Monday, June 4, 2018

ඔස්ට්‍රේලියාවේ බැංකුවක් එරට වැඩි ම දඩය ගෙවීමට සූදානම් වෙයි...

ඔස්ට්‍රේලියාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධ එරට නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 53ක දඩයක් (ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් කෝටි 7950කට වැඩි මුදලක්) ගෙවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම බැංකුව සදහන් කරයි.

කිසිදු සිද්ධියක් ගණන් නොගැනීමේ ප්‍රතිඵල


මෙකී සිද්ධියට සම්බන්ධ පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුවේ ගනුදෙනු අතර සැකසහිත ගනුදෙනු 53,000ක් පමණ තිබුණ ද එකී බැංකුව එය සම්බන්ධයෙන් එරට වගකිව යුතු අධිකාරීන්ට දැනුම් දීමෙන් ද වැළකී හිද තිබේ.
ඔස්ට්‍රේලියාවේ මූල්‍ය බුද්ධි ඒජන්සිය ඉකුත් වසරේදී ද පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව මූල්‍යමය පාර්ශවයෙන් කර තිබෙන නීති උල්ලංඝනයන් පිළිබදව දැනුවත් කර තිබේ.

සිවිල් නඩුවක් සම්බන්ධ විශාල ම දඩය මෙයයි...


කෙසේ වුව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව වැරදිකරු යැයි එරට අධිකරණය තීරණය කළහොත් පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුවට ඉහත සදහන් කරන ලද රුපියල් කෝටි 7950කට වැඩි වටිනාකමකින් යුත් දඩය ගෙවීමට සිදු වන බව බී.බී.සී. මාධ්‍ය ජාලය වාර්තා කරන අතර අදාළ බැංකුවට මෙම දඩය ගෙවීමට සිදුවුවහොත් එය ඔස්ට්‍රේලියානු සංස්ථාපිත ආයතන ඉතිහාසය තුළ සිවිල් නඩුවක් සම්බන්ධයෙන් ගෙවීමට සිදු වූ ඉහළ ම දඩය වන බව ද බී.බී.සී. වෙබ් අඩවිය තවදුරටත් සදහන් කරයි. 

බැංකුව වැරදි බව බැංකුව ම කියයි...


මෙය සම්බන්ධයෙන් අද (04) දිනයේ ප්‍රකාශයක් කළ පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා සදහන් කළේ "බැංකුව සිතා මතා මෙවැනි කටයුත්තක් නොකළ ද, බැංකුව අතින් ද වරදක් සිදුවී ඇති බව තමන් ද පිළිගන්නා" බව ය. 

හදුනාගත නොහැකි තැන්පතුවල ප්‍රශ්නය


මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනාවන්ට ලක් වී සිටින ඔස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලීය බැංකුවට මෙකී කලු සල්ලි සම්බන්ධ සිද්ධියේදී වැඩි වශයෙන් ම චෝදනා එල්ල වන්නේ අදාළ බැංකුවේ මුදල් තැන්පතු යන්ත්‍රය මාර්ගයෙන් බැංකුවේ ගිණුම් හිමියෙකු නොවන පුද්ගලයන් විවිධ අවස්ථාවලදී බැංකුවට මුදල් තැන්පත් කිරීම සම්බන්ධ සිද්ධීන් හේතුවෙනි. එලෙස විවිධ අවස්ථාවලදී ඔස්ට්‍රේලියානු ඩොලර් 20,000කට වැඩි මුදල් ප්‍රමාණයන් විවිධ අවස්ථාවලදී මුදල් තැන්පතු යන්ත්‍රය මාර්ගයෙන් බැංකුවට තැන්පත් කිරීමේ සිද්ධි ගණනාවක් මෙලෙස වාර්තා වී තිබේ. එවැනි සිද්ධීන්වලදී බැංකුව ද අදාළ රජයේ මූල්‍ය අධිකාරී හෝ නියාමන ආයතනවලට දැනුම් දී අදාළ සිද්ධි පිළිබදව විමර්ශනයකට නොයෑම මෙකී සිද්ධිය දික්ගැසීමට ප්‍රධාන හේතුව ලෙස වාර්තා වේ. මෙය සම්බන්ධයෙන් අදහස් දක්වන පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව සදහන් කරන්නේ මුදල් තැන්පතු යන්ත්‍රයේ කේතකරණ දෝෂයක් හේතුවෙන් මෙකී ගනුදෙනු සම්බන්ධයෙන් වාර්තා කිරීමට අදාළ යන්ත්‍ර ද අපොහොසත් වී ඇති බව ය. 

