Monday, January 8, 2018

ඉරානයේ පාසල් තුළ ඉංග්‍රීසි ඉගැන්වීම තහනම් කරයි...

ඉංග්‍රීසි තහනමේ පසුබිම


ඉරාන රජය එරට ප්‍රාථමික පාසල්වල ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම තහනම් කර තිබේ. ඉරානයේ ඇති වූ නොසන්සුන්කාරී හා ගැටුම්කාරී තත්ත්වයෙන් සතියකට පසු ඉරාන රජය මේ තීරණය ගෙන තිබේ. පසුගිය සතියේදී ඉරානය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූයේ එරට ආර්ථික පීඩනය පදනම් කරගනිමිනි. එකී විරෝධතාවේදී විරෝධතාකරුවෝ ඉරානයේ පවතින මූලධර්මවාදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ක්‍රියාකලාපයන්ට විරෝධය දැක්වූහ. එය සම්බන්ධයෙන් ඉරානයේ අාධ්‍යාත්මික නායක අයතොල්ලාහ් අලි කමෙනෙයි සදහන් කළේ ඉරානය තුළ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය විදේශ මැදිහත්වීමක ප්‍රතිඵලයක් බව ය. 


ඉංග්‍රීසිවලින් සංස්කෘතික ආක්‍රමණයක්...?


ඉරානයේ ප්‍රාථමික පාසල්වල ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම තහනම් කිරීම පිළිබදව ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතොල්ලාහ් කමෙනෙයි සදහන් කරන්නේ බටහිර රටවල් ඉංග්‍රීසි භාෂාව යොදාගෙන සංස්කෘතික ආක්‍රමණයක් කරමින් සිටින බව ය. ඉරානයේ අධ්‍යාපනය සම්බන්ධ ඉහළ පරිපාලනය මේ තහනම පිළිබදව අද දිනයේදී (2018.01.08) නිවේදනයක් නිකුත් කරමින්  නිල වශයෙන් සදහන් කර තිබේ.

ඉරානයේ උසස් අධ්‍යාපන කවුන්සිලයේ ප්‍රධානි මෙහ්ඩි නවිඩ් අදම් එරට ජාතික ගුවන්විදුලිය වන අයි.ආර්.අයි.බී. (IRIB) සමග එක්වෙමින් මේ පිළිබදව සදහන් කළේ බටහිර රටවල් ඉරානයට එල්ල කළ හැකි සංස්කෘතික ආක්‍රමණයක් සදහා ඉංග්‍රීසි භාෂාව යොදාගත හැකි බව ය. ඔහු රොයිටර් පුවත් සේවාවට මේ පිළිබදව පවසා ඇත්තේ "රජයේ ප්‍රාථමික පාසල්වල සහ රජයේ නොවන ප්‍රාථමික පාසල්වල ඉංග්‍රීසි ඉගැන්වීම ඉරාන නීතියට හා රෙගුලාසිවලට පටහැනි" බව ය. 

ඉරාන සංස්කෘතියේ පදනම ප්‍රාථමික පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනයෙන් නිර්මාණය වන හෙයින් මෙම තහනම ප්‍රාථමික පාසල් සදහා පනවා තිබේ. 


තහනම අලුත් දෙයක් නෙවෙයි - ඉරාන අධ්‍යාපන අමාත්‍යාංශය


ඉරාන රජය එරට ප්‍රාථමික පාසල්වල ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම තහනම් කර ඇති බව එරට අධ්‍යාපන අමාත්‍යාංශය ද මේ වනවිට තහවුරු කර තිබේ. එරට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල ප්‍රකාශකයා එය පිළිබදව ප්‍රකාශ කරන්නේ "ඉරාන රජයේ මේ තහනම අලුත් දෙයක් නෙවෙයි. අනුමත ජාතික ප්‍රතිපත්තියට අනුව ඉරානයේ පාසල්වල 7වැනි ශ්‍රේණියට පැමිණෙන තුරු  හෝ උසස් පාසලේ පළමු ශ්‍රේණියට පැමිණෙන තුරු දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්නේ නැහැ" යනුවෙනි.

මෙයත් සමග ඉරානයේ පෞද්ගලික පාසල් තම පාසල්වල ඉගෙනුම ලබන තරුණ සිසුන්ට පමණක් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට කටයුතු යෙදිය හැකි බව ද තවදුරටත් කියවෙනවා. 

(මූලාශ්‍රය - Deutsche Welle)

Saturday, January 6, 2018

පොඩි ළමයි රෑට නිදාගන්න වෙලාවත් රටින් රටට වෙනස් වෙලා...

ළදරුවන් රාත්‍රියට නිදාගන්නා වේලාවේ වෙනස්කම්


ලෝකයේ වයස අවුරුදු 3ක් දක්වා වන සියලු ළදරුවන් රාත්‍රියට නිදාගන්නා වේලාවන් රටෙන් රටට සහ මහද්වීපයෙන් මහද්වීපයට වෙනස් වන බව පර්යේෂණයකින් හෙළි වී තිබේ.  උපතේ සිට වයස අවුරුදු 3ක් දක්වා වන දරුවන් රාත්‍රියට නිදාගන්නා වේලාව ළදරුවන් ජීවත්වන රට, ප්‍රදේශය හෝ කලාපය අනුව වෙනස් වන බව මෙය පිළිබද පර්යේෂණයේ යෙදුනු සායනික කායික විද්‍යාඥවරියක වන ජෝඩි මින්ඩෙල් සදහන් කරනවා. ඇය කළ පර්යේෂණයෙන් ලැබුණු අවසාන නිගමන පරීක්ෂා කිරීමේදී දරුවන් රාත්‍රියට නිදාගන්නා වේලාව රටින් රටට වෙනස් වීම සම්බන්ධයෙන් ඇය ඉතා පුදුමයට පත් වී සිටිනවා. 


