Monday, June 4, 2018

ජෝර්දානයේ අගමැතිත් ගෙදර යයි...

ජෝර්දානයේ අගමැති හනී අල් මුල්කිගේ ඉල්ලා අස්වීම පිළිගැනීමට එරට රජු වන දෙවැනි අබ්දුල්ලා රජු කටයුතු කළ බව එරට රාජකීය මන්දිරය සදහන් කරයි. ජෝර්දානයේ රජු සමග අද (04) දිනයේ පැවති හමුවීමකදී එරට අගමැතිවරයා තම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඉල්ලා අස්වීමට ජනතා උද්ඝෝෂණත් හේතුවක් වෙයි...


ජෝර්දානයේ ආදායම් බදු ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත් එරට ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කර තිබෙන සහ එරට පවතින භාණ්ඩ මිල ඉහළදැමීම පවතින අවස්ථාවක ඔහු මෙලෙස ඉල්ලා අස්වී තිබේ. එරට පාලනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව දැනට එරට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහි විරෝධතාවන් සමනය කිරීමේ අරමුණින් මෙම ඉල්ලා අස්වීම සිදු වී තිබේ. ජෝර්දානයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පසුගිය දින හතරේ ම එරට අගනුවර වන අම්මාන් නුවර සහ ප්‍රධාන නගර ගණනාවක ම විරෝධතා පැවැත්විණි.

ආදායම් බද්ද තවත් සියයට පහකින් නග්ගන්න හදයි...


දැනට එරටට යෝජිත ආදායම් බදු ප්‍රතිසංස්කරණ යටතේ ආදායම් බද්ද අවම වශයෙන් තවත් සියයට පහකින් (5%) ඉහළ නැංවීමට යෝජිතව පැවතිණි. අගමැතිවරයා ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිංස්කරණ සම්බන්ධ පනත් කෙටුම්පත් ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැති මුල්කි තනතුරෙන් ඉවත් කරන ලෙසත් කියමින් ජෝර්දානයේ නොසන්සුන්කාරී තත්ත්වයට සම්බන්ධ විරෝධතාකරුවෝ විරෝධතා පවත්වමින් සිටියහ.
ජෝර්දානයේ අගමැති හනී අල් මුල්කි අගමැති ධුරයට පත් වූයේ 2016 වර්ෂයේ වන අතර ඒ වන විට ඔහුට මුහුණ දීමට තිබූ ප්‍රධාන ප්‍රශ්නය වූයේ කලාපීය ගැටුම්කාරී තත්ත්වය සහ සරණාගත ප්‍රශ්නය සමග ජෝර්දානයේ ආර්ථික තත්ත්වය ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම ය.


නව අගමැතිවරයා ගැන ඉගි පහළ වෙයි...


හනී අල් මුල්කිගේ ඉල්ලා අස්වීමත් සමග නව ආණ්ඩුවක් පිහිටුවීමේ කටයුත්ත භාර ගන්නේ දැයි ඕමාර් අල් රාසාස්ගෙන් එරට රජු වන දෙවැනි අබ්දුල්ලා රජු විමසා තිබේ. ඕමාර් අල් රාසාස් ලෝක බැංකුවේ හිටපු ආර්ථික විද්‍යාඥයෙකු වන අතර ම ජෝර්දානයේ ජනතාවගේ ප්‍රසාදය දිනාගත් චරිතයක් ද වන්නේ ය. කෙසේ වුව ද ඕමාර් අල් රාසාස් පත් කිරීම පිළිබදව ද විවිධ පාර්ශවයන්ගේ විවේචන තිබෙනවා මෙන් ම, නව අගමැතිවරයෙකු පත්කිරීම පිළිබදව අදහස් දක්වන විවිධ පාර්ශව සදහන් කරන්නේ මෙය හුදෙක් මුහුණු මාරු කිරීමක් පමණක් වන බව ය.

ජෝර්දානයේ තියෙන්නේ මොන වගේ ප්‍රශ්න ද?


ජෝර්දානය දීර්ඝකාලයක් තිස්සේ විවිධ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ පා සිටින රටක් වන අතර බොහෝ දුරට විදෙස් ආධාර මත විශ්වාසය තබා ආර්ථිකය පවත්වාගෙන යයි. එරට ජනතාව ද ආණ්ඩුවෙන් ආහාර සහනාධාර ඉල්ලා සිටින අතර විකුණුම් බදු අය කිරීම ප්‍රතික්ෂේප කරති. නිවාස සැපයීම, ආරක්ෂාව සහ අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය සේවාවලට වියදම් වෙන් කිරීම සහ රැකියා සැපයීම වැනි කටයුතු කිරීම හේතුවෙන් ජෝර්දානයට තම ආර්ථික තත්ත්වය ප්‍රශස්ත ලෙස පවත්වා ගැනීමේ අපහසුතාවක් තවදුරටත් මතු වන බව මෙය පිළිබදව අදහස් දක්වන එරට විශ්ලේෂකයෝ සදහන් කරති. එරට ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස එරට ණය ප්‍රමාණය තරමක් අඩු වී ඇති අතර, එයට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 95ක මට්ටමක් ලෙස තවදුරටත් පවතී. එරට ආණ්ඩුව ජනතාවගේ එදිනෙදා භාවිත කරන භාණ්ඩවල මිල ඉහළ දැමීම එරට නොසන්සුන්තාවන්ට ප්‍රධාන හේතුවක් වී තිබිණි.


ජෝර්දානයේ තෙල් මිල මාස හයට පස් පාරක් වැඩි කරලා...


ජෝර්දානය එරට ඉන්ධන මිල මේ වසර (2018) තුළ පමණක් පස් වාරයක් ඉහළ නංවා ඇති අතර එරට විදුලි බිල ද ඉහළ ගොස් තිබේ. "ද ඉකොනොමිස්ට්" (The Economist) සගරාව ප්‍රකාශ කරන ආකාරයට වියදම් අධික ම අරාබි නගරය වන්නේ ජෝර්දානයේ අගනුවර වන අම්මාන් නුවරයි.

(මූලාශ්‍රය - Al Jazeera)


No comments:

Post a Comment