන්හි කොළඹ නගරය තිබුණු හැටි ගැන හොද අවබෝධයක් ලබා ගැනීමට හැකි වීමයි. මේ සිතියම් එකින් එක බලලා ඔබ ම මේවාගේ වෙනස තේරුම් ගන්න. මේ සිතියම් ගොඩක් ඒවා ඉතා පැරණියි. සමහර ඒවා ලන්දේසි යුගයේ අවසාන වර්ෂයේ සකස් කළ සිතියම්. අනිත් ඒවා සියල්ල ම වගේ ඉංග්‍රීසි පාලන කාලයේ සකස් කළ සිතියම්. මේ සිතියම් එකතුවේ අවසානයට අද දවසේ පාවිච්චි කරන සිතියමකුත් එකතු කරන්න අදහස් කළා. එයින් කොළඹ නගරයේ වර්තමාන වෙනස් වීම් ඔබට අවබෝධ කරගැනීමට හැකි වෙයි.

මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් එකතු කරගත්ත තවත් දුර්ලභ සිතියම් ටිකක් සහ ජාතික ලේඛනාගාරයෙන් එකතු කරගත් සිතියම් ටිකක් මම ළග තිබුණත් ඒවා  ගැන පස්සේ දවසක ලියන්න උත්සාහයක් දරනවා. 

පළමු සිතියම (කොළඹ කොටුව)


සිතියමෙන් නිරූපිත ස්ථානය - කොළඹ කොටුව
සිතියමේ නම - PLAN DE LA VILLE et du FORT DE COLOMBO
සිතියමේ ස්ථාන නාම සදහන් භාෂාව - ඕලන්ද භාෂාව
සිතියම නිර්මාණය වූ වර්ෂය - 1796 (ඕලන්ද යුගයේ අවසාන වර්ෂය)


දෙවැනි සිතියම (කොළඹ නගරය) 


සිතියමෙන් නිරූපිත ස්ථානය - කොළඹ නගරය
සිතියමේ නම - Colombo in the 18th Century (18වැනි සියවසේදී කොළඹ නගරය)
සිතියමේ ස්ථාන නාම සදහන් භාෂාව - ඉංග්‍රීසි
සිතියම නිර්මාණය වූ වර්ෂය - 1800


තෙවැනි සිතියම (කොළඹ නගරය)


සිතියමෙන් නිරූපිත ස්ථානය - කොළඹ නගරය
සිතියමේ නම - Colombo in the Early XIX Century (19වැනි සියවසේ මුල් කාලයේ කොළඹ නගරය)
සිතියමේ ස්ථාන නාම සදහන් භාෂාව - ඉංග්‍රීසි
සිතියම නිර්මාණය වූ වර්ෂය - 1900


සිව්වැනි සිතියම (කොළඹ නගරය)


සිතියමෙන් නිරූපිත ස්ථානය - කොළඹ නගරය
සිතියමේ නම - Colombo (කොළඹ නගරය)
සිතියමේ ස්ථාන නාම සදහන් භාෂාව - ඉංග්‍රීසි
සිතියම නිර්මාණය වූ වර්ෂය - 1901


පස්වැනි සිතියම (කොළඹ නගරය)


සිතියමෙන් නිරූපිත ස්ථානය - කොළඹ නගරය
සිතියමේ නම - Location Map of Central Colombo (කොළඹ මධ්‍යගත කොටසේ ස්ථාන නාම සිතියම)
සිතියමේ ස්ථාන නාම සදහන් භාෂාව - ඉංග්‍රීසි
සිතියම නිර්මාණය වූ වර්ෂය - මෑතකාලීන සිතියමකි


ගංජා බොන්න කැනඩාවටත් අවසර ලැබෙයි...

"ගංජා භාවිතය පිළිබද පනත් කෙටුම්පත" සම්මතයි...


මත්ද්‍රව්‍යයක් ලෙස ගංජා භාවිත කිරීමට අවසර දෙන "ගංජා භාවිතය පිළිබද පනත් කෙටුම්පත"ට කැනඩාවේ සෙනට් මන්ත්‍රී මණ්ඩලයේ ද (දෙවන මන්ත්‍රී මණ්ඩලය) අනුමැතිය ලැබී තිබෙන බව බී.බී.සී. වෙබ් අඩවිය සදහන් කරනවා. කැනඩාව ෆෙඩරල් රාජ්‍යයක් වන නිසා එහි නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ලෙස මන්ත්‍රී මණ්ඩල දෙකක් තිබෙනවා. කැනඩා පාර්ලිමේන්තුවේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය තුළ "ගංජා භාවිතය පිළිබද පනත් කෙටුම්පත"ට  පක්ෂව නියෝජිතයන් 56දෙනෙකු ද, විපක්ෂව නියෝජිතයන් 30දෙනෙකු ද ඡන්දය පාවිච්චි කර තිබෙනවා. කෙසේ නමුත් මෙකී පනත් සම්මතය සිදු වුව ද මෙහි යෝග්‍යතාව පරීක්ෂා කිරීමට ද මාස හයක වැනි කාලයක් වෙන් කර තිබෙනවා. 

කැනඩා අගමැතිත් හදිසියෙන් වැඩ කරයි...


එළඹෙන ග්‍රීෂ්ම කාල‍යේදී මෙය ක්‍රියාත්මක කළ හැකි වේ යැයි බලාපොරොත්තුවකින් තව ද කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ සිටින බවත් බී.බී.සී. වෙබ් අඩවිය තවදුරටත් සදහන් කරනවා. 