දරුවන් නිදාගන්නා වේලාව රටින් රටට වෙනස්වේ 


ජෝඩි මින්ඩෙල් කියන ආකාරයට ඇය මේ පර්යේෂණය ආරම්භ කරන විට සිතා ඇත්තේ ලෝකයේ රටවල ලෝකයේ ළදරුවන් රාත්‍රියට නිදාගන්නා වේලාවන් අතර  පරතරය විනාඩි 10ක් හෝ 15ක් වෙයි කියලායි. ඇය එහෙම හිතුවත් එ්ක එහෙම වෙලා නැහැ. ඒත් ඇයගේ පර්යේෂණය අවසානයේදී ඇයට ලැබුණු නිගමනවලට අනුව ලෝකයේ රටවල ළදරුවන් නිදාගන්නා වේලාව අතර පරතරය පැය දෙකහමාරකට (2  1/2) වඩා වැඩි අගයක් ගෙන තියෙනවා. ඇය පුදුම වී තියෙන්නේ මේ ප්‍රතිඵල නිසායි. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් දෙකත්, හොංකොං සහ කොරියාව යන රටවල් දෙකත් සංසන්දනය කළා ම මේ වෙනස හොදට තේරුම්ගත හැකියි කියලා ඇය කියනවා. 


තොරතුරු රැස් කළ ආකාරය සහ රැස් කළ රටවල්


මේ පර්යේෂණය සදහා අවශ්‍ය දත්ත ලබා ගැනීමට ජෝඩි මින්ඩෙල් රටවල් ගණනාවක ජීවත්වන ළදරුවන්ගේ මව්පියන් සමග සාකච්ඡා කර තිබෙනවා. ඇය සහ ඇයගේ පර්යේෂණ කණ්ඩායම චීනය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, කොරියාව, ජපානය, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය, වියට්නාමය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව යන රටවලින් මේ සදහා දත්ත රැස්කර තිබෙනවා. මෙයට අදාළ ප්‍රශ්නාවලිවලට (සමීක්ෂණ පත්‍රිකා, සාකච්ඡා) අවශ්‍ය දත්ත 2006, 2007 සහ 2008 යන වර්ෂවලදී ඔවුන් රැස්කර තිබෙනවා. එසේ රැස්කර ගත් දත්ත විශ්ලේෂණය කර ඔවුන් මේ නිගමනවලට එළඹී තියෙනවා. 


ළදරුවන් කලින් ම නිදාගන්නා රට සහ ළදරුවන් වැඩිපුර ම පරක්කු වී නිදාගන්නා රට


ඔවුන්ගේ පර්යේෂණයට අනුව රාත්‍රියට කලින් ම නිදාගන්නේ නවසීලන්තයේ ළදරුවනුයි. ඔවුන් නිදාගන්නා සාමාන්‍ය වේලාව දැක්වෙන්නේ රාත්‍රි 7.28 ලෙසයි. වඩාත් ම රෑ වෙලා නිදාගන්නේ හොංකො රාජ්‍යයේ ළදරුවනුයි. හොංකොං රාජ්‍යයේ ළදරුවන් රාත්‍රියට නිදාගන්නා සාමාන්‍ය වේලාව වෙන්නේ රාත්‍රි 10.17යි. 

මේ වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ ළදරුවන් නිදාගන්නේ රාත්‍රි 7.43ටයි, බ්‍රිතාන්‍යයේ ළදරුවන් නිදාගන්නේ රාත්‍රි 7.55ටයි, ඇමෙරිකාවේ ළදරුවන් නිදාගන්නේ රාත්‍රි 8.52ටයි, චීනයේ ළදරුවන් නිදාගන්නේ රාත්‍රි 8.57ටයි, දකුණු කොරියාවේ ළදරුවන් නිදාගන්නේ රාත්‍රි 10.06ටයි, ඉන්දියාවේ ළදරුවන් නිදාගන්නේ රාත්‍රි 10.11ටයි. මේ තොරතුරුවලින් කියවෙන්නේ මේ රටවල දරුවන් හරියට ම මේ වේලාවට නිදාගන්නවා කියලා නෙවෙයි. මේ තොරතුරුවලින් දක්වලා තියෙන්නේ මේ රටවල දරුවන් රාත්‍රියට නිදාගන්නේ ආසන්න වශයෙන් රාත්‍රි කීයට විතර ද කියලායි. 

සමස්තයක් හැටියට සලකලා බැලුවා ම වැඩිපුර ම රෑ වෙලා නිදාගන්න ළදරුවන් පිරිසක් ඉන්නේ ආසියානු කලාපයේයි. ඉතා කලින් ම නින්දට යන ළදරුවන් පිරිස ඉන්නේ ඕස්ට්‍රේලියා (ඕෂනියා) මහද්වීපයේ සහ යුරෝපා මහද්වීපයේයි. 

ජෝඩි මින්ඩෙල්ගේ පර්යේෂණ කණ්ඩායමේ තොරතුරුවලට අනුව ලෝකයේ අනෙක් රටවල දරුවන් නිදාගන්නේ කීයට ද කියලාත් පහත සටහනේ (Info-graph) තියෙනවා. 
(http://edition.cnn.com)

(මූලාශ්‍රය - CNN)


ශ්‍රී ලංකාවේ රැකියා ඇබෑර්තු ප්‍රමාණය ලක්ෂ 05ක් දක්වා ඉහළ යයි...

