Thursday, January 4, 2018

ඔස්ට්‍රේලියාව ලෝකයේ ලොකු ම ගංජා මුදලාලි වෙන්න හදයි...

ඔස්ට්‍රේලියාව ලෝකයේ විශාල ම ගංජා (කංසා) අපයනයනකරු වීමට බලාපොරොත්තු වන බව එරට රජය නිවේදනය කරයි. විවිධ රෝගවලට අවශ්‍ය බෙහෙත් නිපදවීම සදහා ගංජා සැපයීමට මේ අනුව බලාපොරොත්තු වන බව ද ඔස්ට්‍රේලියානු රජය තවදුරටත් සදහන් කරයි.


ගංජා වවන්න නීති වෙනස් කරයි...

ඔස්ට්‍රේලියාව එරට ගෘහස්ථ වෙළෙදපොළට පමණක් නොව ජාත්‍යන්තර වෙළෙදපොළට ද ගංජා අලෙවි කිරීමට මේ අනුව බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් කැනඩාව සහ නෙදර්ලන්තය සදහා ගංජා නිෂ්පාදන අලෙවි කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නීති රෙගුලාසි වෙනස් කිරීමට රජය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතක් මගින් මෙම නීති තත්ත්වය වෙනස් කිරීමට ඔස්ට්‍රේලියාව  තීරණය කර ඇති අතර එයට එරට විපක්ෂය වන කම්කරු පක්ෂයේ සහය ද ලබා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. දේශීය රෝගීන්ගේ බෙහෙත්වලට අවශ්‍ය ගංජා සැපයීම ද මේ යටතේ අඛණ්ඩව සිදුවන බව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් සදහන් කරනවා. 
ඖෂධ නිපදවීම සදහා ගංජා භාවිත කිරීම ඔස්ට්‍රේලියාව 2016දී නීතිගත කළ අතර මත්ද්‍රව්‍යයක් ලෙස ගංජා භාවිත කිරීම එරට නීතියට අනුව නීතිවිරෝධීයි. 


ගංජා වැවීමෙන් වාසි වෙන්නේ කාට ද?

ලෝකයේ ලොකු ම ගංජා අපනයනකරු වීම සදහා එරට ගොවිපොළ හිමියන්ට සහ නිෂ්පාදන ආයතනවලට ගංජා නිපදවීමට අවශ්‍ය අවසරය දීමේ ක්‍රමවේදයක් සකසන බව ද එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරනවා. 
ගංජාවලින් තැනූ තෙල්, ස්ප්‍රේ සහ පෙති ඇතුළු නිෂ්පාදන මේ යටතේ අපනයනය කිරීමට ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු වෙනවා. ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන ආකාරයට මෙයත් සමග ඔස්ට්‍රේලියාවේ රෝගීන්ට මෙන් ම ව්‍යාපාරිකයන්ට ද ඉහළ ප්‍රතිලාභයක් අත්වෙනවා.


ලෝකයට අවශ්‍ය ගංජා ප්‍රමාණය

ඇමෙරිකාවේ ගණන් බැලීම්වලට අනුව 2025වන විට ලෝකයේ ඖෂධ නිපදවීමට අවශ්‍ය ගංජා ප්‍රමාණයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 55ක් (ස්ටර්ලින් පවුම් බිලියන 40/ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 70) වෙනවා. 

(මූලාශ්‍රය-BBC)

ඉරානය කැලඹෙයි...ආධ්‍යාත්මික නායකයාගේ රෙදි ගැලවෙයි...

ඉරානයේ කැලඹීම

ඉරානයේ දැනට පවතින ආර්ථික පීඩාව සහ දේශපාලන මර්දනය හේතුවෙන් එරට ජනතාව දින ගණනක සිට ඉරානයේ වීදිවලට බැස දැඩි විරෝධතාවක යෙදී සිටිනවා. විරෝධතාවේ පස්වැනි දිනය යෙදී තිබුණු 2018 ජනවාරි පළමුවැනිදා විරෝධතාවේ යෙදී සිටි පුද්ගලයන් 10දෙනෙකු මරා දැමුණු අතර දැනට විරෝධතාව හේතුවෙන් පුද්ගලයන් 21දෙනෙකු මිය ගොස් තිබෙනවා. එරට ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කොමෙයිනි එරට විරෝධතාකරුවන් රාජ්‍යද්‍රෝහීන් යැයි නම් කර තිබුණත් ජනවාරි 02වැනිදා විරෝධතාකරුවන් දසදහසක සහභාගිත්වයෙන් පැවති දැවැන්ත විරෝධතාවත් සමග  විරෝධතාකරුවන්ගේ රාජ්‍යද්‍රෝහීභාවය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