ගංජා නීතිගත කළ පළමු ජී-7 රට කැනඩාවයි...


කැනඩාව තුළ ගංජා භාවිතය නීතිගත කිරීමත් සමග ලෝක ප්‍රකට ජී-7 කණ්ඩායම තුළ සාමාන්‍ය භාවිතය සදහා ද ගංජා නීතිගත කළ පළමු රට බවට කැනඩාව පත් වෙනවා. ජී-7 කණ්ඩායම ලෙස හදුන්වන්නේ ඉතා ඉහළ ආර්ථික වර්ධනයක් පෙන්වමින් ඉදිරියට යන ලෝකයේ ඉහළ මට්ටමේ සිටින රටවල් 7යි. මේ රටවල් වන්නේ එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය යන රාජ්‍යයනුයි. 

ඖෂධ සදහා ගංජා යොදාගැනීම 2001 සිට ම...


කැනඩාව තුළ ඔෟෂධ හෝ වෛද්‍ය හේතු සදහා ගංජා භාවිත කිරීම 2001දී නීතිගත කරනු ලැබුවා. ඖෂධ හෝ වෛද්‍ය හේතු සදහා ගංජා නිෂ්පාදන නිපදවිය හැකිව තිබුණේ බලපත්‍රලාභීන්ට පමණකි. දැන් කැනඩාව උත්සාහ කරන්නේ සාමාන්‍ය භාවිතයක් ලෙස ගංජා භාවිත කිරීම නීතිගත කිරීමටයි.

නීතිය විධිමත් වෙන්න මාස තුනක කාලයක්...


කැනඩාව තුළ ගංජා භාවිතය නීතිගත කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සහිත "ගංජා භාවිතය පිළිබද පනත් කෙටුම්පත" එරට නීතියක් ලෙස ලේඛනාරූඪ වීමට තවත් සති 12ක පමණ කාලයක් (මාස 3ක්) ගතවෙනවා. එසේ වුව ද ඔවුන්ට එය නීතියක් ලෙස ලේඛනාරූඪ වන තෙක් බලා නොහිද සාමාන්‍ය භාවිතය සදහා ද ගංජා මිලදී ගැනීම කළ හැකියි.

ගංජා භාවිතයේ ස්වරූප පිළිබද තීරණ ගැනීමේ ප්‍රාදේශීය මට්ටමින්...


ගංජා භාවිතය නීතිගත කිරීමත් සමග කැනඩාවේ ප්‍රාන්ත සහ පළාත්වලට ගංජා භාවිතය සම්බන්ධයෙන් තීරණ ගැනීමට ද වගකීම පවරා තිබෙනවා. එනම් සිල්ලර වෙළෙදපොළ තුළ ගංජා විකිණිය යුතු ආකාරය සහ ප්‍රසිද්ධ ස්ථානවල ගංජා පානය කළ හැකි ද? යනාදී දේවල් තීරණය කිරීමේ වගකීම පැවරෙන්නේ කැනඩාවේ ප්‍රාදේශීය පාලන ඒකකවලටයි. 

වැඩිපුර ම ගංජා බොන අය අතර කැනඩාවේ තරුණ ප්‍රජාවත් ඉන්නවලු...


කැනඩාවේ තරුණ ප්‍රජාව ලෝකය තුළ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ වැඩි වශයෙන් ම ගංජා භාවිත කරන පිරිසක් ලෙස ය. කෙසේ වුව කැනඩාවේ අගනුවර වන ඔටාවා ප්‍රදේශයේ මතය වන්නේ ගංජා නීතිගත කළ ද එකී නීතියෙන් තරුණ ප්‍රජාව බැහැර කළ යුතු බව ය. විශේෂයෙන් සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම, ගංජා භාවිතය සමග පොලීසිය සහ යුක්ති පද්ධතිය සමග ඇති විය හැකි බොහෝ නෛතික බැදීම් අවම කිරීම මෙන් ම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ගංජා පරිභෝජනය සීමාසහිත තත්ත්වයක පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බව ඔටාවා ප්‍රදේශය සදහන් කරනවා.


ගංජා ආයෝජන වේගයෙන් එයි...  


කැනඩාව තුළ ගංජා භාවිතය නීතිගත කිරීමට කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ දුන් පොරොන්දුවත් සමග එරට ගංජා වගා ක්ෂේත්‍රයට අවශ්‍ය ආයෝජන වේගයෙන් පැමිණි  අතර ඖෂධ සදහා ගංජා වගා කරන ආයතන කැනඩා කොටස් වෙළෙදපොළේ ඉහළ අගයක් පෙන්නුම් කරමින් ඉදිරියට ද පැමිණ තිබෙන බව වාර්තා වෙනවා.

(මූලාශ්‍රය - BBC)
(Getty Images)


කිම් ජොං හොද කොල්ලෙක් කියලා හිතුනොත් ඇමෙරිකාවටත් එන්න කියනවා ; ට්‍රම්ප් කියයි...

ට්‍රම්ප්ගේ හිත වෙඩරු මෙන් උණු වෙයි...