ගොඩින් බේරා ගැනීමට ඉඩ නොදීම


ගනුදෙනු සහ විශ්ලේෂණ වාර්තා පිළිබද ඔස්ට්‍රේලියානු මධ්‍යස්ථානය (Austrac) මේ පිළිබදව තවදුරටත් සදහන් කරන්නේ මෙකී සිද්ධිය සම්බන්ධයෙන් ගොඩින් බේරාගැනීමට එකගතා ගිවිසුම් අත්සන් කිරීම යනු මෙවැනි කටයුතු සිදුවීම තවදුරටත් ගණන් නොගෙන සිටින බව සිතා මතා පෙන්නුම් කිරීමක් බව ය. එහෙයින් එකගතා ගිවිසුමකින් මෙය ගොඩින් බේරා ගැනීම වෙනුවට රජයේ පාර්ශවය සහ බැංකුවේ පාර්ශවය යන දෙපාර්ශවය ම දැන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය මෙය සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ලබාදෙන තෙක් බලා සිටිති. 

පුරුද්දට ගිය වැරදි


පසුගිය දශකයක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් මෙවැනි චෝදනා ගණනාවක් එල්ල වී තිබේ. මෙයට ආසන්නත ම සිදුවීම වන්නේ ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් ඉකුත් දෙසැම්බර් මාසයේදී මූල්‍ය ආයතන මුදල් විශුද්ධිකරණය කිරීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සදහා රාජකීය කොමිසමක් පත්කිරීම ය.
කෙසේ වුව ද ඔස්ට්‍රේලියාවේ මූල්‍ය ආයතන නියාමනය කිරීමේ අධිකාරී ආයතන එරට පොදුරාජ්‍ය මණ්ඩලීය  බැංකුවේ මුදල් විශුද්ධිකරණ කටයුතු සම්බන්ධයෙන් හෙළි කිරීම, එය සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම සහ එය අධිකරණ ක්‍රියාවලියට යොමු කිරීමත් සමග එරට පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව ද ඉතා අපකීර්තිමත් තත්ත්වයකට පත්ව සිටින බව තවදුරටත් වාර්තා වේ.

(මූලාශ්‍රය - BBC)   


Wednesday, January 31, 2018

ෆේස්බුක් (Facebook) නිසා ළමයින්ට පිස්සු හැදෙන බව පර්යේෂණයකින් හෙළිවෙයි...

පසුගිය සති කිහිපය තුළ මම ඉතාමත් කාර්යබහුල වූ නිසා "මුරගල පාමුල" බ්ලොග් අඩවියට කිසි ම ලිපියක් ලියන්න තරම් මට වෙලාවක් ලැබුණේ නැහැ. ඒ වගේ ම අද ලිපියෙන් පසුවත් සති කිහිපයක් යන තුරු "මුරගල පාමුල" බ්ලොග් අඩවියට ලිපි ලිවීමට කාලයක් නැති වෙන බවත් ඔබට කණගාටුවෙන් සදහන් කරනවා. ඒ වගේ "මුරගල පාමුල" බ්ලොග් අඩවියේ පාඨකයන් සංඛ්‍යාව මේ වන විට දසදහස (10,000) ඉක්මවා තිබෙන බවත් ඔබට ඉතා සතුටින් දැනුම් දෙන්න කැමතියි. එහිදී ශ්‍රී ලාංකික පාඨකයන් 3000ක් සහ විදේශගත ශ්‍රී ලාංකික පාඨකයන් 7000කට ආසන්න පිරිසක්  බ්ලොග් අඩවිය සමග රැදී සිටිනවා. කොහොම වුණත් තවදුරටත් "මුරගල පාමුල" බ්ලොග් අඩවිය සමග රැදෙන ලෙසත් පාඨක ඔබෙන් ඉල්ලමින් මම අද ලිපිය ලියනවා.


වයස අවුරුදු 13ට අඩු අයට පොඩි ෆේස්බුක් එකක් ඕනිලු...