ශ්‍රී ලංකාවේ රැකියා ඇබෑර්තු ප්‍රමාණය


ශ්‍රී ලංකාවේ විවිධ අංශයන්හි පවතින රැකියා ඇබෑර්තු ප්‍රමාණය ලක්ෂ පහකට ආසන්න බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2017 වර්ෂයේදී පැවැත්වූ ශ්‍රම ඉල්ලුම පිළිබද සමීක්ෂණ වාර්තාවෙන් මෙය හෙළි වී තිබෙනවා. මේ අනුව මෙරට සෑම අංශයක ම පවතින රැකියා පුරප්පාඩු (රැකියා ඉල්ලුම) ගණන 497,302ක් වෙනවා. 

2018 වසරේදී වැඩි ම ඉල්ලුමක් ඇති රැකියාවන් මොනවා ද?


ශ්‍රම ඉල්ලුම පිළිබද සමීක්ෂණ වාර්තාවට අනුව මේ වසරේදී (2018) ඉහළ ම ඉල්ලුමක් පවතින්නේ මැහුම් සේවකයන්ට සහ ඇදුම් සකසන්නන්ටයි. මැහුම් සේවකයන්ට සහ ඇදුම් සකසන්නන්ට මේ අවුරුද්දේ තිබෙන පුරප්පාඩු සංඛ්‍යාව 74,000ක් වෙනවා. ඉන් අනතුරුව වාණිජ හා අලෙවි අංශය තුළ මේ අවුරුද්දේ තිබෙන පුරප්පාඩු සංඛ්‍යාව 70,000ක් බව මේ වාර්තාවේ සදහන් වෙනවා.  

පෞද්ගලික අංශයේ රැකියාවක් ඉක්මණින් හොයා ගන්නේ කොහොම ද?


කිසියම් රැකියා අපේක්ෂකයෙකුට කණ්ඩායම් හැගීමකින් යුතුව සාමූහිකව කටයුතු කිරීමට හැකියාවක් තිබෙනවා නම් සහ හොද වාචික සන්නිවේදන හැකියාවක් තිබෙනවා නම් පෞද්ගලික අංශය තමන් සතු රැකියාවලට ඔවුන් ඉක්මණින් යෙදවීමට උත්සාහ කරන බව මේ වාර්තාවේ සදහන් වෙනවා.
ඒ වගේ ම පෞද්ගලික අංශය අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් යන දෙක ම ඇති පිරිස සේවයේ යෙදවීමට ඔවුන් වැඩි කැමැත්තක් දක්වනවා. ඔවුන් වෘත්තීය පුහුණුව පමණක් ලැබූ අය සේවයේ යෙදවීමට තරමක් මැළිකමක් දක්වනවා. 

ඉහළ ඉල්ලුමක් ඇති අනෙක් රැකියා


මේ කොහොම වුණත් පසුගිය වසරේ සිට සලකා බැලුවොත් ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙදපොළ තුළ දැනට ඉහළ ම ඉල්ලුමක් පවතින්නේ මහන මැෂින් ක්‍රියාකරුවන්ට බව ද මේ වාර්තාව හෙළි කරනවා. මේ අනුව දැනට මහන මැෂින් ක්‍රියාකරුවන් 77,189ක් සදහා මෙරට ඇබෑර්තු තිබෙනවා. කොහොම වුණත් මහන මැෂින් ක්‍රියාකරුවන් සොයා ගැනීමේ දැඩි දුෂ්කරතාවකින් ව්‍යාපාර අංශය පසුවන බව ද  වාර්තාවේ සදහන් වෙනවා. මහන මැෂින් ක්‍රියාකරුවන්ගෙන් පසුව ශ්‍රී ලංකාවේ ඉහළ ම ඉල්ලුමක් ඇත්තේ ආරක්ෂක නියාමකයන්ට බව ද මෙහි සදහන් වෙනවා. දැනට ආරක්ෂක නියාමක පුරප්පාඩු 57,008ක් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. මේ හැරුණු විට මීළගට ඉහළ ම ඉල්ලුමක් ඇත්තේ යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණවේදීන්, ගිණුම්කරණ සහයක වෘත්තීකයන් සහ හෙද වෘත්තිකයන්ට බව ද  මේ වාර්තාවේ සදහන් කරනවා. 
පසුගිය වසරේදී (2017) ශ්‍රී ලංකාවේ වැඩි ම පිරිසක් සේවා අංශයේ රැකියාවල යෙදී සිට තිබෙන අතර එයින් වැඩි පිරිස සේවා සහ විකුණුම් සේවක යන අංශවල සේවය කර තිබෙනවා. 

මේ වාර්තාව වැදගත් වෙන්නේ කාට ද?


ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ සමීක්ෂණ වාර්තාව සකස් කිරීම සදහා රටපුරා තිබෙන සේවකයන් තුන්දෙනෙකුට වැඩියෙන් සිටින ව්‍යාපාර ආයතන 3500ක දත්ත යොදාගෙන තිබෙනවා. මේ වාර්තාව වැඩියෙන් ම ප්‍රයෝජනවත් වෙන්නේ විශ්වවිද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතනවලට බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තවදුරටත් මේ වාර්තාවෙන් සදහන් කරනවා. ඒ වගේ ම රැකියා සොයන රැකියා අපේක්ෂකයන්ටත් මේ වාර්තාව ඉතා වැදගත් වෙනවා. රැකියාවක් සොයා ගැනීමේදී තමන්ට තිබෙන අවස්ථා ගැන මේ වාර්තාවෙන් අවබෝධයක් ලැබීමට හැකිවීම මෙයට ප්‍රධාන හේතුවයි.