සිංගප්පූරුවේදී ලබන 12වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකා-උතුරු ‍ කොරියා රාජ්‍ය නායක සාකච්ඡා සාර්ථකත්වයට පත්වුවහොත් උතුරු කොරියානු නායක කිම් ජොං අන්ට තම නිල කාර්යාලය වන ධවල මන්දිරයට ආරාධනා කිරීම පිළිබදව සලකා බලන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේදී ඊයේ (07) දිනයේ ජපන් අගමැති ෂින්සෝ අ‍බේ හමු වූ අවස්ථාවේ මෙසේ සදහන් කර ඇති බව බී.බී.සී. වෙබ් අඩවිය මේ පිළිබද තවදුරටත් සදහන් කරයි. 

කොරියා නෝක්කාඩුව අවසන් කිරීමට ගිවිසුමක්...?


උතුරු ‍කොරියාව සහ දකුණු කොරියාව අතර පවතින නෝක්කාඩුව අවසන් කර දෙරට අතර සාමකාමී තත්ත්වයක් ඇති කිරීම සදහා ගිවිසුමක් අත්සන් කිරීමට ද ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර මේ ආකාරයේ සාකච්ඡාවන් පැවැත්වීම වැදගත් බව ඇමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රවෘත්ති වාර්තාකරුවන්ට කියා තිබෙනවා. 

එක සාකච්ඡා වටයකින් ඔක්කොම කරන්න බෑ ; ට්‍රම්ප් කියයි...


ඇමෙරිකාවේ මෙන් ම උතුරු කොරියාවට සමීප අනෙකුත් රාජ්‍යයන්ගේ ප්‍රධාන අවශ්‍යතාවක් වන උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණය සදහා උතුරු කොරියාව සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට සිදුවනු ඇති බව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් සදහන්කර තිබේ.

උතුරු කොරියාව ඇමෙරිකාවේ දැක්මට කැමති වේ ද? නැති ද?


කෙසේ නමුත් ‍ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම අදහස් දැක්වීමෙන් අනතුරුව තවදුරටත් අදහස් දැක් වු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සදහන් කළේ උතුරු කොරියානු නායකයා න්‍යෂ්ටික අවිහරණය සදහා කැමති බව තමාට පෞද්ගලිකව ම හගවා ඇති බව ය. එයින් උතුරු කොරියාව ඇමෙරිකාවේ දැක්මට කැමති වන බවක් හැ‍ගවේ ද නැති ද යන්න ගැන තමාට අදහසක් නැති බව ද එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මෙහිදී තවදුරටත් සදහන් කර තිබේ.

දැන් උතුරු කොරියාව පීඩාවට පත් කිරීමෙන් වැඩක් වෙන්නේ නැතිලු...


උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයාට මුලින් තිබූ සැලැස්ම වූයේ උතුරු කොරියාවට දැඩි පීඩනයක් එල්ල කර උතුරු කොරියාවේ රැඩිකල් ගමන නැවැත්වීම ය. එහෙත් උතුරු කොරියාව රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලදී අද වන විට මිත්‍රශීලි ස්වභාවයක් අනුගමනය කිරීම හේතුවෙන් තවදුරටත් උතුරු කොරියාවට පීඩනකාරී බලපෑම් එල්ල කිරීම අවශ්‍ය නොවනු ඇති බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මතය වී තිබේ. 

කිම් ජොං‍ගේ ඇමෙරිකානු මිතුරාට සාකච්ඡාවලට ආරාධනා කර නැහැ...


එමෙන් ම උතුරු කොරියාවේ කිහිප වරක් ම සංචාරය කර තිබෙන සහ උතුරු කොරියානු නායකයාගේ හොද මිතුරෙක් වන ඇමෙරිකානු බාස්කට්බෝල් ක්‍රීඩකයෙකු වන ඩෙනිස් රොඩ්මන්ට සිංගප්පූරුවේ පැවැත්වෙන ඇමෙරිකා-උතුරු කොරියා සාකච්ඡා වටයන්ට ආරාධනා කර නොමැති බවත් එක්සත් ජනපද රජය මේ අතර ම සදහන් කරනවා.

(මූලාශ්‍රය - BBC)

Thursday, June 7, 2018

එක්සත් රාජධානියේ සහ මහා බ්‍රිතාන්‍යයේ වෙනස - 01

මහා බ්‍රිතාන්‍යය සහ එක්සත් රාජධානිය යන කොටස් දෙක නිරන්තරයෙන් ම පැටලෙන පාලන ඒකකයන් වේ. එහිදී මහා බ්‍රිතාන්‍යය ලෙස හදුන්වන්නේ එංගලන්තය ද, නැතිනම් මහා බ්‍රිතාන්‍යය යනු එක්සත් රාජධානිය හදුන්වන තවත් නමක් ද යනාදී ගැටලු ඇති වේ. මෙකී පාලන ඒකකයන්හි වෙනස මෙසේ පැහැදිලි කළ හැකි ය. 


"බ්‍රිතාන්‍ය දූපත්" ඇසුරින් නිර්මාණය කරගෙන ඇති පාලන ඒකකවල වෙනස

මහා බ්‍රිතාන්‍යය යනු යුරෝපා ප්‍රධාන භූමියෙන් (යුරෝපා මහද්වීපයෙන්) වෙන් වී දිවයිනක් ලෙස පවත්නා එංගලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය යන ඒකක තුනෙන් සමන්විත දූපත් ප්‍රදේශයයි. මහා බ්‍රිතාන්‍යය සහිත දිවයිනේ උතුරු කොටසේ ස්කොට්ලන්තය ද, දකුණු කොටසේ එංගලන්තය ද, බස්නාහිර කොටසේ වේල්සය ද, පිහිටා තිබේ. 