වයස අවුරුදු 13ට අඩු පාසල් යන වයසේ දරුවන් සදහා ඔවුන්ට ම සුවිශේෂී සමාජ ජාලයක් මුදාහරින ලෙස ළමා සෞඛ්‍ය විශේෂඥයන් 100 දෙනෙකු විවෘත ලිපියක් මගින් ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා තිබෙන බව BBC මාධ්‍ය ජාලය වාර්තා කරනවා.

ෆේස්බුක් නිසා ළමයින්ට විෂාදය වැඩි වෙලා...


ළමා සෞඛ්‍ය විශේෂඥයන් 100 දෙනා ෆේස්බුක් ආයතනයට යැවූ ලිපියේ සදහන් කරන ආකාරයට සමාජ ජාල මගින් සපයන මැසෙන්ජර් වැනි පණිවුඩ සේවා (චැටින් සර්විස්/Chatting Service) භාවිත කරන පාසල් යන වයසේ ළමුන් තම මිතුරන් ද මේ සේවාවන්ට යොමු කිරීම සදහා වගකීම් විරහිත ආකාරයට කටයුතු කරනවා.

මේ ලිපිය ෆේස්බුක් සමාගමේ ප්‍රධානි මාර්ක් සකර්බර්ග්ට යොමු කළ මේ ළමා සෞඛ්‍ය විශේෂඥයන් පිරිස තවදුරටත් සදහන් කර ඇත්තේ පාසල් යන වයසේ දරුවන්ට සමාජ ජාල ගිණුම් තිබීම ඉතා අහිතකර තත්ත්වයක් බවයි.

සමාජ ජාල භාවිත කිරීමෙන් පාසල් යන වයසේ තරුණ තරුණියන්ගේ විෂාදය සහ කාංසාව ඉහළ ගොස් ඇතැයි ද මේ ලිපියේ ඔවුන් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

ෆේස්බුක් ගියාට හිතේ දුක වැඩියිලු...


පාසල් යන වයසේ තරුණ තරුණියන් සමාජ ජාල මගින් දිනකට පණිවුඩ සේවා (චැටින් සර්විස්/Chatting Service) මගින් චැට් (Chat) කරන කාලය අාසන්න වශයෙන්  පැයක් යැයි මෙකී වාර්තාවේ සදහන් කර තිබෙන අතර ඔවුන්ගේ ජීවිතයේ කරන කටයුතුවලින් ඉතා අඩු තෘප්තිමත්භාවයක් ඇති කර තිබෙන ක්‍රියාවන්ගෙන් එකක් වන්නේ ද චැට් (Chat) කිරීම බව ද එහි සදහන් වෙනවා.

අවුරුදු 13 හා 14 වයස් කාණ්ඩයේ සිටින තරුණ පිරිස සතියකට පැය 6ත් 9ත් අතර කාලයක් සමාජ ජාලවල කාලය ගත කරන අතර මේ පිරිසෙන් සියයට 47ක් ම සමාජ ජාල භාවිත කරන තමාගේ අනෙක් මිතුරන්ට වඩා අඩු සතුටකින් යුතුව කාලය ගතකරන බව ද මේ වාර්තාව හෙළි කරනවා.

පාසල් යන කෙල්ලන්ගේ ඇග කෙට්ටු කරගැනීමේ පිස්සුව...


ෆේස්බුක් උන්මාදය හේතුවෙන් වයස අවුරුදු 10ත් 12ත් අතර වයසේ පසුවන පාසල් යන තරුණියන් තමන්ගේ ශරීරය කෙට්ටු කරගැනීම සදහා ආහාර පාලනය කරගැනීමේ උන්මාදයකින් පසුවන බවත් මේ වාර්තාවේ සදහන් වෙනවා.

ෆේස්බුක් නවත්වන්න මව්පියෝ දරුවන් සමග රණ්ඩු වෙති...


සමාජ ජාල භාවිත කරන තරුණ පිරිසෙන් සියයට 78ක් අවම වශයෙන් පැයෙන් පැයට තමන්ගේ ජංගම දුරකථනයෙන් සමාජ ජාලවලට පිවිසෙන බව ද මෙහි සදහන් වෙනවා. ඒ වගේ ම පාසල් යන වයසේ දරුවන්ගෙන් සියයට 50ක් ම ජංගම දුරකථනයට ඇබ්බැහි වී සිටින බවත් මෙහි සදහන් වෙනවා.
පාසල් යන වයසේ දරුවන්ගේ මව්පියන්ගෙන් සියයට 50ක් ම තම දරුවන් නිතර ජංගම දුරකථනය පාවිච්චි කිරීම ගැන කියමින් දරුවන් සමග රණ්ඩු ඇති කරගන්නා බවත් මෙම පර්යේෂණයෙන් සොයා ගෙන තිබෙනවා.