(මූලාශ්‍රය - ශ්‍රම ඉල්ලුම පිළිබද සමීක්ෂණ වාර්තාව-2017, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව)

Friday, January 5, 2018

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රෙදි ගලවන පොතක් නිකුත් වෙයි...

ට්‍රම්ප් ගැන ලියවුණු පොතේ ආන්දෝලනය


ඇමෙරිකානු ජනාධිපතිවරයා ගැන ලියැවුණු පොතක් මේ සතියේ වෙළෙදපොළට පැමිණීම ගැන මීට දවස් දෙක තුනකට පෙර වාර්තා නිකුත් වුණේ මේ පොතේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ආන්දෝලනාත්මක කරුණු තිබුණු නිසායි. එය එතරම් කතාබහට ලක්වෙයි යැයි බොහෝ දෙනෙකු සිතුවේ නැහැ. ඒත් දැන් මේ පොතෙන් හෙළි කරලා තියෙන කරුණු ගැන ලෝකය ම අවධානයෙන් ඉන්නවා. කොටින් ම කිව්වොත් මේ පොත ගැන දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි කෝපයට පත්වෙලා සිටින බවක් පේන්න තියෙනවා. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ගැන ලියැවුණු මේ පොතේ සදහන් කරුණු සම්පූර්ණ අසත්‍යයක් යැයි ප්‍රකාශ කරන තරමට මේක දැන් දුර දිග ගිහින් තියෙනවා. ඒ විතරක් නෙවේ ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ නීතිඥයන්ට දැන් උපදෙස් දීලා තියෙන්නේ මේ පොත වෙළෙදපොළට එන එක කොහොම හරි නවත්වන්න කියලායි. ඒකට හේතුවෙන්නේ ට්‍රම්ප් සම්බන්ධ පෞද්ගලික යැයි කිව හැකි මට්ටමේ තොරතුරුත් මේ පොතේ සදහන් වෙලා තියෙන නිසායි. ලෝකය පුරා මේ ආන්දෝලනය ගැන කතාවෙන නිසා අද ටිකක් වෙලාව අරගෙන මේ පොත ගැන කෙටියෙන් ලියන්න හිතුවා.

ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් දිනීම ගැන ට්‍රම්ප් ම පුදුම වෙලා


ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ලියවිලා තියෙන මේ පොත Fire and Fury: Inside the Trump White House. එහි කතුවරයා වෙන්නේ මයිකල් වොල්ෆ් කියන පුද්ගලයායි. මයිකල් වොල්ෆ් ඇමෙරිකාවේ මාධ්‍ය ආයතන හිමිකරුවෙකු වන රෑපට් මර්ඩොක්ගේ ජීවිත කතාවත් මීට පෙර රචනා කර තිබෙනවා.
මේ පොතේ සදහන් වෙන ප්‍රධාන කරුණක් වෙන්නේ පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප්ට ම පුදුමයක් වූ බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිඥයන් දැනටමත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ලියවී තිබෙන Fire and Fury: Inside the Trump White House  කියන පොත පාඨකයන්ට නිකුත් වීම වැළැක්වීමට උත්සාහ කරමින් සිටිනවා. 

පොත ගන්න පොත් කඩවල්වල ලොකු පෝලිමක්...


කොහොම වුණත් දැනටමත් මේ පොත අලෙවිය සදහා ඉදිරිපත් කර අවසානයි. මෙය මිලදී ගන්නත් දැන් ඇමෙරිකාවේ පොත් කඩවල්වල ලොකු පෝලිම් තියෙන බව මාධ්‍ය ආයතන වාර්තා කරනවා. 

පොතේ සදහන් ආන්දෝලනාත්මක කරුණු


කොහොම වුණත් Fire and Fury: Inside the Trump White House කියන පොතේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන සදහන් වන ප්‍රධාන කරුණු මේ විදියට දැක්විය හැකියි. 

01. ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම ඔහුගේ මැතිවරණ සහයක කණ්ඩායම පවා විශ්වාස නොකළ බව හා ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් ඔවුන් පුදුමයට පත් වූ බව.

02. ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් පරදින බව සිතා අැමෙරිකානු ජනාධිපතිවරණය පැවැත් වූ දින රාත්‍රියේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිද ඉතා දුක්මුසුව කාලය ගත කළ බව.

03. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාරම්භක උත්සවයේදී එරට ඉහළ පෙළේ ප්‍රකට කලා ශිල්පීන් ඔහුට ඇනුම්පද කීම ගැන උත්සව අවස්ථාවේදී ම ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි කෝපයකින් සිටි බව.

04. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ධවල මන්දිරය(වයිට් හවුස්) භය උපදවන සහ පීඩාකාරී වාසස්ථානයක් වන බව.


05. ඇමෙරිකාවේ පළමු කාන්තා ජනාධිපතිනිය වීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් උත්සාහ කරමින් සිටින බව සහ ඇය සහ ඇයගේ සැමියා වන ජෙරාඩ් කුෂ්නර් එය සදහා සැලසුම් සකස්  කරමින් සිටින බව.


06. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් තම පියාගේ පොල් කෝම්ඹ හැඩැති කොණ්ඩා විලාසිතාව සම්බන්ධයෙන් සමච්චල් කරන බව සහ ඉවන්කා තම මිතුරන් සමග ද එය පිළිබදව කතා කරන බව.

07. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්‍රයා වන කනිෂ්ඨ ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීමට රුසියානුවන්ගේ උදව් ලබා ගැනීම සදහා සාකච්ඡා  පැවැත්වීම රාජ්‍යද්‍රෝහී කටයුත්තක් යැයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුද්ගලික සහයක ස්ටීව් බැනන් සදහන් කළ බව.

08. ඩොනල්ඩ් ට්‍රම්ප් තම මිතුරන්ගේ භාර්යාවන් සමග ලිංගික සබදතා පැවැත්වූ ආකාරය ගැන තවත් පුද්ගලයන් සමග කයිවාරු ගැසූ බව සහ මිතුරන්ගේ භාර්යාවන් ලිංගික සබදතාවලදී කෙසේ හැසිරෙන්නේදැයි ඒ මිතුරන්ගෙන් මූණට ම ඇසූ බව,
කියන ප්‍රධාන කරුණු මේ පොතේ සදහන් වෙලා තියෙනවා. මයිකල් වොල්ෆ් ලියපු Fire and Fury: Inside the Trump White House පොත මේ තරම් ආන්දෝලනය ලක්වෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේත් ඉහත සදහන් කරපු කරුණු පිළිබද දීර්ඝ විස්තර මේ පොතේ ඇතුළත් වීමයි. 



පොතේ සදහන් කරුණුවල සත්‍ය අසත්‍යතාව ගැන තර්ක ඉදිරිපත් වීම


මයිකල් වොල්ෆ් මේ පොත රචනා කිරීම සදහා සම්මුඛ සාකච්ඡා 200ක් පමණ යොදාගෙන තිබෙන අතර පොත රචනා කිරීම සදහා යොදාගත් සමහර කරුණු දැනටමත් විවේචනයට ලක්වී සහ ප්‍රශ්නගතව පවතිනවා. සමහර විචාරකයන් කියන ආකාරයට මේ පොතෙන් භාගයක් ඇත්තයි කියලා සැලකුවත් අපිට ඩොනල්ඩ් ට්‍රම්ප් මැවී පෙනෙන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මානසික විකෘතිතාවක් තියෙන පුද්ගලයෙක් හැටියටයි. ඒ වගේ ම ධවල මන්දරයේ (වයිට් හවුස්) අවුල් සහගත බවයි.


පොතේ සෑම අකුරකට ම කතුවරයා වග කියන බව කියයි...


මේ පොතේ කතුවරයා සදහන් කරන ආකාරයට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෑම පුද්ගලයෙක් ගැන ම ඉන්නේ ඉතා අවිශ්වාසයෙනුයි. Fire and Fury: Inside the Trump White House පොතේ කතුවරයා මේ පොත ලියන කාලය අතරතුරදී මාස කිහිපයක් ධවල මන්දිරයේ කාලය ගත කළ පුද්ගලයෙකු ද වෙනවා. කතුවරයා සදහන් කරන ආකාරයට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලයට අනුව  ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ පොඩි එකෙකුයි. ට්‍රම්ප් පොඩි එකෙක් වගේ වැඩ කරන නිසා කාර්ය මණ්ඩලය ට්‍රම්ප් ගැන මේ විදියට හිතන බවයි පොතේ කතුවරයා සදහන් කරන්නේ. ඒ වගේ ම මේ පොතේ ලියා තිබෙන සෑම අකුරකට ම තමා පෙනී සිටින බවත් පොතේ කතුවරයා වන මයිකල් වොල්ෆ් ජනමාධ්‍යවලට සදහන් කර තිබෙනවා. පොතේ කතුවරයා කියන ආකාරයට ඔහු මේ පොත රචනා කිරීම සදහා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලය සමග මාස 18ක් තිස්සේ සාකච්ඡා පවත්වනවා. ඒ නිසා මේ පොතේ සත්‍යතාව ගැන තමන්ට සහතික විය හැකි බව ඔහු තවදුරටත් පවසනවා. 

(මූලාශ්‍රය - BBC)



Thursday, January 4, 2018

අයිස්ලන්තයත් ගැහැනුන්ට සම තැන දෙයි...

අයිස්ලන්තයේ වැටුප් සමානාත්මතා නීතිය ජනවාරි 01වැනිදා සිට ම...

අයිස්ලන්තයේ සේවා ස්ථාන (සමාගම් සහ රජයේ නියෝජිත ආයතන) මේ සතියේ සිට ඒවායේ සේවය කරන පිරිමි සහ ගැහැනු යන දෙපාර්ශවයට ම සමාන වැටුප් ගෙවීම ආරම්භ කරනවා. අයිස්ලන්තය සම්මත කරගත් නීතියකට අනුව මෙය ක්‍රියාත්මක කිරීම සිදු වෙනවා. අයිස්ලන්තයේ මෙකී නීතියත් සමග ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාව සම්බන්ධයෙන් අයිස්ලන්තයේ ප්‍රමුඛභාවය ඉස්මතු වී පෙනෙන බව ජාත්‍යන්තර ප්‍රජාව සදහන් කරනවා. විශේෂයෙන් ම  ජාතිය, ආගම, ආබාධිතභාවය හෝ වයස පදනම් කරගෙන වෙනස් කර සැලකීම් මේ යටතේ ප්‍රකාශිත නීතියෙන් ම තහනම් වෙනවා.