"මහා බ්‍රිතාන්‍යය" නමින් හදුන්වන පාලන ඒකකය

එක්සත් රාජධානිය සමන්විත වී ඇත්තේ මහා බ්‍රිතාන්‍යයෙන් සහ උතුරු අයර්ලන්තය යන කොටස්වලිනි. එනම් එංගලන්තය+ස්කොට්ලන්තය+වේල්සය (මහා බ්‍රිතාන්‍යය) සහ උතුරු අයර්ලන්තය යන කොටස්වලිනි.
මහා බ්‍රිතාන්‍යයෙන් වෙන්වී ස්වයං පාලනයක් ගෙන යන අයර්ලන්ත දූපතේ උතුරු කොටස උතුරු අයර්ලන්තයයි. උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියට අයත් වුව ද, අයර්ලන්තය එක්සත් රාජධානියට අයත් වන්නේ නැත. උතුරු අයර්ලන්ත කොටසට යටින් ඇත්තේ ස්වයං පාලනයක් භුක්ති විදින අයර්ලන්තයයි.

"එක්සත් රාජධානිය" නමින් හදුන්වන පාලන ඒකකය

(මූලාශ්‍රය - Wikipedia)

උතුරු අයර්ලන්තය තුළ ගබ්සාව තවදුරටත් තහනම්...

ගබ්සාව ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්...


උතුරු අයර්ලන්තය තුළ ගබ්සාව නීතිගත කරන ලෙස අභියාචනා කරමින් උතුරු අයර්ලන්ත මානව හිමිකම් කොමිෂන් සභාව එස්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය අද (07) ප්‍රතික්ෂේප විය.

නීතිය යල් පැන ඇති බව විනිසුරුවරු පවසති...


කෙසේ වුව ද ලිංගික අපරාධ හෝ  ගර්භිණීභාවය හේතුවෙන් මවගේ අසාමාන්‍ය මානසික හැසිරීම් ඇතිවන අවස්ථාවලදී එරට කාන්තාවකට ගබ්සාවක් කිරීමට නොහැකි වීම එරට පවතින නීතියේ දැඩි දුර්වලතාවක් වන බව ද මෙම නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරුවරුන් පිරිසක් අදහස් දක්වමින් කියා සිටියහ.

උතුරු අයර්ලන්තයට පමණක් වෙනස්කමක්...


එක්සත් රාජධානිය 1967දී ගෙන ආ ගබ්සා පනත මගින් උතුරු අයර්ලන්තය හැර රාජධානියේ අනෙක් කොටස්වල වෙසෙන කාන්තාවන්ට ගබ්සාවක් කිරීමේ අයිතිය ලබා දුන්නේ ය. පනතේ එකී නෛතික හිමිකම උතුරු අයර්ලන්තයට අහිමි විය.

උතුරු අයර්ලන්ත නීතියට අනුව ගබ්සා කළ හැකි අවස්ථා...


උතුරු අයර්ලන්තයේ දැනට පවතින නීතිය අනුව ගර්භිණී කාන්තාවකට ගබ්සා කිරීමේ අයිතියක් හිමි වන්නේ ඇයගේ ජිවිතයට අවදානමක් ඇති වන බව හෝ අැයගේ ශාරීරික/මානසික සෞඛ්‍යයට සදාකාලික හෝ බරපතළ අවදානමක් ඇති වේ යැයි වෛද්‍ය නිර්දේශයක් ඇත්නම් පමණි.

අයර්ලන්තයට ගබ්සාව කළ හැකි වන විට උතුරු අයර්ලන්තයට ගබ්සාව කළ නොහැකි වෙයි... 


මහා බ්‍රිතාන්‍යයෙන් වෙන්වී සිටින අයර්ලන්තය පසුගිය මස 25 වැනිදා (මැයි 25)  එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 36වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ගබ්සාව නීතිගත කිරීමට කටයුතු කළේ ය. එහෙත් මහා බ්‍රිතාන්‍යයට අයත් කොටසක් වන උතුරු අයර්ලන්තයේ කාන්තාවන්ට ගබ්සා කිරීම තවදුරටත් තහනම් ක්‍රියාවකි.

අයර්ලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ වෙනස මොකක් ද?


අයර්ලන්තය යනු වෙන ම රාජ්‍යයක් වන අතර උතුරු අයර්ලන්තය යනු එක්සත් රාජධානියට අයත් පාලන ඒකකයකි. අයර්ලන්ත දූපතේ ඉහළ කොටසේ උතුරු අයර්ලන්තය පිහිටා තිබුණ ද, උතුරු අයර්ලන්තයේ පාලන බලය හිමි වී ඇත්තේ එක්සත් රාජධානියට මිස අයර්ලන්ත රජයට නොවේ. මේ අනුව අයර්ලන්තය වෙන ම පාලන ඒකකයක් බවත්, උතුරු අයර්ලන්තය යනු එක්සත් රාජධානියට යටත් පාලන ඒකකයක් වන බවත් වටහා ගත යුතු ය.

(මූලාශ්‍රය - BBC)

Wednesday, June 6, 2018

ස්මාර්ට් ෆෝන් ඔබමින් යන්නට චීනයෙන් වෙන ම මංතීරුවක්...