කැලඹීමේ ආරම්භය සහ ඒවාට හේතු 

ඉරානයේ දැනට පවතින නොසන්සුන්කාරී තත්ත්වය එරට දෙවැනි ප්‍රධාන නගරය වන මෂාඩ් හිදී දෙසැම්බර් 28වැනිදා ආරම්භ වුණේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන්. ඉන් පසුව මේ විරෝධතා එරට අගනුවර වන ටෙහෙරාන් නුවර ද සමග නගර 50ක පමණ ව්‍යාප්ත වුණා වගේ ම මේ විරෝධතාවලට දහස් ගණනක ජනතාවක් ද එකතු වුණා. විරෝධතාව දිගින දිගට ම ව්‍යාප්ත වීමත් සමග විරෝධතාකරුවන් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්තා සහ රජයේ ආරක්ෂක අංශ සමග ඇති කරගත් ගැටුම්වලින් දැනට පුද්ගලයන් 21ක් පමණ මියගොස් තිබෙනවා. තවත් සියගණනක් අත්අඩංගුවට පත්වී සිටිනවා. 

"ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ" ප්‍රතිපත්තිය

ඉරානයේ ජනාධිපති හසන් රොවුහානිගේ ආණ්ඩුවේ කටයුතු ජනතාවට දැඩි පීඩාවක් ඇති කර ඇති බව මෙසේ විරෝධතාවට එක් වී සිටින පිරිස සදහන් කරනවා. ආණ්ඩුව එරට පවතින පීඩාකාරී ආර්ථිකය, රැකියා වියුක්තිය, උද්ධමනය සහ දූෂණය වැළැක්වීමට හෝ අවම කිරීමට අසමත් වී ඇති බව විරෝධතාකරුවන් සදහන් කරනවා. විරෝධතාකරුවන් තවදුරටත් කියා සිටින්නේ "ලෝකෙට පරකාසේ-ගෙදරට මරගාතේ" වැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ඉරාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා රටේ ජනතාව අසරණ වී ඇති බවයි. ඉරානයේ ජනතාව ගෙදරට වී දුක් විදිද්දී ඉරාන ආණ්ඩුව තම රටෙන් බැහැර වෙනත් ගැටුම් සහ ප්‍රශ්න විසදීම සදහා තොගපිටින් මුදල් වියදම් කරමින් රටේ ජනතාවගේ මූලික අවශ්‍යතා ගැනවත් සැලකිල්ලක් නොදක්වන බව විරෝධතාකරුවන් කියනවා. 

ආධ්‍යාත්මික නායකයාගේ රෙදි ගැලවීම

මේ විදියට රටේ ආණ්ඩුව විවේචනය කරන විරෝධතාකරුවන් "ඒකාධිපතියාට මරණය" යනුවෙන් සටන් පාඨ කියමින් සිටිනවා. මෙහිදී ඔවුන් ඒකාධිපතියා ලෙස අදහස් කරන්නේ එරට ජනාධිපති හසන් රොවුහානි නොව එරට ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කොමෙයිනි ගැනයි. 

ආණ්ඩුවේ පහරදීම්

ඉරානයේ ජනාධිපති මේ ගැන කියන්නේ රටේ ජනතාවට ආණ්ඩුව විවේචනය කිරීමට සහ විරෝධතාවේ යෙදීමට අයිතියක් ඇතත් මහජන දේපළ විනාශ කිරීමට අයිතියක් නැති බවයි. විරෝධතාකරුවන් පොදු දේපළ විනාශ කරමින් ආරක්ෂක අංශවලට බලපෑම් කිරීමට ගියහොත් ආරක්ෂක අංශත් එයට ගැළපෙන විදියට පිළිතුරු දෙනු ඇතැයි ඉරාන ජනාධිපති රොවුහානි විරෝධතාකරුවන්ට අනතුරු අැගෙව්වා. රොවුහානි තවදුරටත් කියා සිටින්නේ රටේ පවතින ගැටලු විසදීමට තමන්ට උදව් කරන ලෙසයි. ඒත් විරෝධතාකරුවන් මේ කිසි දෙයක් අහන්නේ නැතිව විරෝධතාවේ යෙදිලා ඉන්නවා. 
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කොමෙයිනි කියන විදියට මේ විරෝධතාකරුවන් රටට එරෙහි කුමන්තුණකාරයෝයි. ඔවුන්ට මුදල්, ආයුධ, ඔත්තු සේවා යන පහසුකම් ලැබිලා තියෙන බවත් රට අස්ථාවර කිරීමට ඔවුන් විරෝධතා පවත්වන බවත් ඔහු කියනවා. 

