Monday, June 4, 2018

ඔස්ට්‍රේලියාවේ බැංකුවක් එරට වැඩි ම දඩය ගෙවීමට සූදානම් වෙයි...

ඔස්ට්‍රේලියාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධ එරට නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 53ක දඩයක් (ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් කෝටි 7950කට වැඩි මුදලක්) ගෙවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම බැංකුව සදහන් කරයි.

කිසිදු සිද්ධියක් ගණන් නොගැනීමේ ප්‍රතිඵල


මෙකී සිද්ධියට සම්බන්ධ පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුවේ ගනුදෙනු අතර සැකසහිත ගනුදෙනු 53,000ක් පමණ තිබුණ ද එකී බැංකුව එය සම්බන්ධයෙන් එරට වගකිව යුතු අධිකාරීන්ට දැනුම් දීමෙන් ද වැළකී හිද තිබේ.
ඔස්ට්‍රේලියාවේ මූල්‍ය බුද්ධි ඒජන්සිය ඉකුත් වසරේදී ද පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව මූල්‍යමය පාර්ශවයෙන් කර තිබෙන නීති උල්ලංඝනයන් පිළිබදව දැනුවත් කර තිබේ.

සිවිල් නඩුවක් සම්බන්ධ විශාල ම දඩය මෙයයි...


කෙසේ වුව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව වැරදිකරු යැයි එරට අධිකරණය තීරණය කළහොත් පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුවට ඉහත සදහන් කරන ලද රුපියල් කෝටි 7950කට වැඩි වටිනාකමකින් යුත් දඩය ගෙවීමට සිදු වන බව බී.බී.සී. මාධ්‍ය ජාලය වාර්තා කරන අතර අදාළ බැංකුවට මෙම දඩය ගෙවීමට සිදුවුවහොත් එය ඔස්ට්‍රේලියානු සංස්ථාපිත ආයතන ඉතිහාසය තුළ සිවිල් නඩුවක් සම්බන්ධයෙන් ගෙවීමට සිදු වූ ඉහළ ම දඩය වන බව ද බී.බී.සී. වෙබ් අඩවිය තවදුරටත් සදහන් කරයි. 

බැංකුව වැරදි බව බැංකුව ම කියයි...


මෙය සම්බන්ධයෙන් අද (04) දිනයේ ප්‍රකාශයක් කළ පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා සදහන් කළේ "බැංකුව සිතා මතා මෙවැනි කටයුත්තක් නොකළ ද, බැංකුව අතින් ද වරදක් සිදුවී ඇති බව තමන් ද පිළිගන්නා" බව ය. 

හදුනාගත නොහැකි තැන්පතුවල ප්‍රශ්නය


මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනාවන්ට ලක් වී සිටින ඔස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලීය බැංකුවට මෙකී කලු සල්ලි සම්බන්ධ සිද්ධියේදී වැඩි වශයෙන් ම චෝදනා එල්ල වන්නේ අදාළ බැංකුවේ මුදල් තැන්පතු යන්ත්‍රය මාර්ගයෙන් බැංකුවේ ගිණුම් හිමියෙකු නොවන පුද්ගලයන් විවිධ අවස්ථාවලදී බැංකුවට මුදල් තැන්පත් කිරීම සම්බන්ධ සිද්ධීන් හේතුවෙනි. එලෙස විවිධ අවස්ථාවලදී ඔස්ට්‍රේලියානු ඩොලර් 20,000කට වැඩි මුදල් ප්‍රමාණයන් විවිධ අවස්ථාවලදී මුදල් තැන්පතු යන්ත්‍රය මාර්ගයෙන් බැංකුවට තැන්පත් කිරීමේ සිද්ධි ගණනාවක් මෙලෙස වාර්තා වී තිබේ. එවැනි සිද්ධීන්වලදී බැංකුව ද අදාළ රජයේ මූල්‍ය අධිකාරී හෝ නියාමන ආයතනවලට දැනුම් දී අදාළ සිද්ධි පිළිබදව විමර්ශනයකට නොයෑම මෙකී සිද්ධිය දික්ගැසීමට ප්‍රධාන හේතුව ලෙස වාර්තා වේ. මෙය සම්බන්ධයෙන් අදහස් දක්වන පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව සදහන් කරන්නේ මුදල් තැන්පතු යන්ත්‍රයේ කේතකරණ දෝෂයක් හේතුවෙන් මෙකී ගනුදෙනු සම්බන්ධයෙන් වාර්තා කිරීමට අදාළ යන්ත්‍ර ද අපොහොසත් වී ඇති බව ය. 

ගොඩින් බේරා ගැනීමට ඉඩ නොදීම


ගනුදෙනු සහ විශ්ලේෂණ වාර්තා පිළිබද ඔස්ට්‍රේලියානු මධ්‍යස්ථානය (Austrac) මේ පිළිබදව තවදුරටත් සදහන් කරන්නේ මෙකී සිද්ධිය සම්බන්ධයෙන් ගොඩින් බේරාගැනීමට එකගතා ගිවිසුම් අත්සන් කිරීම යනු මෙවැනි කටයුතු සිදුවීම තවදුරටත් ගණන් නොගෙන සිටින බව සිතා මතා පෙන්නුම් කිරීමක් බව ය. එහෙයින් එකගතා ගිවිසුමකින් මෙය ගොඩින් බේරා ගැනීම වෙනුවට රජයේ පාර්ශවය සහ බැංකුවේ පාර්ශවය යන දෙපාර්ශවය ම දැන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය මෙය සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ලබාදෙන තෙක් බලා සිටිති. 

පුරුද්දට ගිය වැරදි


පසුගිය දශකයක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් මෙවැනි චෝදනා ගණනාවක් එල්ල වී තිබේ. මෙයට ආසන්නත ම සිදුවීම වන්නේ ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් ඉකුත් දෙසැම්බර් මාසයේදී මූල්‍ය ආයතන මුදල් විශුද්ධිකරණය කිරීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සදහා රාජකීය කොමිසමක් පත්කිරීම ය.
කෙසේ වුව ද ඔස්ට්‍රේලියාවේ මූල්‍ය ආයතන නියාමනය කිරීමේ අධිකාරී ආයතන එරට පොදුරාජ්‍ය මණ්ඩලීය  බැංකුවේ මුදල් විශුද්ධිකරණ කටයුතු සම්බන්ධයෙන් හෙළි කිරීම, එය සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම සහ එය අධිකරණ ක්‍රියාවලියට යොමු කිරීමත් සමග එරට පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව ද ඉතා අපකීර්තිමත් තත්ත්වයකට පත්ව සිටින බව තවදුරටත් වාර්තා වේ.

(මූලාශ්‍රය - BBC)   


No comments:

Post a Comment