උතුරුදිග චීනයේ නගරයක් වන "ෂියෑන්" හි සුහුරු දුරකථන (ස්මාර්ට් ෆෝන්) භාවිත කරමින් මාර්ගයේ ගමන් ගන්නා පදිකයන්ට මාර්ගයේ ගමන් කිරීමට වෙන ම පදික තීරුවක් හදුන්වා දුන් බව චීනයේ "ෂාන්ක්ෂි" ඔන්ලයින් පුවත් සේවය වාර්තා කරනවා. උතුරු දිග චීනයේ ෂියෑන් නගරයේ "යන්ටා" නමින් හදුන්වන මාර්ගයට මෙවැනි තීරුවක් හදුන්වා දී තිබෙනවා. විශේෂයෙන් සුහුරු දුරකථන භාවිත කරමින් එයට ම සමවැදී තමා අවට සිදුවන කිසිදෙයක් නොසලකා හා නොදනිමින් සෙමින් ගමන් ගන්නා පදිකයන්ට මෙම පදික තීරුව හදුන්වා දී ඇති බව චීනයේ මාධ්‍ය උපුටා දක්වන බී.බී.සී. පුවත් සේවය සදහන් කරනවා.
  


ස්මාර්ට් ෆෝන් භාවිත කරමින් මාර්ගයේ ගමන් ගන්නා පදිකයන්ට වෙන් කර තිබෙන මෙම ගමන් තීරුව රතු, කොළ සහ නිල් වර්ණවලින් වර්ණ ගැන්වීමටත් අදාළ තීරුවේ ස්මාර්ට් දුරකථනවල රූපය දිගට ම චිත්‍ර ගන්වා තැබීමටත් නියමිතයි. සෙන්ටිමීටර 80ක් පළල සහ මීටර් 100ක් දිගින් යුතුව මෙම ගමන් තීරුව සකස් කර තිබෙන බවත් චීන මාධ්‍ය වාර්තා කරනවා. 

(මූලාශ්‍රය - BBC)

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොං අන් දූපතක මුණ ගැහෙන්න තීන්දු කරයි...

බොහෝ දෙනා බලාපොරොත්තු දල්වාගෙන සි‍ටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් අතර පැවැත්වෙන හමුව පවත්වන්නේ කුමන ස්ථානයකදැයි ඇමෙරිකාවේ ධවල මන්දිරය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ධවල මන්දිරය සදහන් කරන ආකාරයට දෙරටේ නායකයන් දෙදෙනා ජූනි 12වැනිදා සිංගප්පූරුවේ සෙන්තෝසා දිවයිනේදී ද්විපාර්ශවික සාකච්ඡා සදහා නිල වශයෙන් හමුවෙති‍. ධවල මන්දිර මාධ්‍ය ලේකම් සාරා සැන්ඩර්ස් සදහන් කරන ආකාරයට නායකයන් දෙදෙනා සිංගප්පූරුවේ සෙන්තෝසා දිවයිනේ පිහිටි කැපෙලා හෝටලයේදී හමුවීමට නියමිත ය. කෙසේ නමුත් මොවුන් දෙදෙනාගේ හමුවීම සිදුවීමට නියමිත සෙන්තෝසා දිවයින ආශ්‍රිත ප්‍රදේශය විශේෂ කලාපයක් ලෙස නම් කිරීමට සිංගප්පූරු රජය දැනටමත් කටයුතු කර ඇති බව විදේශ මාධ්‍ය තවදුරටත් වාර්තා කරනවා.

බොහෝ තොරතුරු අවිනිශ්චිතයි...


ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායකයන් දෙදෙනා අතර පැවැත්වීමට නියමිත ද්විපාර්ශවික සාකච්ඡා සම්බන්ධයෙන් බොහෝ තොරතුරු සහ සැලසුම් තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින අතර ධවල මන්දිරය පාර්ශවයෙන් මෙම සාකච්ඡා සම්බන්ධයෙන් තොරතුරු ලැබීම සීමාසහිත තත්ත්වයක පවතී.

සාකච්ඡාව ඉතිහාසගත වීමට හේතුව මේකයි...


ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු ‍කොරියානු ජනාධිපතිවරයා අතර පැවැත්වෙන මෙම සාකච්ඡා වටය ඉතිහාසගත සාකච්ඡාවක් වීමට ප්‍රධාන හේතුව වන්නේ ජනාධිපති ධුරයේ සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු සහ උතුරු කොරියානු නායකයෙකු අතර මෙසේ මුහුණට මුහුණ ද්විපාර්ශවික සාකච්ඡාවක් සිදුවන්නේ ඉතිහාසයේ පළමු වරට වීම ය.

ට්‍රම්ප් සාකච්ඡාවට ගොඩක් කැමති බව කියයි...


ඉදිරි දින දෙකකදී පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡා වටය සම්බන්ධයෙන් ඊයේ (06) දිනයේ අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කළේ "මෙය ඉතා වැදගත් අවස්ථාවක් සහ සාකච්ඡා පැවැත්වෙන දින දෙකත් ඉතා විශේෂ අවස්ථාවක්. මේ සාකච්ඡාවලදී බොහෝ සබදතා ගොඩනගා ගැනිමට නියමිතව තිබෙනවා වගේ ම සාකච්ඡාවට සහභාගි වීම සදහා සිංගප්පූරුවට යෑමට පෙර සමහර කේවල් කිරීම් ගැන එකගතාවකට පැමිණිය යුතුව තිබෙනවා. කොහොම වුණත් ඉදිරි කාලයේදී දෙපාර්ශවය අතර ඉතා හොද සම්බන්ධතාවක් පවත්වා ගැනීම මේ සාකච්ඡාවල අරමුණයි" යනුවෙනි.