අන්තර්ජාල සහ දුරකථන තහනම

දැන් ආණ්ඩුව ඉරානයේ ජනතාවට වෙබ් අඩවිවලට යන්න, විදුලි පුවත් යවන්න සහ වීඩියෝ හුවමාරු කරගන්න බැරි විදියට අන්තර්ජාල සහ දුරකථන පහසුකම් සියල්ල නවතා තිබෙනවා. ඒත් මීට කලින් ඉරානයේ ජනතාවට මේ පහසුකම් තිබ්බා. මේ ගැටුම්කාරී තත්ත්වයත් සමග ඉරානයේ තත්ත්වය ලෝකයට යෑම වැළැක්වීමට ආණ්ඩුව මෙවැනි පියවරක් අනුගමනය කර තිබෙනවා.

විරෝධතාවේ යෙදෙන පිරිස

ඉරානය තුළ 2009දීත් මෙවැනි දැවැන්ත විරෝධතා ඇතිවුණේ එරට ජනාධිපතිවරණයේදී මොහොමඩ් අහමදිනෙජාඩ් මැතිවරණය දුෂණය කළ බව කියමින්. ඒත් එරට ආධ්‍යාත්මික නායකයාගේ මැදිහත්වීම මත මේ විරෝධතා සියල්ල මැඩ පැවැත්වුණා. එහිදී විරෝධතාකරුවන් විශාල පිරිසක් මරා දැමීම සහ රදවා ගැනීම සිදුවුණා. 2009දී පැවති විරෝධතාවේදී විරෝධයේ යෙදුනේ බොහෝ දුරට අධ්‍යාපනයක් ලැබූ උගත් පිරිසයි. ඒත් දැන් ඉරානයේ ඇති වෙලා තියෙන විරෝධතාවලට එකතුවෙලා ඉන්නේ එදිනෙදා වේල පිරිමහගැනීමට තරම්වත් අපහසු හෝ රැකියා නොමැති පිරිසයි.
ඉරානයේ දුප්පත්කම දැනට සියයට 15යි. එරට ජනතාවගේ පාන්, කිරි සහ රතු මස් පරිභෝජනය කිරීමේ ප්‍රතිශතයත් දැන් සියයට 30ක් දක්වා පහත වැටිලා තියෙනවා. ඉරානයේ රැකියා වියුක්තිය නිල වශයෙන් සියයට 12.4ක් වුණත් සමහර ප්‍රදේශවල මේ අගය සියයට 60ක් පමණ අගයක් ගෙන තිබෙනවා.


ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය

ඉරානයේ දැනට පවතින තත්ත්වය ගැන ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ තමන් විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවයි. ඉරානයේ ජනතාව දැන් ආහාර සහ නිදහස වෙනුවෙන් සටන් කරන බවයි ඔහු කියන්නේ. දැන් ඉරානයට වෙනසක් අවශ්‍ය බවත් ඔහු තවදුරටත් කියනවා. 
මේ ගැන යුරෝපා සංගමය කියන්නේ ඉරානයේ ජනතාවට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කර අදාළ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට ඉරාන ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි. 

(මූලාශ්‍ර-BBC, AFP, Wikipedia)

Tuesday, January 2, 2018

ඇමෙරිකාව ගංජා නීතිගත කර ජනවාරි 01වැනිදා වැඩ අල්ලයි...

ගංජා භාවිතය නීතිගත කළ ඇමෙරිකාවේ විශාල ම ප්‍රාන්තය

ඇමෙරිකාවේ කැලිපෝනියා ප්‍රාන්තය 2018 ජනවාරි 01වැනිදා සිට ගංජා (කංසා) භාවිතය නීතිගත කර තිබෙනවා. ගංජා භාවිතය නීතිගත කළ ඇමෙරිකාවේ විශාල ම ප්‍රාන්තය වන්නේ ද කැලිපෝනියාවයි. කැලිපෝනියාව වෛද්‍ය නිර්දේශ මත බෙහෙතක් ලෙස ගංජා භාවිතා කිරීම 1996 සිට නීතිගත කර තිබුණත් වැඩිහිටියන්ට එය මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීම නීතිවිරෝධී තත්ත්වයකයි පැවතුනේ. 