ඒ වගේ ම පාසල් යන වයසේ දරුවන් නිතර පාවිච්චි කරන සමාජ ජාල ලෙස ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ස්නැප්චැට් යනාදිය ද මේ වාර්තාවෙන් හදුනාගෙන තිබෙනවා.

(මූලාශ්‍රය-BBC)

Thursday, January 11, 2018

අැමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා යැයි කියන කවුද මේ ඔප්රා වින්ෆ්‍රි...? 1 කොටස

ඔප්රා වින්ෆ්‍රිගේ ජනාධිපතිවරණ අපේක්ෂාව


ඔප්රා වින්ෆ්‍රි පිළිබදව මේ දිනවල දැඩි කතාබහට ලක්වෙන්නේ ඇය ඇමෙරිකාවේ පසුගියදා පැවැති 75වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී හොලිවුඩ් රංගන ශිල්පීන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් සම්බන්ධයෙන් ප්‍රබල හෙළිදරව් කිරීමක් කළ නිසායි. ඇය කළ මේ කතාවෙන් පසු ඇයගේ මිතුරන් දෙදෙනෙකු ජනමාධ්‍යයට පවසා සිටියේ ඇය 2020දී පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අදහසකින් සිටින බවයි. ඔප්රා වින්ෆ්‍රි මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන්ට ඇය පරාජය කිරීමට හැකි බව ඇමෙරිකාවේ වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඔප්රා වින්ෆ්‍රි ඉදිරි ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එය ඉතා සුබදායක ආරංචියක් වනු ඇති බව ඇමෙරිකාවේ බොහෝ දෙනෙකුගේ අදහස ද වුණා. කොහොම නමුත් මේ සම්බන්ධයෙන්ඔප්රා වින්ෆ්‍රිගේ ප්‍රතිචාරය මෙතෙක් පැහැදිලිව දැක ගැනීමට නොහැකියි. 

මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන චරිතයක් නිසා අද මම ඔප්රා වින්ෆ්‍රි ගැන කෙටියෙන් සටහනක් ලියන්න හිතුවා. ඇත්තට ම ඔප්රා වින්ෆ්‍රිගේ කතාව තුළ අපිට ඉගෙන ගත යුතු විවිධ පාඩම් පවා තියෙනවා. 


ඔප්රා වින්ෆ්‍රිගේ රැකියාව සහ ධනවත්කම


ඔප්රා වින්ෆ්‍රි කියන්නේ ඇමෙරිකාවේ ප්‍රකට රූපවාහිනී නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් සහ ව්‍යවසායිකාවක්. ඇය දිනපතා රූපවාහිනියෙන් ඉදිරිපත් කරන "ද ඔප්රා වින්ෆ්‍රි ෂෝ" කියන වැඩසටහන සමීක්ෂණ වාර්තා අනුව තවමත් ඉතා ඉහළ ජනප්‍රියත්වයක් තිබෙන වැඩසටහනක් ලෙස ද සැලකෙනවා. 

ඔප්රා වින්ෆ්‍රි සැලකෙන්නේ ඇමෙරිකාවේ ධනවත් ම සහ ඇමෙරිකාවට විශාල බලපෑමක් කළ කාන්තාවක් හැටියටයි. ඇය සැලකෙන්නේ ධනවත් ම ඇමෙරිකා-අප්‍රිකානු පුද්ගලයා සහ උතුරු ඇමෙරිකාව තුළ බිලියනපතියෙක් වූ පළමු කලු ජාතිකයා ලෙසයි. ඒ වගේ ම ඇය ඇමෙරිකානු ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨ පරාර්ථකාමියෙකු ලෙස ද සැලකෙනවා. 


ළමා කාලය


ඇය ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රදේශයේ ඉතා දිළිදු ග්‍රාමීය පවුලකට දාව 1954දී උපත ලැබූ තැතැන්තියක්. වයස අවුරුදු 18ට අඩු අවිවාහක කාන්තාවකට දාව ඔප්රා වින්ෆ්‍රි ඉපදුනා. 