නායකයන් දෙදෙනා හෝටල් දෙකක නවතින බව ආරංචි වෙයි...


පුවත්පත් වාර්තා උපුටා දක්වන බී.බී.සී. වෙබ් අඩවිය සදහන් කරන්නේ සාකච්ඡාවලට පෙර සහ පසු නායකයන් දෙදෙනා හෝටල් දෙකක නවාතැන් ගැනිමට බොහෝ දුරට ඉඩ ඇති බව ය. ඇමෙරිකානු ජනාධිපතිවරයා නවාතැන් ගැනීමට වැඩි කැමැත්තක් දක්වා අැත්තේ සිංගප්පූරුවේ ෂැන්ග්‍රි-ලා හෝටල‍යේ වන අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා කලින් අදාළ හෝටලයේ නවාතැන් ගතහොත්, උතුරු කොරියානු නායකයාට නවාතැන් ගැනීමට සිදුවනු ඇත්තේ ‍සිංගප්පූරුවේ St. Regis හෝටලයේ බව මෙකී පුවත්පත් වාර්තා සදහන් කරනවා.

සෙන්තෝසා දිවයින වැදගත් වෙන්නේ ඇයි...?


සිංගප්පූරුව නිර්මාණය වී ඇත්තේ දූපත් 63කින් වන අතර සෙන්තෝසා දිවයින ද ඉන් එක් දිවයිනකි. සෙන්තෝසා දිවයින සිංගප්පූරුවේ ප්‍රධාන දිවයිනට ඉතා ආසන්නයෙන් පිහිටි දූපත වන අතර ම, සුඛෝපභෝගී හෝටල් සමග ම සැලකිය පහසුකම් ඇති දූපතකි. එයට ප්‍රධාන හේතුව වන්නේ ලෝක සංචාරක අවධානය දිනාගෙන ඇති සිංගප්පූරුවේ ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස සෙන්තෝසා දිවයින සංචාරක ආකර්ෂණය දිනා ගැනීම ය. තව ද සෙන්තෝසා දිවයිනට කේබල් කාර් ඇතුඵ ප්‍රවාහන මාධ්‍ය ගණනාවක් යොදා ගනිමින් පැමිණිය හැකි වීම ද තවත් විශේෂත්වයක් වේ‍.

අදුරු ඉතිහාසයක් ඇති දිවයිනක්...


සෙන්තෝසා දිවයිනේ ඉතිහාසය සලකා බලන විට මෙහි ඉතිහාසය ඉතා සුන්දර නොවන භීතියක් පැතුරුණු දිවයිනක් බව පැහැදිලි වේ. සෙන්තෝසා දිවයින කලක් භයානක මුහුදු කොල්ලකරුවන්ට වාසස්ථානයක් වීම, දෙවැනි ලෝක යුද්ධ සමයේදී සමූල ඝාතන සිදු වූ දිවයිනක් වීම සහ භයානක හදිසි අනතුරු සිදු වූ දූපතක් වීම යනාදිය හේතුවෙන් ද අදුරු ඉතිහාසයකට හිමිකම් කියයි. මෙකී අදුරු ඉතිහාසයක් ඇති දූපතක් ම ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර සාකච්ඡා පැවැත්විමට යොදා ගැනීම සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර මාධ්‍ය කිසියම් දැඩි උනන්දුවක් දක්වමින් වාර්තා කරයි. 

(මූලාශ්‍රය - BBC)

Monday, June 4, 2018

ජෝර්දානයේ අගමැතිත් ගෙදර යයි...

ජෝර්දානයේ අගමැති හනී අල් මුල්කිගේ ඉල්ලා අස්වීම පිළිගැනීමට එරට රජු වන දෙවැනි අබ්දුල්ලා රජු කටයුතු කළ බව එරට රාජකීය මන්දිරය සදහන් කරයි. ජෝර්දානයේ රජු සමග අද (04) දිනයේ පැවති හමුවීමකදී එරට අගමැතිවරයා තම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඉල්ලා අස්වීමට ජනතා උද්ඝෝෂණත් හේතුවක් වෙයි...


ජෝර්දානයේ ආදායම් බදු ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත් එරට ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කර තිබෙන සහ එරට පවතින භාණ්ඩ මිල ඉහළදැමීම පවතින අවස්ථාවක ඔහු මෙලෙස ඉල්ලා අස්වී තිබේ. එරට පාලනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව දැනට එරට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහි විරෝධතාවන් සමනය කිරීමේ අරමුණින් මෙම ඉල්ලා අස්වීම සිදු වී තිබේ. ජෝර්දානයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පසුගිය දින හතරේ ම එරට අගනුවර වන අම්මාන් නුවර සහ ප්‍රධාන නගර ගණනාවක ම විරෝධතා පැවැත්විණි.

ආදායම් බද්ද තවත් සියයට පහකින් නග්ගන්න හදයි...