මරිජුවානා පැළ 6ක් වවන්නත් අවසර දෙයි

ඒත් 2018 ජනවාරි 01වැනිදා සිට කැලිපෝනියා ප්‍රාන්තයේ වයස අවුරුදු 21ට වැඩි පුද්ගලයන්ට ග්රෑම් 28ක් හෙවත් ගංජා අවුන්සයක් තමා ළග තබාගත හැකියි. ඒ වගේ ම තමන්ගේ ගෙදර මරිජුවානා පැළ 6ක් වවන්නත් මේ සමග ම අයිතිය දී තිබෙනවා. මරිජුවානා කියන්නේ ගංජා ගසේ මල් සහ කොළවලින් සාදා ගන්නා මත්ද්‍රව්‍යයයක්. කොහොම වුණත් ඇමෙරිකාවේ ගංජා ගහයි, ලංකාවේ ගංජා ගහයි සමානයි ද කියලා කියන්න නම් දන්නේ නැහැ. 


ගංජා නීතිගත කළ අනිත් ප්‍රාන්ත 

කැලිපෝනියා ප්‍රාන්තයේ වැඩිහිටියන්ට ගංජා භාවිත කිරීමේ අයිතිය ලබා දීමට පෙර ඇමෙරිකාවේ ප්‍රාන්ත හය හතක ම ගංජා භාවිතය පිළිබද නීති ලිහිල් කර තිබුණා. ඒ ප්‍රාන්ත අතර වොෂින්ටන්, ඔරිගන්, නෙවාඩා, ඇලස්කා, මෙයින්, මැසචුසෙට්ස් යන ප්‍රාන්තත් තිබුණා. මීට අමතරව වෛද්‍ය නිර්දේශ මත ගංජා භාවිත කිරීමට ඇමෙරිකාවේ ප්‍රාන්ත 50න් 30ක් පමණ විවිධ වර්ෂවලදී අවසර දී තිබෙනවා.

ජාත්‍යන්තර අබිං සම්මුතියකුත් තියෙනවා...

ගංජා භාවිත කිරීම සහ ඒවා ළග තබා ගැනීම සම්බන්ධ නීති රටින් රටට වෙනස් වෙනවා. ගංජා (කංසා) ළග තබා ගැනීම බොහෝ රටවල නීතිවිරෝධී කටයුත්තක් වුණේ 1925 ජාත්‍යන්තර අබිං සම්මුතිය මගින් ගංජාවලින් සාදන හෂිස් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර යෝජනා කිරීම හේතුවෙනුයි. මෙයත් සමග බොහෝ රටවල් ගංජා (කංසා), අබිං, හෂිස් සහ මරිජුවානා යන මත්ද්‍රව්‍යවලින් ටිකක් හරි ළග තබා ගත් පුද්ගලයෙකුට අපරාධ වරදක් කළා යැයි සලකා නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා.

(මූලාශ්‍ර-BBC, Britannica, Wikipedia)


අරාබියත් වැට් (VAT) බදු කෙළිය පටන් ගනී...

බදු ගැහුවත් ජීවන තත්ත්වය ඉහළට

සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මුල් වරට රට තුළ වැට් (VAT - වටිනාකම එකතු කිරීමේ බද්ද) බද්දක් අය කිරීමට තීරණය කර තිබෙනවා. මේ අනුව එරට භාණ්ඩ හා සේවා බහුතරයක් සදහා සියයට 5ක වැට් බද්දක් අය කිරීමට නියමිත ය. අරාබි කලාපයේ බොහෝ රටවල බදු නොමැති ජීවන තත්ත්වයක් තිබීම හේතුවෙන් බොහෝ ශ්‍රමිකයන්ට ඉතා ඉහළ ජීවන තත්ත්වයක් හිමිව තිබුණා. අරාබි රටවල් එවැනි තත්ත්වයක් තුළයි මේ ආකාරයට වැට් බද්දක් අය කිරීමට සූදානමින් සිටින්නේ. දැන් සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලාපොරොත්තු වන්නේ ඛනිජ තෙල් මිල පහළ දමා ජනතාවගේ ජීවන වියදම් අඩු කර ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටයි. මේ රටවල් දෙක ජනවාරි 01වැනිදා සිට ම මේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය මේ වසරේදී වැට් බද්දෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3ක් ඉපයීමටත් බලාපොරොත්තු වෙනවා.

ආදායම් බදු නැති රටවල්

අරාබියේ බොහෝ රටවල් ලෝකයේ ප්‍රසිද්ධ වී තිබෙන්නේ ආදායම් බදු අය නොකරන රටවල් ලෙසයි. මේ රටවල ජීවත් වන පුද්ගලයන්ගේ ආදායම් බදු ප්‍රතිශතය සියයට 0යි. ඒ කියන්නේ ආදායම් බදු අය කරන්නේ නැහැ. සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැට් බදු අය කිරීමට තීරණය කළත් ආදායම් බදු අය කිරීමට අදහසක් නොමැති බව සදහන් කරනවා. 