කුඩා කල සිට ම ලිංගික අතවර 


ඔප්රා වින්ෆ්‍රි කුඩා කාලයේ සිට ම විවිධ ලිංගික අඩන්තේට්ටම්වලට ද බොහෝ සෙයින් ලක් වුණා. මෙහි ප්‍රතිඵලය වුණේ ඇය වයස අවුරුදු 14දී ගැබිණියක් බවට පත්වීමයි. කොහොම වුණත් ඔප්රා වින්ෆ්‍රිට දාව ඉපදුනු දරුවා ද කුඩා කාලයේ ම මරණයට පත්වුණා. 


රැකියාව සහ මත්ද්‍රව්‍ය


ඔප්රා වින්ෆ්‍රි පාසලේ ඉගෙනුම ලබන අතරේ ඇයට ගුවන්විදුලි නාලිකාවක රැකියාවක් ලැබුණා. ඇයට වයස අවුරුදු 19දී ඇයට එරට රූපවාහිනී නාලිකාවක තවත් පුද්ගලයෙකු සමග එක්ව දේශීය සවස පුවත් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණා. ඔප්රා වින්ෆ්‍රි පිළිබදව ප්‍රකට කරුණක් වන්නේ ඇය අවුරුදු විසි ගණනන්වලදී කොකේන් මත්ද්‍රව්‍යයට දැඩි ව ඇබ්බැහි වී සිටීමයි. ඇය පසුකාලීනව මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් මිදී තිබෙනවා.


රූපවාහිනියට නුසුදුසු නිවේදිකාවක්ලු

ඔප්රා වින්ෆ්‍රි ටෙනසි රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ ප්‍රාසංගික කලාව පිළිබදව උසස් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ඇයට රූපවාහිනී නාලිකාවක නිවේදන රැකියාවක් ලැබුණත් ඇයට එහි වැඩ කිරීමට අවස්ථාව ලැබුණේ මාස හතහමාරක් පමණයි. ඇය රූපවාහිනී ඉදිරිපත් කිරීම්වලට නුසුදුසු කෙනෙක් යැයි කියා ඇය රැකියාවෙන් ඉවත් කිරීමට අදාළ රූපවාහිනී නාලිකාවේ ප්‍රධානීන් කටයුතු කළා. කොහොම වුණත් ඇය තමන්ගේ මහන්සියෙන් රැකියා සොයාගෙන නිවේදක රැකියාවෙන් තව තවත් ඉහළට ගියා. එහි ප්‍රතිඵලයක් වුණේ ඇය පසුකාලීනව ඇයගේ ම නිෂ්පාදන කණ්ඩායමක් බිහිකරගෙන එය ජාත්‍යන්තර මට්ටමෙන්  දියත් කිරීමයි. ඔප්රා වින්ෆ්‍රි එදා පටන් ගත් තැනින් දීර්ඝකාලීන ගමනක් ඇවිල්ලායි අද ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ. 

(මූලාශ්‍ර - Britannica, Wikipedia, Vogue, Washington Post)



Wednesday, January 10, 2018

ඊළග ජනාධිපතිවරණයට ගෑනියෙක් ආවොත් කරන්න ඕනි දේ මම දන්නවා - ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි...

ඔප්රා වින්ෆ්‍රිගේ ජනප්‍රියත්වය


ඇමෙරිකාවේදී පසුගියදා පැවති 75වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල ලෝකයේ ම අවධානය යොමු වුණේ හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැනට පවතින දැඩි ලිංගික අපයෝජනයන් පිළිබදව සහ ඒවාට එරෙහි වීම පිළිබදව සාකච්ඡා වීම නිසායි. හොලිවුඩ් සිනමාව තුළ පවතින ලිංගික අපයෝජනයන් සම්බන්ධයෙන් ඉතා හොදින් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී අදහස් දැක්වූයේ ඇමෙරිකාවේ ප්‍රකට නිවේදිකාවක සහ නිළියක වන ඔප්රා වින්ෆ්‍රි විසිනුයි. 

හොලිවුඩයේ රංගන ශිල්පීන්ට පවතින ලිංගික අඩන්තේට්ටම් සහ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් ඔප්රා වින්ෆ්‍රි අදහස් දැක්වීමෙන් පසු ඇයගේ මිතුරන් දෙනෙකු ජනමාධ්‍යවලට සදහන් කර සිටියේ 2020 ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබදව ඇය සිතමින් සිටින බවයි. එයත් සමග ලෝකය පුරා පැතිර ගිය කතාවක් වූයේ මිළග ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා ඇය ඉතා සුදුසු බවයි. 