දැනට එරටට යෝජිත ආදායම් බදු ප්‍රතිසංස්කරණ යටතේ ආදායම් බද්ද අවම වශයෙන් තවත් සියයට පහකින් (5%) ඉහළ නැංවීමට යෝජිතව පැවතිණි. අගමැතිවරයා ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිංස්කරණ සම්බන්ධ පනත් කෙටුම්පත් ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැති මුල්කි තනතුරෙන් ඉවත් කරන ලෙසත් කියමින් ජෝර්දානයේ නොසන්සුන්කාරී තත්ත්වයට සම්බන්ධ විරෝධතාකරුවෝ විරෝධතා පවත්වමින් සිටියහ.
ජෝර්දානයේ අගමැති හනී අල් මුල්කි අගමැති ධුරයට පත් වූයේ 2016 වර්ෂයේ වන අතර ඒ වන විට ඔහුට මුහුණ දීමට තිබූ ප්‍රධාන ප්‍රශ්නය වූයේ කලාපීය ගැටුම්කාරී තත්ත්වය සහ සරණාගත ප්‍රශ්නය සමග ජෝර්දානයේ ආර්ථික තත්ත්වය ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම ය.


නව අගමැතිවරයා ගැන ඉගි පහළ වෙයි...


හනී අල් මුල්කිගේ ඉල්ලා අස්වීමත් සමග නව ආණ්ඩුවක් පිහිටුවීමේ කටයුත්ත භාර ගන්නේ දැයි ඕමාර් අල් රාසාස්ගෙන් එරට රජු වන දෙවැනි අබ්දුල්ලා රජු විමසා තිබේ. ඕමාර් අල් රාසාස් ලෝක බැංකුවේ හිටපු ආර්ථික විද්‍යාඥයෙකු වන අතර ම ජෝර්දානයේ ජනතාවගේ ප්‍රසාදය දිනාගත් චරිතයක් ද වන්නේ ය. කෙසේ වුව ද ඕමාර් අල් රාසාස් පත් කිරීම පිළිබදව ද විවිධ පාර්ශවයන්ගේ විවේචන තිබෙනවා මෙන් ම, නව අගමැතිවරයෙකු පත්කිරීම පිළිබදව අදහස් දක්වන විවිධ පාර්ශව සදහන් කරන්නේ මෙය හුදෙක් මුහුණු මාරු කිරීමක් පමණක් වන බව ය.

ජෝර්දානයේ තියෙන්නේ මොන වගේ ප්‍රශ්න ද?


ජෝර්දානය දීර්ඝකාලයක් තිස්සේ විවිධ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ පා සිටින රටක් වන අතර බොහෝ දුරට විදෙස් ආධාර මත විශ්වාසය තබා ආර්ථිකය පවත්වාගෙන යයි. එරට ජනතාව ද ආණ්ඩුවෙන් ආහාර සහනාධාර ඉල්ලා සිටින අතර විකුණුම් බදු අය කිරීම ප්‍රතික්ෂේප කරති. නිවාස සැපයීම, ආරක්ෂාව සහ අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය සේවාවලට වියදම් වෙන් කිරීම සහ රැකියා සැපයීම වැනි කටයුතු කිරීම හේතුවෙන් ජෝර්දානයට තම ආර්ථික තත්ත්වය ප්‍රශස්ත ලෙස පවත්වා ගැනීමේ අපහසුතාවක් තවදුරටත් මතු වන බව මෙය පිළිබදව අදහස් දක්වන එරට විශ්ලේෂකයෝ සදහන් කරති. එරට ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස එරට ණය ප්‍රමාණය තරමක් අඩු වී ඇති අතර, එයට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 95ක මට්ටමක් ලෙස තවදුරටත් පවතී. එරට ආණ්ඩුව ජනතාවගේ එදිනෙදා භාවිත කරන භාණ්ඩවල මිල ඉහළ දැමීම එරට නොසන්සුන්තාවන්ට ප්‍රධාන හේතුවක් වී තිබිණි.


ජෝර්දානයේ තෙල් මිල මාස හයට පස් පාරක් වැඩි කරලා...


ජෝර්දානය එරට ඉන්ධන මිල මේ වසර (2018) තුළ පමණක් පස් වාරයක් ඉහළ නංවා ඇති අතර එරට විදුලි බිල ද ඉහළ ගොස් තිබේ. "ද ඉකොනොමිස්ට්" (The Economist) සගරාව ප්‍රකාශ කරන ආකාරයට වියදම් අධික ම අරාබි නගරය වන්නේ ජෝර්දානයේ අගනුවර වන අම්මාන් නුවරයි.

(මූලාශ්‍රය - Al Jazeera)


ඔස්ට්‍රේලියාවේ බැංකුවක් එරට වැඩි ම දඩය ගෙවීමට සූදානම් වෙයි...

ඔස්ට්‍රේලියාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධ එරට නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 53ක දඩයක් (ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් කෝටි 7950කට වැඩි මුදලක්) ගෙවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම බැංකුව සදහන් කරයි.

කිසිදු සිද්ධියක් ගණන් නොගැනීමේ ප්‍රතිඵල


මෙකී සිද්ධියට සම්බන්ධ පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුවේ ගනුදෙනු අතර සැකසහිත ගනුදෙනු 53,000ක් පමණ තිබුණ ද එකී බැංකුව එය සම්බන්ධයෙන් එරට වගකිව යුතු අධිකාරීන්ට දැනුම් දීමෙන් ද වැළකී හිද තිබේ.
ඔස්ට්‍රේලියාවේ මූල්‍ය බුද්ධි ඒජන්සිය ඉකුත් වසරේදී ද පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව මූල්‍යමය පාර්ශවයෙන් කර තිබෙන නීති උල්ලංඝනයන් පිළිබදව දැනුවත් කර තිබේ.

සිවිල් නඩුවක් සම්බන්ධ විශාල ම දඩය මෙයයි...