වැට් බද්ද අය කරන්නේ හා අය නොකරන්නේ මොනවාට ද?

කොහොම වුණත් වැට් බද්ද යටතේ පෙට්‍රල්, ඩීසල්, ආහාර, ඇදුම් හා හෝටල් ගාස්තු යනාදි සියල්ලට ම බදු අය කිරීමට නියමිතයි. ඒත් වෛද්‍ය ගාස්තු, මූල්‍ය සේවා සහ රජයේ ප්‍රවාහන සේවා සදහා වැට් බදු අය කරන්නේ නැහැ. සවුදි අරාබිය මේ බදු ප්‍රතිපත්තිය යටතේ දුම්කොළ සහ මෘදු පාන වර්ගවලටත් බදු අය කරනවා වගේ ම දේශීය ව්‍යාපාරිකයන්ට ලබාදුන් විවිධ සහනත් කප්පාදු කර තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය මාර්ග ගාස්තු ඉහළ නංවා තිබෙනවා වගේ ම සංචාරක බද්දකුත් හදුන්වා දී තිබෙනවා.    

බදු අය කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම

සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ විදියට වැට් බද්දක් අය කිරීමට ප්‍රධාන හේතුව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙසුයි. රටේ ආදායම් මූලාශ්‍ර විවිධාංගීකරණය කරන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටවලට නිතර උපදෙස් දී තිබෙනවා. එයට ප්‍රධාන හේතුව වන්නේ මේ රටවල් සම්පූර්ණයෙන් ම රදා පවතින්නේ ඛනිජ තෙල් ආදායම මත පමණක් වීමයි. එය දිගුකාලීන ආර්ථික පැවැත්මට අහිතකර නිසා බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටවලින් ඉල්ලා තිබෙනවා. ඒ අනුවයි මේ රටවල් වැට් බද්ද අය කිරීමට තිරණය කර තිබෙන්නේ. 
සවුදි අරාබිය තමන්ගේ අයවැය වියදම්වලින් සියයට 90ක් ම පියවා ගන්නේ ඛනිජ තෙල් ආදායම්වලිනුයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ ප්‍රතිශතය සියයට 80ක් වෙනවා. 

අනෙක් අරාබි රටවල වැට් බද්දට ආසයි..බයයි...ප්‍රතිපත්තිය

සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැට් බදු හදුන්වා දීමත් සමග අරාබියේ රටවල් වන බහරේන්, කුවේට්, ඕමාන් සහ කටාර් රටවල් ද මේ ආකාරයට බදු ප්‍රතිපත්ති හදුන්වා දීමට සූදානම් වන අතර සමහර රටවල් මේ ප්‍රතිපත්ති හදුන්වා දීම 2019 දක්වා කල් දමා තිබෙනවා.

(මූලාශ්‍රය-BBC)


Monday, January 1, 2018

කොන්දොස්තරකමෙන් නළුවෙකු වූ රජිනි ලොක්කා දේශපාලනයට එයි...

තමිල්නාඩුවේ රගපාන දෙවියා

දකුණු ඉන්දීය ජනතාව දේවත්වයෙන් අදහන දකුණු ඉන්දීය සිනමා තරුව රජිනි කාන්ත් දේශපාලනයට එන බව දෙසැම්බර් 31වැනිදා නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. රජිනි සිනමාවෙන් උපයාගත් ජනප්‍රියත්වය දේශපාලනයට යොදා ගැනීමට උත්සාහ කරන බවයි මෙයින් පෙනී යන්නේ. විශේෂයෙන් ම ඔහු දැනටමත් හදුන්වන්නේ රගපෑම සදහා ආසියාවේ වැඩි ම අය කිරීමක් කරන නළුවෙකු ලෙසයි. 