වැටුප් සමානාත්මතා නීතිය සම්මත වීම

සේවා ස්ථානවල සේවය කරන ගැහැනු සහ පිරිමි දෙපාර්ශවයට ම සමාන වැටුප් ගෙවිය යුතු ය යනුවෙන් සම්මත කර ඇති මේ නීතිය කෙටුම්පතක් ලෙස අයිස්ලන්ත ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කර තිබුණේ 2017 මාර්තු මාසයේදී වන අතර එය සම්මත වුණේ 2017 ජූනි මාසයේදීයි. එසේ සම්මත වූ නීතිය 2018 ජනවාරි 01වැනිදා සිට ක්‍රියාත්මක වෙනවා. 
විවිධ සීමාසහිතකම් සහිතව වුණත් අයිස්ලන්තය තුළ සමාන වැටුප් ගෙවීම 1961-1963කාලයේ සිට විවිධ ස්වරූපවලින් ක්‍රියාත්මක වුණත් මේ ආකාරයේ වැටුප් ගෙවීමේ ක්‍රමවේදයක් ඇති කරන්නේ පළමුවරටයි. මෙහි විශේෂත්වය වන්නේ අයිස්ලන්තය තුළ මෙයට පෙරත් විවිධ ආකාරවලින් ගැහැනු සහ පිරිමි ද‍ෙපාර්ශවයට සමාන වැටුප් ගෙවීමේ ක්‍රමවේදයක් තිබුණත් එය ප්‍රකාශිත නීතියක් ලෙස ක්‍රියාත්මක වන්නේ මෙවරයි.

සමාන වැටුප් නොගෙව්වොත් සිදුවන දේ...

මේ නීතියට අනුව සේවකයන් 25දෙනෙකු හෝ එයට වැඩි පිරිසක් සේවයේ යෙදෙන සේවා ස්ථානවල වසර තුනකට වරක් වැටුප් විශ්ලේෂණ වාර්තා සකස් කළ යුතු අතර සමාන මට්ටමේ රැකියාවල යෙදෙන ගැහැනු සහ පිරිමින්ට සමානව වැටුප් ගෙවීම ද සහතික කළ යුතුයි. එසේ නොවුණහොත් අදාළ ආයතන පිළිබදව එරට රජයට දැනුම් දියහැකි අතර සමාන වැටුප් ගෙවා නොමැති බව හෙළි වුවහොත් වැටුප් නොගෙවූ දින සදහා අදාළ ආයතනයට දිනකට නියමිත දඩ මුදල බැගින් එකතු වෙනවා. 

සමානාත්මතාවේදී අයිස්ලන්තයට හිමි තැන...

World Economic Forum’s Global Gender Gap Report ට අනුව අයිස්ලන්තය සමාන වැටුප් ගෙවීමේ ක්‍රමවේදයක් සහිත රටවල් අතර  5වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා. මෙම වර්ගීකරණය සදහා රටවල් 144ක් යොදාගෙන තිබෙනවා. 

කාන්තාවන්ගේ අපේක්ෂා කඩවීමේ පීඩනය

අයිස්ලන්තය 2015 වර්ෂයේ සකස් කළ වාර්තාවන්ට අනුව එරට කාන්තාවන්ගෙන් සියයට 14ත් 20ත් අතර ප්‍රතිශතයක් පිරිමි දරන තනතුරුවලට සමාන තනතුරු දරමින් ම පිරිමින්ට වඩා අඩු වැටුපක් ලබනවා. මෙයින් බොහෝ කාන්තාවන් දැඩි අපේක්ෂාභංගත්වයට පත්ව සිටින බවත් වාර්තා වෙනවා. එයට ප්‍රධාන හේතුව වෙන්නේ පිරිමින් ඉටු කරන වැඩ කොටස ම ඉටු කරමින් ඒ හා සමාන ශ්‍රමයක් ම දරා පිරිමින්ට වඩා අඩු වැටුපක් ගැනීමට සිදුවීම නිසායි. 

(මූලාශ්‍ර - The New York Times, National Public Radio[US])

ලෝකයේ හොද ම වෛරස් ගාර්ඩ් (Anti-Virus Guard) වර්ග 05...

ලෝකයේ හොද ම වෛරස් ගාර්ඩ් (Anti-Virus Guard) වර්ග 05 ගැන තොරතුරු සී.එන්.එන්. (CNN) මාධ්‍ය ජාලය උපුටා දක්වා තිබෙනවා. සී.එන්.එන්. (CNN) මාධ්‍ය ජාලය සදහා මේ තොරතුරු සපයා ඇත්තේ බොබ් ජෝන්ස් නමැත්තෙක්. ඉකුත් වසරේදී (2017) කළ සමීක්ෂණයක තොරතුරු මේ ආකාරයට  සී.එන්.එන්. (CNN) මාධ්‍ය ජාලය උපුටා දක්වා තිබෙනවා. වෛරස්  ගාර්ඩ් ගැන උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙනුයි මේ ලිපිය ලියන්නේ. මෙහි ඇත්ත නැත්ත ගැන මට හරියට ම කියන්න බැහැ. ඒත්  සී.එන්.එන්. (CNN) මාධ්‍ය ජාලය කියන්නේ ලෝකයේ ප්‍රබල මාධ්‍ය ආයතනයක් නිසා ඔවුන් උපුටා දැක් වූ තොරතුරු බොරු කියලා හිතන්නත් බැහැ. 
සී.එන්.එන්. (CNN) මාධ්‍ය ජාලය උපුටා දැක් වූ තොරතුරුවලට අනුව ලෝකයේ දැනට හොද ම ක්‍රියාකාරිත්වයක් සහිත වෛරස් ගාර්ඩ් වර්ග 05ක සන්නාම (Logo) පහත ඡායාරූපයෙන් උපුටා දක්වා තිබෙනවා. මේ ගැන වැඩි විස්තර සහ ඒවා බාගත කරගැනීම මෙතැනින්...
(මූලාශ්‍ර-CNN, http://www.myantivirusreview.com)
(http://www.myantivirusreview.com)

සවුදි අරාබියේ නිදහස වැඩිවෙයි...තහංචි අඩුවෙයි...