2020න් පසුවත් ඇමෙරිකාවේ ජනපති මමයි - ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි...


ඔප්රා වින්ෆ්‍රි ඇමෙරිකාවේ මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඇයට සිදුවනු ඇති දේ ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් මාධ්‍ය ආයතනවලට පවසා තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන ආකාරයට 2020 පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඔප්රා වින්ෆ්‍රි ඉදිරිපත් වීමට ඇති අවස්ථා ඉතා අඩුයි. ට්‍රම්ප් පවසන ආකාරයට  ඔප්රා වින්ෆ්‍රි ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැහැ. කොහොම වුණත් ඔප්රා වින්ෆ්‍රි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් අනිවාර්යයෙන් ම තමා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. ‍ තමන් ඔප්රා වින්ෆ්‍රිට කැමති බව සහ තමන් ඔප්රා වින්ෆ්‍රි හොදින් දන්නා බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ගැන ජනමාධ්‍යවලට අදහස් දක්වමින් දැනට කියා තිබෙනවා. 


ඔප්රා වින්ෆ්‍රි නිහඩයි...


කොහොම වුණත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඔප්රා වින්ෆ්‍රිගෙන් ජනමාධ්‍ය විමසන ප්‍රශ්නවලට ඇය තවමත් පිළිතුරු දී නැහැ. ඇය මේ ප්‍රශ්න මගහරිමින් සිටිනවා.  

(මූලාශ්‍ර - CNN, BBC)


සහරා කාන්තාරයටත් හිම වැටෙයි...

ශ්‍රී ලංකාවේ පවතින දැඩි ශීත කාලගුණය


ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල පවතින්නේ දැඩි සීතල කාලගුණයක්. නිතර නියගයෙන් පීඩා විදින වියළි කලාපය තුළ මේ දිනවල උදෑසන සහ රාත්‍රි කාලයට දැඩි සීතල කාලගුණයක් පවතිනවා. අනුරාධපුර සහ පොලොන්නරුව වැනි ප්‍රදේශවල මේ දිනවල රාත්‍රි උෂ්ණත්වය වාර්තා වන්නේ සෙල්සියස් අංශක 16ක් වැනි මට්ටමකයි. වෙනත් කාලයන්හිදී මේ ප්‍රදේශවල  රාත්‍රි උෂ්ණත්වය සෙල්සියස් අංශය 36ත් ඉක්මවා යන තරම් තිබෙනවා. නමුත් දැනට පවතින සීත කාලගුණය හේතුවෙන් වෙනදා පවතින උෂ්ණත්වයෙන් අඩක පමණ උෂ්ණත්වයකුයි දැන් මේ ප්‍රදේශවල දකින්න තියෙන්නේ. නුවරඑළිය වැනි ප්‍රදේශවල මේ දිනවල උෂ්ණත්වය වාර්තා වන්නේ සෙල්සියස් අංශක 4ක් ලෙසයි. මෙයත් සමග නුවරඑළිය ප්‍රදේශයට මල්තුහින වැටීම ද මේ දිනවල සිදුවෙනවා.


ලෝකයේ පවතින ශීත කාලගුණය


දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන දැඩි ශීත කාලගුණය ලෝකයේ බොහෝ රටවලිනුත් වාර්තා වෙනවා. උදාහරණයක් හැටියට ඇමෙරිකාවේ සමහර ප්‍රදේශවල මේ දිනවල රාත්‍රියේ පවතින උෂ්ණත්වය සෙල්සියස් අංශක -39 (ඍණ 39ක්) ලෙස වාර්තා වෙනවා. ලෝකයේ දැනට පවතින ශීත කාලගුණයට උදාහරණ සපයන තවත් ප්‍රවෘත්තියක් මේ වන විට වාර්තා වෙනවා. ඒ ලෝකයේ විශාල ම උණුසුම් කාන්තාරය වන සහරා කාන්තාරයට ද මේ දිනවල හිම වැටීමයි. ලෝකයේ උෂ්ණත්වය වැඩි ම ප්‍රදේශ කිහිපයකින් එකක් වන සහරා කාන්තාරයට ද හිම වැටීමෙන් පැහැදිලි වන්නේ ලෝකයේ මේ දිනවල ඇති වී තිබෙන ශීත කාලගුණයේ ස්වභාවයයි. 