වයස අවුරුදු 67ක් වන රජිනි ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රාන්ත සභා මැතිවරණය සදහා තමන්ගේ ම දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන බව කියා තිබෙනවා. ඔහු කියා තිබෙන්නේ තමිල්නාඩු රජය දුවන ක්‍රමවේදය සම්පූර්ණයෙන් ම වෙනස් කළ යුතු බවයි. ඉදිරි මැතිවරණය සදහා ඔහුගේ ඉලක්කය වන්නේ ආසන 234ක් ලබා ගැනීම බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

රජිනිකාන්ත් තමා දේශපාලන ක්ෂේත්‍රයට පැමිණීමට හේතුවත් මෙහිදී කියා තිබෙනවා. ඔහුගේ වචනයෙන් ම කියනවා නම් ඔහු මෙහෙම කියනවා, "මම දේශපාලනයට එන තීරණය දැන් ම නොගත්තොත් ඒක මම කරපු අපරාධයක් කියලා මගේ හිත මට වද දෙයි. මට තනතුරු, මුදල් හෝ ගරු නම්බු ගන්න දේශපාලනයට එන්න අවශ්‍ය නැහැ. දැන් තියෙන දූෂිත දේශපාලන ක්‍රමයයි, තුච්ඡ ප්‍රජාතන්ත්‍රවාදයයි ඉවරයක් කරලා දාන්න දැන් ඔයාලා මාත් එක්ක යුද්ධයට ලෑස්ති වෙන්න. දෙවියන් තීරණය කරනවා නම් මම හෙට වුණත් මේ තුච්ඡ දේශපාලනය ඉවරයක් කරන්න එනවා". රජනි මේ දේවල් එක්ක තමන්ගේ කතාව කරද්දී එයාගේ ප්‍රේක්ෂකයෝ ගිනි කෙළි පත්තු කර කර, සංගීතයට නටමින්, සටන් පාඨ කියමින් ඉතා ප්‍රීතියෙන් හැසුරුණා කියලා ප්‍රංශ පුවත් සේවය කියනවා.  

මේ සියල්ලෙන් ඔහු අදහස් කළේ දැනට තමිල්නාඩු ප්‍රාන්තයේ පාලන බලය හොබවන AIADMK පක්ෂයත් සමග අනෙක් දේශපාලන පක්ෂවල වර්තමාන ක්‍රියාකාරිත්වය කියලයි ගොඩක් අය කියන්නේ. 

රජිනිගේ අතීතය

අපි විශේෂයෙන් ම රජිනිකාන්ත්ගේ අතීතයත් සලකා බැලිය යුතුයි. මොකද ඔහු 1973 දෙමළ සිනමාවට එන්න කලින් බැංගලෝර් නගරයේ බස් කොන්දොස්තර කෙනෙක් හැටියටයි වැඩ කළේ. ඔහු සිනමාවට ආවට පස්සේ මිලියන 70ක (කෝටි 7ක) ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කරගෙන තියෙනවා. 

රජිනි කාන්ත්ගේ ඇත්ත නම ෂිවාජි රාඕ ගයේක්වඩ් කියන නමයි. ඔහු 1975 ඉදලා මේ දක්වා චිත්‍රපට 200ක විතර රගපාලා තියෙනවා වගේ ම ඒවගෙන් වැඩි හරියක් ඉහළ ආදායම් වාර්තා කඩලා තියෙනවා. 2016දී තිරගත වෙච්ච "කබාලි" චිත්‍රපටය දැනට ඔහු රගපාපු අවසන් චිත්‍රපටයයි. ඒකත් දකුණු ඉන්දියාවේ ආදායම් වාර්තා බිද දාපු චිත්‍රපටියක්. 

(මූලාශ්‍රය-BBC)
 

චීනය 2018දී බල්ලාට යයි...?