තහංචි ඉවත් වීමට හේතු

තෙල් ආදායම්වලින් නැගී සිටි සවුදි අරාබිය නව ආර්ථික ප්‍රතිසංස්කරණවලින් මෙතෙක් නොවූ ඉහළ ආර්ථික ප්‍රගතියක් 2018 වසර අවසාන වීමේදී පෙන්නුම් කිරීමට බලාපොරොත්තු වන බව එරට රජය ප්‍රකාශ කරනවා. සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු එක් වරක් ප්‍රකාශ කර සිටියේ සවුදි අරාබිය "තෙල් ආදායම්වලට ඇබ්බැහි වී සිටින රටක්" බවයි. ඒත් සවුදි අරාබිය නව ආර්ථික ප්‍රතිසංස්කරණවලින් ඉදිරි කාලයේදී වේගවත් ආර්ථික ප්‍රගතියක් අත්කරගැනීමට නියමිතයි. සවුදි අරාබිය 2018 ජනවාරි පළමුවැනිදා සිට වැට් (VAT) බද්දක් හදුන්වා දීමට කටයුතු කළේත් මේ අනුවයි. එරට ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මන් 2016දී හදුන්වා දුන් "විෂන් 2013" (Vision 2030) ආර්ථික සැලසුම මේ වසරේ (2018) සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ සැලසුම සමග සවුදි අරාබිය 2018 වසර අවසාන වන විට ඉතා වෙනස් මුහුණුවරක් ගනු ඇති බව පැවසෙනවා. මේ යටතේ 2018 අවුරුද්දේදී සවුදි අරාබිය වෙනස් කරන දේවල් මොනවා ද කියලා අපි බලමු.

01. චිත්‍රපටි ශාලා තහනම ඉවත් කිරීම

අවුරුදු 35ක් තිස්සේ සවුදි අරාබිය තුළ චිත්‍රපටි ශාලා තහනම් කර තිබුණා. ඒත් 2017දී සවුදි රජය ගනු ලැබූ තීරණයකට අනුව මේ තහනම දැන් ඉවත් කර තිබෙනවා. මේ අනුව දැන් සවුදි අරාබි රජය සිනමා ශාලා ඉදි කිරීමට අවශ්‍ය බලපත්‍ර දැන් ලබා දෙනවා. එයත් සමග ම මේ අවුරුද්දේ මාර්තු මාසය වන විට එරට පළමු චිත්‍රපටි ශාලාව විවෘත කිරීමට නියමිතයි.

02. වාහන ධාවනය කිරීමට කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කිරීම

2017 වසරේ අවසාන කාලය වන තුරු සවුදි අරාබියේ කාන්තාවන්ට වාහන ධාවනය කිරීම සහ රියදුරු බලපත්‍ර ලබා ගැනීම තහනම් කර තිබුණා. මේ තහනම 2017 අවුරුද්දේ ජූනි මාසයේදී ඉවත් කළත්, එයට අදාළ රාජ ආඥාව නිකුත් කළේ සැප්තැම්බර් මාසයේදීයි. විශේෂයෙන් ම කාන්තාවන්ට රිය ධාවනය කිරීමේ අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා එරට කාන්තාවන් විශාල පිරිසක් එක්ව දැවැන්ත අරගලයක් ගෙන ගියා. තහනම ගණන් නොගෙන වාහන ධාවනය කළ කාන්තාවන් සැලකිය යුතු පිරිසක් ද මේ කාලයේදී අත්අඩංගුවට පත්වුණා. කොහොම වුණත් අන්තිමේදී කාන්තාවන් ගෙන ගිය මේ අරගලය නිසා සවුදි කාන්තාවන්ට රිය ධාවනයට වගේ ම රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමටත් අයිතියත් හිමි වුණා.
මෙයත් සමග කාන්තාවන් රිය ධාවනය කිරීමට ඉහළින් පෙලඹෙනවා. දැනටත් සවුදි අරාබි ආර්ථිකයේ ශ්‍රමය සපයන්නන්ගෙන් සියයට 22ක් කාන්තාවන්. සවුදියේ ඔටුන්න හිමි කුමරු ඉදිරිපත් කළ "විෂන් 2030" සැලසුම යටතේ 2030වන විට සවුදි අරාබිය තුළ ශ්‍රමය සපයන කාන්තාවන්ගේ ප්‍රතිශතය සියයට 30ක් දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වෙනවා. 
සවුදි රජය ඉදිරි කාලයේදී එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 65ක් ම පෞද්ගලික අංශයෙන් උපයා ගැනීමට බලාපොරොත්තු වන නිසා එය ක්‍රියාවට නැංවීමටත් මේ යෝජනාව උපකාරී වෙනවා.