සහරා කාන්තාරයට හිම වැටීම



ඇල්ජීරියාවේ අයින් සෙෆ්රා කියන සහරා කාන්තාරයේ පවතින කාන්තාර නගරයට මේ දිනවල හිම පතිත වී තිබෙනවා. අයින් සෙෆ්රා කියන නගරය සැලකෙන්නේ සහරා කාන්තාරයට ගමන් කරන දොරටුවක් ලෙසයි. වසර 40ක කාලයක් තුළ සහරා කාන්තාරයට හිම පතිත වූ 3වැනි අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ. 


පතිත වූ හිමවල ඝනකම


සමහර වාර්තාවන්ගෙන් කියවෙන විදියට අයින් සෙෆ්රා නගරයට අඩි එකහමාරකට ආසන්න (අගල් 15ක්) ඝනකමින් යුත් හිම ප්‍රමාණයක් පතිත වී තිබෙනවා. ඒත් අයින් සෙෆ්රා නගරයේ වාර්තාවන්ට අනුව එතරම් හිම ප්‍රමාණයක් සහරා කාන්තාරයට පතිත වී නැහැ. ඔවුන්ගේ වාර්තාවන්ට අනුව සහරා කාන්තාරයට පතිත වී තිබෙන හිම ප්‍රමාණය අගලකටත් වඩා අඩු ඝනකමකින් යුක්තයි.මේ හිම පතිත වීම පසුගිය ඉරිදා (2018.01.07) දිනයේදී සිදු වී තිබෙන අතර හිම දියවීම එදින සවස 5ට පමණ ආරම්භ වී තිබෙනවා. අයින් සෙෆ්රා නගරයට මේ ආකාරයට හිම පතිත වී තිබෙන්නේ වසර 37කට පසුවයි. 

(මූලාශ්‍රය - CNN)


Tuesday, January 9, 2018

හොලිවුඩ් නිළියන්ගේ රෙදි ගලවන හොලිවුඩ් අධ්‍යක්ෂවරුන්ට වැඩ වරදී...

නිළියන්ගේ හිතට වදයක් වූ ලිංගික අතවර


ඇමෙරිකානු චිත්‍රපට කර්මාන්තය (හොලිවුඩ් සිනමාව) තුළ නිළියන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් සහ අතවර නිමා කිරීමට දැවැන්ත සටනක් ආරම්භ කළ යුතු යැයි හොලිවුඩය තීරණය කර තිබේ. ඇමෙරිකාවේ ප්‍රධාන සිනමා උළෙලක් වන ගෝල්ඩ් ග්ලෝබ්හිදී මෙවැනි එකගතාවකට පැමිණ ඇත්තේ මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ යාවජීව සම්මානයෙන් පිදුම් ලද ප්‍රකට නිළියක සහ නිවේදිකාවක වන ඔප්රා වින්ෆ්‍රි කළ සම්මාන උළෙලේදී කළ කතාව හේතුවෙනි. මෙම කතාවේදී හොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළ නිළියන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් පිළිබදව අදහස් දැක්විණි. එමෙන් ම හොලිවුඩයේ සිදුවන ලිංගික අතවරවලට එරෙහිව හොලිවුඩ් නිළියන්ගේ පොදු එකගතාවක් ද මෙහිදී ඇතිවිණි. 

ඔප්රා වින්ෆ්‍රි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ ප්‍රේක්ෂකාගාරය හමුවේ කළ කතාවත් සමග හොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ නිළියන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් පිළිබද කතිකාවක් ඇති වූ අතර එහි දී ඔප්රා වින්ෆ්‍රි තවදුරටත් පැවසුවේ "අපි මේ වෙලාවේ ඇත්ත කතා කිරීම අපි හැමෝට ම ලැබෙන ආයුධයකුයි" යනුවෙනි. 