බටහිර ක්‍රමයට අනුව අපි ක්‍රිස්තු වර්ෂ 2018ට පැමිණියා. අපි බටහිර ක්‍රමයට නව වසර පිළිගත්තත් බටහිර වර්ෂ ක්‍රම සහ දින වකවානු මත පදනම් නොවී ගොඩ නැගුණු විවිධ දින දර්ශන විශාල ප්‍රමාණයක් ලෝකයේ තිබෙනවා. ඒ අතරින් ආකර්ෂණීය වර්ෂ ක්‍රමයක් ගොඩනගා ගෙන යන්නේ චීනයයි. එයට ප්‍රධාන හේතුව වෙන්නේ චීනය තමන්ගේ සෑම වර්ෂයක් ම ඔවුන් පිළිගත් සත්වයන් 12දෙනෙකු අදාළ කරගනිමින් පවත්වාගෙන යාම නිසායි. ඒ සත්වයන් 12දෙනා වන්නේ මීයා, ගොනා, කොටියා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, බැටලුවා, වදුරා, කුකුළා, බල්ලා සහ ඌරායි. අපි පසු කළ 2017 වර්ෂය කුකුළාගේ වර්ෂයයි. අපි පැමිණි 2018 වර්ෂය චීන ජාතිකයන්ට අනුව බල්ලාගේ වර්ෂයයි.
චීන ජාතිකයන්ගේ පිළිගැනීමට අනුව අදාළ සත්වයන්ගේ වර්ෂයේ ඉපදුනු පුද්ගලයන්ට අදාළ සත්වයාගේ ගතිගුණ පිහිටනවා. හැබැයි ඒවා අපි හිතන විදියේ අපහාසාත්මක වර්ගයේ ගතිගුණ නෙවෙයි. බල්ලාගේ අවුරුද්දේ ඉපදුනු අය බලුවැඩ කරන අය විදියට අපි හිතුවත් එහිදී චීන ජාතිකයන් පිළිගන්නේ බල්ලාගේ යහපත් ගතිගුණ සහිතව අදාළ පුද්ගලයන් උපදින බවයි. බල්ලාගේ වසරේ උපදින පුද්ගලයෝ ස්වාධීන, අවංක, පක්ෂපාතී සහ ස්ථිර අදහසක් ඇති පුද්ගලයන් බවට පත්වෙනවා කියලායි චීන ජාතිකයෝ පිළිගන්නේ. ඒ වගේ ම බල්ලාගේ වසරේ ඉපදුනු අය තමන්ගේ එදිනෙදා ජීවිතයේ ඇතිවන දුෂ්කරතාවලට බය නොවී ඉදිරියට යන බවත්, අනෙක් පුද්ගලයන් සමග සාමකාමී සම්බන්ධතා ඇති කරගන්නා බවත් චීන ජාතිකයන් පිළිගන්නවා. මේ ආකාරයට මේ චක්‍රයේ සිටින සෑම සතෙකුට ම ඌට ම අනන්‍ය වූ ගතිගුණ තියෙනවා. ඒ සතුන්ගේ අවුරුදුවල උපදින අය ඒ ගතිගුණ උරුම කරගෙන උපදින බවයි චීන ජාතිකයෝ පිළිගන්නේ.
මේ වගේ බල්ලාගේ වසරේ ඉපදුනු ලෝකයේ ප්‍රසිද්ධ චරිත ගොඩාක් අය ඉන්නවා. ඒ අතරින් ටික දෙනෙක් වෙන්නේ මයිකල් ජැක්සන්, මාරියා කැරේ, ජෙනිපර් ලෝපේස්, මැඩෝනා (ප්‍රකට ගායක ගායිකාවෝ), වින්ස්ටන් චර්චිල්, බෙන්ජමින් ප්රෑන්ක්ලීන්, බිල් ක්ලින්ටන් (ප්‍රකට දේශපාලනඥයෝ), සොක්‍රටීස්, කොන්පියුසියස්, වොල්ටෙයාර් (ප්‍රකට දාර්ශනිකයෝ) වගේ ම කේට් මිඩ්ල්ටන් කසාද බැදපු එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුත් ඉපදිලා තියෙන්නේ චීන දින දර්ශනයට අනුව බල්ලාගේ අවුරුද්දේයි.
කොහොම වුණත් චීන ජාතිකයන්ගේ අලුත් අවුරුද්ද ආරම්භ වෙන්නේ ජනවාරි 01වැනිදා නෙවෙයි. ඔවුන්ට අනුව නව වසර ආරම්භ වෙන්නේ සෑම වර්ෂයක ම පෙබරවාරි 16වැනිදායි. ඒ කියන්නේ මේ අවුරුද්දට අදාළ ඔවුන්ගේ බල්ලාගේ වසර ආරම්භ වෙන්නේ ලබන පෙබරවාරි 16වැනිදා ඉදලායි. බල්ලාගේ වසර අවසන් වෙන්නේ 2019 පෙබරවාරි 4වැනිදායි.
බල්ලා කියන්නේ මිනිහාගේ සමීප ම මිතුරා නිසා ඔවුන් බල්ලා සුබදායි සතෙක් ලෙස සලකනවා (චීන ජාතිකයෝ බල්ලෝ මරාගෙන කන එක වෙන ම කතාවක්...?). මේ වර්ෂයේදී බල්ලෙක් ඔවුන්ගේ ගෙදරට අහම්බෙන් ආවොත් එය ඔවුන්ගේ වාසනාව කියලා ඔවුන් සලකනවා.  

බල්ලාගේ වසර තුළ චීන ජාතිකයන්ට සුබ අංක වෙන්නේ 3,4,9 කියන ඉලක්කම් ටිකයි. සුබ වර්ණ වෙන්නේ කොල, රතු සහ දම් පාටයි. සුබ දිශා වෙන්නේ නැගෙනහිර, ගිනිකොන සහ දකුණයි. ඒ හැරුණා ම රෝස මල සහ තවත් මල් වර්ග දෙකක් මේ වර්ෂයට සුබයි කියලා ඔවුන් පිළිගන්නවා.