03. ගැහැනු සහ පිරිමින්ට එකට ඉදගෙන සැණකෙළි නැරඹීමට ඉඩ දීම

සවුදි අරාබිය තුළ මෙතෙක් කාලයක් ස්වාමි පුරුෂයා සහ බිරිද වුණත් ප්‍රසිද්ධ හෝ පොදු ස්ථානයකට ගියොත් ඉදගෙන සිටිය යුතු වූයේ වෙන වෙනමයි. ඒත් මේ වසරේ සිට ඒ තහනම යම් තාක් දුරකට ලිහිල් වෙනවා. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී එරට ක්‍රීඩා අධිකාරිය සදහන් කළ ආකාරයට මේ වසරේ මුල සිට එරට ප්‍රධාන ක්‍රීඩාංගණ තුනක පැවැත්වෙන සැණකෙළි සදහා කාන්තාවන් සහ පිරිමින්ට එක්ව සහභාගි විය හැකියි. එහිදී ස්වාමි පුරුෂයාට සහ භාර්යාවට එකට ඉදගෙන තරග හෝ සැණකෙළි නරඹන්න අවස්ථාව ලබාදෙනවා. මෙයට 2017 වසරේදී ටිකක් අවම වශයෙන් ඉඩ දුන්නත් 2018 වසරේ මුල සිට එයට බාධාවකින් තොරව ඉඩ ලැබෙනවා. 

04.සංචාරකයන් ලෙස සවුදි අරාබියේ ඇවිදිය හැකි වීම

මෙතෙක් කාලයක් සවුදි අරාබියට සංචාරක වීසා අරගෙන කිසිවෙකුටත් පැමිණීමට ඉඩ දුන්නේ නැහැ. ඒ කියන්නේ එරට සංචාරය කරන්න සහ පූජනීය ස්ථානවලට යන්න මීට කලින් කිසිවෙකුටත් අවසර ලැබුණේ නැහැ. ඒත් එරට සංචාරක හා උරුම කොමිසමේ ප්‍රධානියා ප්‍රකාශ කරන ආකාරයට 2018 සිට සවුදි අරාබියට සංචාරක වීසා ලබාගෙන එරට සංචාරය කළ හැකියි. මෙයින් සවුදි අරාබි රජය බලාපොරොත්තු වෙන්නේ එරට සංචාරක ව්‍යාපාරය ඉහළ මට්ටමකට ගෙන ඒමටයි. සංචාරක ව්‍යාපාරයට ඉඩ ලැබීමත් සමග එරට සංචාරක ආයෝජනවලටත් දැන් මග පෑදී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රතු මුහුදේ ගොඩ කරන ලද වැලි දූපත්වල සැතපුම් 100ක් දිගට සංචාරක නිවාඩු නිකේතන පේළියක් ඉදි කිරීමටත් නියමිතයි. මේ අනුව සවුදි රජය 2016දී එරටට පැමිණි මිලියන 18ක් වූ පිරිස (එරටට 2016දී ශ්‍රමිකයන් ලෙස හෝ වෙනත් ක්‍රමයකට පැමිණි පිරිස) 2030වන විට මිලියන 30ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා. 

 05. ගෑස් මිල ඉහළ දැමීම

සවුදි අරාබි ජනතාවගෙන් බොහෝ දෙනෙක් ගෑස් සදහා ඉහළ මුදලක් වැය කරනවා. ඒත්  ලෝකයේ විශාල ම ඛනිජ තෙල් නිෂ්පාදන සමාගම වන සවුදි අරාබි රජයට අයිති ඇරැම්කෝ ආයතනය සවුදි අරාබියේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ ගෑස් මිල සියයට 127කින් ඉහළ දමා තිබෙනවා. මේ ඉහළ දැමීම සමග එරට පෙට්‍රල් මිල ද ලීටරයකට රියාල් 2.04ක් (පෙට්‍රල් ගැලුමක් ඇමෙරිකන් ඩොලර් 2.05ක්) දක්වා ඉහළ ගොස් තිබෙනවා. සවුදි අරාබි රජය මෙයින් බලාපොරොත්තු වෙන්නේ ඛනිජ තෙල් පරිභෝජනය අඩු කර, විශේෂයෙන් ඛනිජ තෙල් නොවන ඉන්ධනවලින් දුවන වාහන පාවිච්චිය ඉහළ නැංවීමයි.
ඒ වගේ ම ජනවාරි 01වැනිදා පනවපු වැට් බද්දෙන් සවුදි රජය බලාපොරොත්තු වෙන්නේ ඛනිජ තෙල් හැර වෙනත් මාර්ගවලින් ද ආදායම් උපයා ගැනීමයි. 

06. රජයේ තෙල් සමාගම පෞද්ගලිකකරණය කිරීම

ලෝකයේ විශාල ම ඛනිජ තෙල් නිෂ්පාදන සමාගම වෙන්නේ ඇරැම්කෝ සමාගමයි. එය අයිති සවුදි අරාබි රජයටයි. ඒත් දැන් සවුදි අරාබි රජය මේ තෙල් සමාගම පෞද්ගලිකකරණය කරන්න තීරණය කර තිබෙනවා. ඒත් මෙහිදී සමාගමේ කොටස්වලින් විකුණා දමන්න බලාපොරොත්තු වෙන්නේ කුඩා ප්‍රමාණයක්. එයත් සමග ම ඇරැම්කෝ තෙල් සමාගම ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළෙදපොළේ ඉතා ඉහළ ස්ථානයක ස්ථානගත වනු ඇතැයි ද අනාවැකි පළ වෙනවා. 

(මූලාශ්‍රය-CNN)