Thursday, June 7, 2018

උතුරු අයර්ලන්තය තුළ ගබ්සාව තවදුරටත් තහනම්...

ගබ්සාව ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්...


උතුරු අයර්ලන්තය තුළ ගබ්සාව නීතිගත කරන ලෙස අභියාචනා කරමින් උතුරු අයර්ලන්ත මානව හිමිකම් කොමිෂන් සභාව එස්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය අද (07) ප්‍රතික්ෂේප විය.

නීතිය යල් පැන ඇති බව විනිසුරුවරු පවසති...


කෙසේ වුව ද ලිංගික අපරාධ හෝ  ගර්භිණීභාවය හේතුවෙන් මවගේ අසාමාන්‍ය මානසික හැසිරීම් ඇතිවන අවස්ථාවලදී එරට කාන්තාවකට ගබ්සාවක් කිරීමට නොහැකි වීම එරට පවතින නීතියේ දැඩි දුර්වලතාවක් වන බව ද මෙම නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරුවරුන් පිරිසක් අදහස් දක්වමින් කියා සිටියහ.

උතුරු අයර්ලන්තයට පමණක් වෙනස්කමක්...


එක්සත් රාජධානිය 1967දී ගෙන ආ ගබ්සා පනත මගින් උතුරු අයර්ලන්තය හැර රාජධානියේ අනෙක් කොටස්වල වෙසෙන කාන්තාවන්ට ගබ්සාවක් කිරීමේ අයිතිය ලබා දුන්නේ ය. පනතේ එකී නෛතික හිමිකම උතුරු අයර්ලන්තයට අහිමි විය.

උතුරු අයර්ලන්ත නීතියට අනුව ගබ්සා කළ හැකි අවස්ථා...


උතුරු අයර්ලන්තයේ දැනට පවතින නීතිය අනුව ගර්භිණී කාන්තාවකට ගබ්සා කිරීමේ අයිතියක් හිමි වන්නේ ඇයගේ ජිවිතයට අවදානමක් ඇති වන බව හෝ අැයගේ ශාරීරික/මානසික සෞඛ්‍යයට සදාකාලික හෝ බරපතළ අවදානමක් ඇති වේ යැයි වෛද්‍ය නිර්දේශයක් ඇත්නම් පමණි.

අයර්ලන්තයට ගබ්සාව කළ හැකි වන විට උතුරු අයර්ලන්තයට ගබ්සාව කළ නොහැකි වෙයි... 


මහා බ්‍රිතාන්‍යයෙන් වෙන්වී සිටින අයර්ලන්තය පසුගිය මස 25 වැනිදා (මැයි 25)  එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 36වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ගබ්සාව නීතිගත කිරීමට කටයුතු කළේ ය. එහෙත් මහා බ්‍රිතාන්‍යයට අයත් කොටසක් වන උතුරු අයර්ලන්තයේ කාන්තාවන්ට ගබ්සා කිරීම තවදුරටත් තහනම් ක්‍රියාවකි.

අයර්ලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ වෙනස මොකක් ද?


අයර්ලන්තය යනු වෙන ම රාජ්‍යයක් වන අතර උතුරු අයර්ලන්තය යනු එක්සත් රාජධානියට අයත් පාලන ඒකකයකි. අයර්ලන්ත දූපතේ ඉහළ කොටසේ උතුරු අයර්ලන්තය පිහිටා තිබුණ ද, උතුරු අයර්ලන්තයේ පාලන බලය හිමි වී ඇත්තේ එක්සත් රාජධානියට මිස අයර්ලන්ත රජයට නොවේ. මේ අනුව අයර්ලන්තය වෙන ම පාලන ඒකකයක් බවත්, උතුරු අයර්ලන්තය යනු එක්සත් රාජධානියට යටත් පාලන ඒකකයක් වන බවත් වටහා ගත යුතු ය.

(මූලාශ්‍රය - BBC)

No comments:

Post a Comment