Friday, June 8, 2018

ගංජා බොන්න කැනඩාවටත් අවසර ලැබෙයි...

"ගංජා භාවිතය පිළිබද පනත් කෙටුම්පත" සම්මතයි...


මත්ද්‍රව්‍යයක් ලෙස ගංජා භාවිත කිරීමට අවසර දෙන "ගංජා භාවිතය පිළිබද පනත් කෙටුම්පත"ට කැනඩාවේ සෙනට් මන්ත්‍රී මණ්ඩලයේ ද (දෙවන මන්ත්‍රී මණ්ඩලය) අනුමැතිය ලැබී තිබෙන බව බී.බී.සී. වෙබ් අඩවිය සදහන් කරනවා. කැනඩාව ෆෙඩරල් රාජ්‍යයක් වන නිසා එහි නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ලෙස මන්ත්‍රී මණ්ඩල දෙකක් තිබෙනවා. කැනඩා පාර්ලිමේන්තුවේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය තුළ "ගංජා භාවිතය පිළිබද පනත් කෙටුම්පත"ට  පක්ෂව නියෝජිතයන් 56දෙනෙකු ද, විපක්ෂව නියෝජිතයන් 30දෙනෙකු ද ඡන්දය පාවිච්චි කර තිබෙනවා. කෙසේ නමුත් මෙකී පනත් සම්මතය සිදු වුව ද මෙහි යෝග්‍යතාව පරීක්ෂා කිරීමට ද මාස හයක වැනි කාලයක් වෙන් කර තිබෙනවා. 

කැනඩා අගමැතිත් හදිසියෙන් වැඩ කරයි...


එළඹෙන ග්‍රීෂ්ම කාල‍යේදී මෙය ක්‍රියාත්මක කළ හැකි වේ යැයි බලාපොරොත්තුවකින් තව ද කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ සිටින බවත් බී.බී.සී. වෙබ් අඩවිය තවදුරටත් සදහන් කරනවා. 

ගංජා නීතිගත කළ පළමු ජී-7 රට කැනඩාවයි...


කැනඩාව තුළ ගංජා භාවිතය නීතිගත කිරීමත් සමග ලෝක ප්‍රකට ජී-7 කණ්ඩායම තුළ සාමාන්‍ය භාවිතය සදහා ද ගංජා නීතිගත කළ පළමු රට බවට කැනඩාව පත් වෙනවා. ජී-7 කණ්ඩායම ලෙස හදුන්වන්නේ ඉතා ඉහළ ආර්ථික වර්ධනයක් පෙන්වමින් ඉදිරියට යන ලෝකයේ ඉහළ මට්ටමේ සිටින රටවල් 7යි. මේ රටවල් වන්නේ එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය යන රාජ්‍යයනුයි. 

ඖෂධ සදහා ගංජා යොදාගැනීම 2001 සිට ම...


කැනඩාව තුළ ඔෟෂධ හෝ වෛද්‍ය හේතු සදහා ගංජා භාවිත කිරීම 2001දී නීතිගත කරනු ලැබුවා. ඖෂධ හෝ වෛද්‍ය හේතු සදහා ගංජා නිෂ්පාදන නිපදවිය හැකිව තිබුණේ බලපත්‍රලාභීන්ට පමණකි. දැන් කැනඩාව උත්සාහ කරන්නේ සාමාන්‍ය භාවිතයක් ලෙස ගංජා භාවිත කිරීම නීතිගත කිරීමටයි.

නීතිය විධිමත් වෙන්න මාස තුනක කාලයක්...


කැනඩාව තුළ ගංජා භාවිතය නීතිගත කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සහිත "ගංජා භාවිතය පිළිබද පනත් කෙටුම්පත" එරට නීතියක් ලෙස ලේඛනාරූඪ වීමට තවත් සති 12ක පමණ කාලයක් (මාස 3ක්) ගතවෙනවා. එසේ වුව ද ඔවුන්ට එය නීතියක් ලෙස ලේඛනාරූඪ වන තෙක් බලා නොහිද සාමාන්‍ය භාවිතය සදහා ද ගංජා මිලදී ගැනීම කළ හැකියි.

ගංජා භාවිතයේ ස්වරූප පිළිබද තීරණ ගැනීමේ ප්‍රාදේශීය මට්ටමින්...


ගංජා භාවිතය නීතිගත කිරීමත් සමග කැනඩාවේ ප්‍රාන්ත සහ පළාත්වලට ගංජා භාවිතය සම්බන්ධයෙන් තීරණ ගැනීමට ද වගකීම පවරා තිබෙනවා. එනම් සිල්ලර වෙළෙදපොළ තුළ ගංජා විකිණිය යුතු ආකාරය සහ ප්‍රසිද්ධ ස්ථානවල ගංජා පානය කළ හැකි ද? යනාදී දේවල් තීරණය කිරීමේ වගකීම පැවරෙන්නේ කැනඩාවේ ප්‍රාදේශීය පාලන ඒකකවලටයි. 

වැඩිපුර ම ගංජා බොන අය අතර කැනඩාවේ තරුණ ප්‍රජාවත් ඉන්නවලු...


කැනඩාවේ තරුණ ප්‍රජාව ලෝකය තුළ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ වැඩි වශයෙන් ම ගංජා භාවිත කරන පිරිසක් ලෙස ය. කෙසේ වුව කැනඩාවේ අගනුවර වන ඔටාවා ප්‍රදේශයේ මතය වන්නේ ගංජා නීතිගත කළ ද එකී නීතියෙන් තරුණ ප්‍රජාව බැහැර කළ යුතු බව ය. විශේෂයෙන් සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම, ගංජා භාවිතය සමග පොලීසිය සහ යුක්ති පද්ධතිය සමග ඇති විය හැකි බොහෝ නෛතික බැදීම් අවම කිරීම මෙන් ම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ගංජා පරිභෝජනය සීමාසහිත තත්ත්වයක පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බව ඔටාවා ප්‍රදේශය සදහන් කරනවා.


ගංජා ආයෝජන වේගයෙන් එයි...  


කැනඩාව තුළ ගංජා භාවිතය නීතිගත කිරීමට කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ දුන් පොරොන්දුවත් සමග එරට ගංජා වගා ක්ෂේත්‍රයට අවශ්‍ය ආයෝජන වේගයෙන් පැමිණි  අතර ඖෂධ සදහා ගංජා වගා කරන ආයතන කැනඩා කොටස් වෙළෙදපොළේ ඉහළ අගයක් පෙන්නුම් කරමින් ඉදිරියට ද පැමිණ තිබෙන බව වාර්තා වෙනවා.

(මූලාශ්‍රය - BBC)
(Getty Images)


1 comment:

  1. https://gadyanohothkavi.blogspot.com/2018/06/blog-post_86.html

    ReplyDelete