සුපිරි තරු කලු පැහැ ඇදුම්වලින් සැරසී උළෙලට පැමිණෙයි


75වැනි වරට පැවැත්වූ ඇමෙරිකාවේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල තුළ මෙවර කැපී පෙනුනේ ලිංගික අඩන්තේට්ටම් සහ ලිංගික අතවරවලට එරෙහිව කරනු ලැබූ හඩ නැගීම ය. හොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළදී ලිංගික අඩන්තේට්ටම් සහ ලිංගික අතවරවලට ලක්වූ වින්දිතයන්ට ගෞරව දැක්වීම සදහා මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලට පැමිණි සුපිරි කලා ශිල්පීහු කලු පැහැ ඇදුම්වලින් සැරසී පැමිණ සිටියහ. 


ගෝල්ඩන් ග්ලෝබ් මෙවර හොද ම චිත්‍රපටය


75වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී මෙවර පෙරමුණ ගනු ලැබූ චිත්‍රපටය වූයේ "Three Billboards Outside Ebbing, Missouri" චිත්‍රපටයයි. එය හොද ම චිත්‍රපටය සම්මානය සමග තවත් සම්මාන තුනක් දිනාගෙන මෙවර සම්මාන උළෙලේ ප්‍රමුඛස්ථානයට පත්විය. 

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ "හොලිවුඩ් විදේශ මාධ්‍ය සංගමය"යි. 

(මූලාශ්‍ර - BBC, AFP)


Monday, January 8, 2018

හැට පැන්නත් බිමින් යන්නැති මැලේසියන් අගමැති නැවතත් සටනට...

අගමැති තනතුරට වයස බාධාවක් නොවෙයි...


දීර්ඝ කාලයක් මැලේසියාවේ අගමැති ධුරය දැරූ දැනට වයස අවුරුදු 92ක් වන මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් නැවතත් එරට  මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටී. ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත මැලේසියානු පාර්ලිමේන්තු මැතිවරණය සදහා මහතීර් මොහොමඩ් මෙලෙස අගමැති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නියමිත ය. මහතීර් මොහොමඩ් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සදහා විපක්ෂ සන්ධානයක් පසුගිය ඉරිදා (2018.01.07) ආරම්භ කළ අතර එහි අගමැති අපේක්ෂකයා බවට පත්වන්නේ ඔහු ය. 

මහතීර් මොහොමඩ් එරට අගමැති ධුරයට සමුදුන්නේ 2003දී වන අතර ඒ වන විට ඔහු අවුරුදු 20කට වැඩි කාලයක් අගමැති ධුරය දරා තිබිණි. 


ලෝකයේ වයස්ගත ම රාජ්‍ය නායකයා වීමටත් අවස්ථාවක්...


කෙසේ නමුත් ලබන අගෝස්තුවේ පැවැත්වෙන මැලේසියානු මහ මැතිවරණයෙන් මහතීර් මොහොමඩ් ජය ගනු ලැබුවහොත් ඔහුට එරට අගමැති ධුරය හිමිවන අතර, එසේ වුවහොත් ඔහු ලොව වයස්ගත ම රාජ්‍ය නායකයා බවට ද පත්වනු ඇත. 

ඉකුත් වසර කිහිපයේදී මහතීර් මොහොමඩ් විපක්ෂයක කාර්යභාරය ඉටුකරමින් කටයුතු කළ අතර වර්තමාන මැලේසියානු අගමැති නජිබ් රසාක් මැලේසියානු රජයේ සංවර්ධන අරමුදලකින් බිලියන ගණනක මූල්‍ය වංචාවක් කර ඇති බව ද මහතීර් මොහොමඩ් එහිදී නජිබ් රසාක්ට චෝදනා එල්ල කරනු ලැබී ය. වර්තමාන අගමැතිවරයාට එරෙහි ක්‍රියාකලාපයන්ගෙන් අනතුරුව මහතීර් මොහොමඩ් එරට ඉදිරි මහ මැතිවරණය සදහා ද මේ වන විට ඉදිරිපත් වී තිබේ. 


තනතුර දැරූ කාලයේදී පෙන්වූ හපන්කම්


මහතීර් මොහොමඩ් සැලකෙනුයේ මැලේසියාව ඉහළ ආර්ථික වර්ධනයක් සහිත රටක් බවට පත්කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ මැලේසියානු අගමැතිවරයෙකු ලෙස ය. ඔහු අගමැති ධුරය දැරූ කාලසීමාව තුළ මැලේසියාව ආසියාවේ වේගයෙන් ම වර්ධනය වන ආර්ථිකයක් හිමි රටක් (Asian Economic Tiger) බවට පත් විණි. 

(මූලාශ්‍රය - BBC)