Wednesday, June 6, 2018

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොං අන් දූපතක මුණ ගැහෙන්න තීන්දු කරයි...

බොහෝ දෙනා බලාපොරොත්තු දල්වාගෙන සි‍ටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් අතර පැවැත්වෙන හමුව පවත්වන්නේ කුමන ස්ථානයකදැයි ඇමෙරිකාවේ ධවල මන්දිරය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ධවල මන්දිරය සදහන් කරන ආකාරයට දෙරටේ නායකයන් දෙදෙනා ජූනි 12වැනිදා සිංගප්පූරුවේ සෙන්තෝසා දිවයිනේදී ද්විපාර්ශවික සාකච්ඡා සදහා නිල වශයෙන් හමුවෙති‍. ධවල මන්දිර මාධ්‍ය ලේකම් සාරා සැන්ඩර්ස් සදහන් කරන ආකාරයට නායකයන් දෙදෙනා සිංගප්පූරුවේ සෙන්තෝසා දිවයිනේ පිහිටි කැපෙලා හෝටලයේදී හමුවීමට නියමිත ය. කෙසේ නමුත් මොවුන් දෙදෙනාගේ හමුවීම සිදුවීමට නියමිත සෙන්තෝසා දිවයින ආශ්‍රිත ප්‍රදේශය විශේෂ කලාපයක් ලෙස නම් කිරීමට සිංගප්පූරු රජය දැනටමත් කටයුතු කර ඇති බව විදේශ මාධ්‍ය තවදුරටත් වාර්තා කරනවා.

බොහෝ තොරතුරු අවිනිශ්චිතයි...


ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායකයන් දෙදෙනා අතර පැවැත්වීමට නියමිත ද්විපාර්ශවික සාකච්ඡා සම්බන්ධයෙන් බොහෝ තොරතුරු සහ සැලසුම් තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින අතර ධවල මන්දිරය පාර්ශවයෙන් මෙම සාකච්ඡා සම්බන්ධයෙන් තොරතුරු ලැබීම සීමාසහිත තත්ත්වයක පවතී.

සාකච්ඡාව ඉතිහාසගත වීමට හේතුව මේකයි...


ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු ‍කොරියානු ජනාධිපතිවරයා අතර පැවැත්වෙන මෙම සාකච්ඡා වටය ඉතිහාසගත සාකච්ඡාවක් වීමට ප්‍රධාන හේතුව වන්නේ ජනාධිපති ධුරයේ සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු සහ උතුරු කොරියානු නායකයෙකු අතර මෙසේ මුහුණට මුහුණ ද්විපාර්ශවික සාකච්ඡාවක් සිදුවන්නේ ඉතිහාසයේ පළමු වරට වීම ය.

ට්‍රම්ප් සාකච්ඡාවට ගොඩක් කැමති බව කියයි...


ඉදිරි දින දෙකකදී පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡා වටය සම්බන්ධයෙන් ඊයේ (06) දිනයේ අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කළේ "මෙය ඉතා වැදගත් අවස්ථාවක් සහ සාකච්ඡා පැවැත්වෙන දින දෙකත් ඉතා විශේෂ අවස්ථාවක්. මේ සාකච්ඡාවලදී බොහෝ සබදතා ගොඩනගා ගැනිමට නියමිතව තිබෙනවා වගේ ම සාකච්ඡාවට සහභාගි වීම සදහා සිංගප්පූරුවට යෑමට පෙර සමහර කේවල් කිරීම් ගැන එකගතාවකට පැමිණිය යුතුව තිබෙනවා. කොහොම වුණත් ඉදිරි කාලයේදී දෙපාර්ශවය අතර ඉතා හොද සම්බන්ධතාවක් පවත්වා ගැනීම මේ සාකච්ඡාවල අරමුණයි" යනුවෙනි.

නායකයන් දෙදෙනා හෝටල් දෙකක නවතින බව ආරංචි වෙයි...


පුවත්පත් වාර්තා උපුටා දක්වන බී.බී.සී. වෙබ් අඩවිය සදහන් කරන්නේ සාකච්ඡාවලට පෙර සහ පසු නායකයන් දෙදෙනා හෝටල් දෙකක නවාතැන් ගැනිමට බොහෝ දුරට ඉඩ ඇති බව ය. ඇමෙරිකානු ජනාධිපතිවරයා නවාතැන් ගැනීමට වැඩි කැමැත්තක් දක්වා අැත්තේ සිංගප්පූරුවේ ෂැන්ග්‍රි-ලා හෝටල‍යේ වන අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා කලින් අදාළ හෝටලයේ නවාතැන් ගතහොත්, උතුරු කොරියානු නායකයාට නවාතැන් ගැනීමට සිදුවනු ඇත්තේ ‍සිංගප්පූරුවේ St. Regis හෝටලයේ බව මෙකී පුවත්පත් වාර්තා සදහන් කරනවා.

සෙන්තෝසා දිවයින වැදගත් වෙන්නේ ඇයි...?


සිංගප්පූරුව නිර්මාණය වී ඇත්තේ දූපත් 63කින් වන අතර සෙන්තෝසා දිවයින ද ඉන් එක් දිවයිනකි. සෙන්තෝසා දිවයින සිංගප්පූරුවේ ප්‍රධාන දිවයිනට ඉතා ආසන්නයෙන් පිහිටි දූපත වන අතර ම, සුඛෝපභෝගී හෝටල් සමග ම සැලකිය පහසුකම් ඇති දූපතකි. එයට ප්‍රධාන හේතුව වන්නේ ලෝක සංචාරක අවධානය දිනාගෙන ඇති සිංගප්පූරුවේ ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස සෙන්තෝසා දිවයින සංචාරක ආකර්ෂණය දිනා ගැනීම ය. තව ද සෙන්තෝසා දිවයිනට කේබල් කාර් ඇතුඵ ප්‍රවාහන මාධ්‍ය ගණනාවක් යොදා ගනිමින් පැමිණිය හැකි වීම ද තවත් විශේෂත්වයක් වේ‍.

අදුරු ඉතිහාසයක් ඇති දිවයිනක්...


සෙන්තෝසා දිවයිනේ ඉතිහාසය සලකා බලන විට මෙහි ඉතිහාසය ඉතා සුන්දර නොවන භීතියක් පැතුරුණු දිවයිනක් බව පැහැදිලි වේ. සෙන්තෝසා දිවයින කලක් භයානක මුහුදු කොල්ලකරුවන්ට වාසස්ථානයක් වීම, දෙවැනි ලෝක යුද්ධ සමයේදී සමූල ඝාතන සිදු වූ දිවයිනක් වීම සහ භයානක හදිසි අනතුරු සිදු වූ දූපතක් වීම යනාදිය හේතුවෙන් ද අදුරු ඉතිහාසයකට හිමිකම් කියයි. මෙකී අදුරු ඉතිහාසයක් ඇති දූපතක් ම ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර සාකච්ඡා පැවැත්විමට යොදා ගැනීම සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර මාධ්‍ය කිසියම් දැඩි උනන්දුවක් දක්වමින් වාර්තා කරයි. 

(මූලාශ්‍රය - BBC)

No comments:

Post a Comment