(මූලාශ්‍ර - විකිපීඩියා, www.travelchinaguide.com)

2018දී ලෝකයේ සිද්ධ වෙන දේවල් ටිකක්...

අපිට 2018 වර්ෂ ආරම්භය ටිකක් විතර වැදගත් වෙන්න හේතුවක් වෙලා තියෙන්නේ අවුරුද්දේ මුල් ම දවස පෝය දවසක් වීමයි. මට ඇහුණු විදියට අවුරුද්දේ මුල් ම දවසට පෝයක් වැටිලා තියෙන්නේ අවුරුදු ගාණකට පස්සෙලු. අනිත් එක මේ අවුරුද්දේ වෙසක් පෝය යෙදිලා තියෙන්නේ අප්‍රේල් මාසයේයි. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ තියෙන්නේ බක් පෝය වුණත් මෙවර බක් පෝය තියෙන්නේ මාර්තු මාසයේයි. ඒ වගේ ම 2018 අවුරුද්දේ තියෙන රජයේ නිවාඩු ගණන 156ක් වෙනවා. ඒක සමස්ත අවුරුද්දේ දිනවලින් සියයට 43ක් වෙනවා.
කොහොම වුණත් අලුත් අවුරුද්දත් එක්ක අපි හිතට ගන්න ඕනි ප්‍රධාන දේ තමයි ගිය අවුරුද්දේ වෙච්ච හොද දේවල් විතරක් හිතේ තියාගෙන නරක දේවල්වලින් පාඩමක් ඉගෙන ගෙන අලුත් අවුරුද්ද පටන් ගන්නවා කියන එකයි. අපිට අනිත් මිනිස්සු කරන කියන දේවල් නවත්වන්න බැරි නිසා අපි හැමවෙලේ ම හිතට ගන්න ඕනි අපි කරන නරක දේවල් අඩු කරගන්න එකයි.
අවුරුද්ද මුල පෝයක් තිබ්බ නිසා අපිට 2018 අවුරුද්ද ටිකක් විශේෂ වුණාට 2018 ලෝකයට වැදගත් වෙන්නේ කොයි විදියට ද කියලා ටිකක් කියන්න හිතුණා. මේ 2018 අවුරුද්දේදී ලෝකයේ සිදුවෙන විශේෂ දේවල් ටිකකුයි.
2018 පෙබරවාරි 9-25 : 2018 ශීත ඔලිම්පික් උළෙල දකුණු කොරියාවේ, පියොන්චැන්ග් නගරයේදී පැවැත්වීම.
2018 මැයි 5 : නාසා ආයතනය "ඉන්සයිට්" යානය අගහරුට යැවීමට සූදානම් කිරීම.
2018 මැයි 19 : එංගලන්තයේ හැරී කුමරු සහ ඇමෙරිකාවේ ජනප්‍රිය නිළි මේගන් මාර්කල්ගේ විවාහ මංගල්‍යය සාන්ත ජොර්ජ් චැපල්හි පැවැත්වීම. (මේ විවාහයේ සුවිශේෂත්වයක් වන්නේ හැරී කුමරු විවාහ වන මේගන් මාර්කල් කලින් විවාහ වූ කාන්තාවක වීම සහ ඇය හැරී කුමරුට වඩා වසර 3ක් වැඩිමහල් වීමයි)
2018 ජූනි 14 - ජූලි 15 : 2018 පාපන්දු ලෝක ශූරතා තරගාවලිය රුසියාවේ පැවැත්වීම.
2018 ජූලි 27 : 2003න් පසුව අගහරු පෘථිවියට සමීප වීම.
2018 ඔක්තෝබර් : යුරෝපා-ජපන් සහයෝගයෙන් තැනූ මිනිසෙකු රහිතව ගමන් කළ හැකි "බෙපිකොලම්බෝ" යානය බුද ග්‍රහයාට ගමන් කරවීම.
පෝලන්තයේ ඉදිකර ඇති ඇමෙරිකානු මිසයිල ආරක්ෂණ පද්ධතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම.
අභ්‍යවකාශ සංචාරකයන් දෙදෙනෙකු පැලකන් හෙවි යානයේ නැගී චන්ද්‍රයා වටා සංචාරය කිරීමට නියමිත වීම. (1972න් පසුව මිනිසෙකු පහළ පෘථිවි කක්ෂයෙන් එපිටට ගමන් කරන පළමු අවස්ථාව මෙය වේ.
(මූලාශ්‍ර - විකිපීඩියා,getfun.lk)