කෙසේ වුව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව වැරදිකරු යැයි එරට අධිකරණය තීරණය කළහොත් පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුවට ඉහත සදහන් කරන ලද රුපියල් කෝටි 7950කට වැඩි වටිනාකමකින් යුත් දඩය ගෙවීමට සිදු වන බව බී.බී.සී. මාධ්‍ය ජාලය වාර්තා කරන අතර අදාළ බැංකුවට මෙම දඩය ගෙවීමට සිදුවුවහොත් එය ඔස්ට්‍රේලියානු සංස්ථාපිත ආයතන ඉතිහාසය තුළ සිවිල් නඩුවක් සම්බන්ධයෙන් ගෙවීමට සිදු වූ ඉහළ ම දඩය වන බව ද බී.බී.සී. වෙබ් අඩවිය තවදුරටත් සදහන් කරයි. 

බැංකුව වැරදි බව බැංකුව ම කියයි...


මෙය සම්බන්ධයෙන් අද (04) දිනයේ ප්‍රකාශයක් කළ පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා සදහන් කළේ "බැංකුව සිතා මතා මෙවැනි කටයුත්තක් නොකළ ද, බැංකුව අතින් ද වරදක් සිදුවී ඇති බව තමන් ද පිළිගන්නා" බව ය. 

හදුනාගත නොහැකි තැන්පතුවල ප්‍රශ්නය


මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනාවන්ට ලක් වී සිටින ඔස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලීය බැංකුවට මෙකී කලු සල්ලි සම්බන්ධ සිද්ධියේදී වැඩි වශයෙන් ම චෝදනා එල්ල වන්නේ අදාළ බැංකුවේ මුදල් තැන්පතු යන්ත්‍රය මාර්ගයෙන් බැංකුවේ ගිණුම් හිමියෙකු නොවන පුද්ගලයන් විවිධ අවස්ථාවලදී බැංකුවට මුදල් තැන්පත් කිරීම සම්බන්ධ සිද්ධීන් හේතුවෙනි. එලෙස විවිධ අවස්ථාවලදී ඔස්ට්‍රේලියානු ඩොලර් 20,000කට වැඩි මුදල් ප්‍රමාණයන් විවිධ අවස්ථාවලදී මුදල් තැන්පතු යන්ත්‍රය මාර්ගයෙන් බැංකුවට තැන්පත් කිරීමේ සිද්ධි ගණනාවක් මෙලෙස වාර්තා වී තිබේ. එවැනි සිද්ධීන්වලදී බැංකුව ද අදාළ රජයේ මූල්‍ය අධිකාරී හෝ නියාමන ආයතනවලට දැනුම් දී අදාළ සිද්ධි පිළිබදව විමර්ශනයකට නොයෑම මෙකී සිද්ධිය දික්ගැසීමට ප්‍රධාන හේතුව ලෙස වාර්තා වේ. මෙය සම්බන්ධයෙන් අදහස් දක්වන පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව සදහන් කරන්නේ මුදල් තැන්පතු යන්ත්‍රයේ කේතකරණ දෝෂයක් හේතුවෙන් මෙකී ගනුදෙනු සම්බන්ධයෙන් වාර්තා කිරීමට අදාළ යන්ත්‍ර ද අපොහොසත් වී ඇති බව ය. 

ගොඩින් බේරා ගැනීමට ඉඩ නොදීම


ගනුදෙනු සහ විශ්ලේෂණ වාර්තා පිළිබද ඔස්ට්‍රේලියානු මධ්‍යස්ථානය (Austrac) මේ පිළිබදව තවදුරටත් සදහන් කරන්නේ මෙකී සිද්ධිය සම්බන්ධයෙන් ගොඩින් බේරාගැනීමට එකගතා ගිවිසුම් අත්සන් කිරීම යනු මෙවැනි කටයුතු සිදුවීම තවදුරටත් ගණන් නොගෙන සිටින බව සිතා මතා පෙන්නුම් කිරීමක් බව ය. එහෙයින් එකගතා ගිවිසුමකින් මෙය ගොඩින් බේරා ගැනීම වෙනුවට රජයේ පාර්ශවය සහ බැංකුවේ පාර්ශවය යන දෙපාර්ශවය ම දැන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය මෙය සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ලබාදෙන තෙක් බලා සිටිති. 

පුරුද්දට ගිය වැරදි


පසුගිය දශකයක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් මෙවැනි චෝදනා ගණනාවක් එල්ල වී තිබේ. මෙයට ආසන්නත ම සිදුවීම වන්නේ ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් ඉකුත් දෙසැම්බර් මාසයේදී මූල්‍ය ආයතන මුදල් විශුද්ධිකරණය කිරීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සදහා රාජකීය කොමිසමක් පත්කිරීම ය.
කෙසේ වුව ද ඔස්ට්‍රේලියාවේ මූල්‍ය ආයතන නියාමනය කිරීමේ අධිකාරී ආයතන එරට පොදුරාජ්‍ය මණ්ඩලීය  බැංකුවේ මුදල් විශුද්ධිකරණ කටයුතු සම්බන්ධයෙන් හෙළි කිරීම, එය සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම සහ එය අධිකරණ ක්‍රියාවලියට යොමු කිරීමත් සමග එරට පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව ද ඉතා අපකීර්තිමත් තත්ත්වයකට පත්ව සිටින බව තවදුරටත් වාර්තා වේ.

(මූලාශ්‍රය - BBC)